තව ද දුෂ්ප්‍රතිපත්තියෙහි නපුර දක්වන්ට සවග වහන්දෑ ගේ වස්තුව කියමු.
කෙසේද යත් -
බුදුහු එක් දවසක් පණ්ඩුකය, ලොහිතකය, මෙත්තිය ය, භුම්මජක ය’ අස්සජි ය, පුනබ්බසුක ය යන ස වග වහන්දෑ ත් ඒ තැන්ගේ පර්‍ෂදුත් මරවඩි[1] පිටට නැඟී ලා අතින් ලී හැර ගෙන ගල තල පිටට නැඟී සක්මන් කරන ගමනේ තද බිමෙක අසුන් දුවාලියේ ලූවා සේ මහ අරගල අසා අනඳ මහ තෙරුන් වහන්සේ අතින් ‘මේ කුමන අරගලයෙක්දැ’ යි විචාළ සේක.
ස වග වහන්දෑගේ විකව නියාව දැන් වූ කල්හි එ ලෙස නො කරන්ට සිඛ පදත් පනවා ලා බණ වදාරන සේක් භික්ෂූන් නම් කයින් සිද්ධ වන ප්‍රාණවධාදී වූ පවු කම් තුන ත් නො කොට කාය සඤ්ඤමය ත් ඇත මැනව. වචනින් සිද්ධ වන මුසාවාදාදී චතුර්විධ වාග් දුශ්චරිතයත් හැර වාක් සඤ්ඤමයත් ඇත මැනව හුදක් සිතින්ම සිද්ධවන අභිධ්‍යා දී වූ පවු තුන ත් හැර සිතිනු ත් සඤ්ඤත වුව මැනව. යම් කෙනෙක් මෙ සේ තුන් දොරින් සිද්ධ වන පවින් දුරු ව වෙසෙත් නම් සෙසු ශික්‍ෂා පූරණ ය. නිරායාසයෙන් සිද්ධ වෙ යි’ වදාළ සේක. දේශනා කෙළවර කළ පිට වට වැසි සේ ස වග වහන්දෑට ඉන් ප්‍රයෝජනයක් නැතත් බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් සෙස්ස ආයාස වුවත් තුන් දොරින් සිද්ධ වන අකුසලින් දුරුව පිළිවන් පිනෙක හැසිර තුන් බෝධියෙන් එක් තරා බෝධියකට පැමිණිය යුතු.
-
මිරිවැඩි ↑