191. අතුල‍ උපාසකයන්ගේ වස්තුව

star_outline

තව ද නින්දා පරිභවයෙන් මිදී ගැන්ම බැරි නියාව හඟවන්ට අතුල නම් උපාසකයන් ගේ වත දක්වමු.

කෙසේද යත් -

සැවැත් නුවර වසන අතුල නම් උපාසකයෝ උපාසක පන්සියයක් පිරිවරා එක් දවසක් බණ අසන්ට විහාරයට ගොසින් රෙවත තෙරුන් වහන්සේගෙන් බණ අසනු කැමැති ව ඔබ වැඳ ගෙන බණ අසන්ට හුන්හ. ඒ තෙරුන් වහන්සේත් විවෙකයෙහි ඇලී වසන හෙයින් කථාවෙහි ඇලුම් නැති සේක. එ හෙයින් මඳ බණක් වුවත් නො වදාළ සේක. උයි ත් තමන් බණ අසන්ටම ගිය හෙයිනු ත් ඔබ බණ නො වදාළ හෙයිනු ත් මුසුප්පු ව සැරියුත් මහ තෙරුන් වහන්සේ ළඟට ගොසින් වැඳ ලා එකත්පස් ව සිටියහ. මහ තෙරුන් වහන්සේ ත් ‘කුමක් නිසා අවු දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, මම මුන් හැම දෙන ත් කැඳවා ගෙන බණ අසනු නිසා රේවත තෙරුන් වහන්සේ ළඟට ගියෙමි, ඔබ බණ නො වදාළ සේක. මම මුසුප්පු ව ගෙන මුඹ ආමි. බණ වදාළ යහපතැ’යි කිවු ය. ‘එසේ වී නම් හිඳුව’යි වදාරා ලා බොහෝ කොට විදම්[1] බණ වදාළ සේක.

උපාසකයෝ ද විදම් බණ අසා ‘මේ විදම් බණ නම් සියුම් හෙයින් සියුම් නුවණක් ඇති ව ඊ අභ්‍යාසයක් ඇති තැනකට මුත් අප හැම ඊ අභ්‍යාස නැත්තවුන්ට දැනෙන දෙයක් නො වෙයි. ඔබත් විදමට පටන් ගත් සේකැ’යි මුසුප්පු ව ගෙන උපාසක පිරිස් පිරිවරා ගෙන අනඳ මහ තෙරුන් වහන්සේ ළඟට ගොසින් ඔබත් ‘උපාසකවරිනි, අවුනැ’යි වදාළ කල්හි ‘ස්වාමීනි, බණ අසනු නිසා ආදි කොට රේවත තෙරුන් වහන්සේ ළඟට ගියම්හ. ඔබ තමන් වහන්සේ දන්නා බණක් නැත්තා සේ මුයෙන් බැණ නො නැඟි සේක. අපි සැම මුසුප්පු ව ගෙන ධම් සෙනෙවි ස්වාමීන් ළඟට ගියම්හ. ඔබ බණ වදාරන ගමනේ අපට තමා නො දැනෙන විදම් බණ වදාළ සේක. අපි ඔබ කෙරෙහි මුසුප්පු ව ගෙන මුඹ ආම්හ. මුයෙන් බැණ නො නැඟී ත් නො විඳ විදම් බණ ත් නො වදාරා අපට බණක්වදාළ යහපතැ’යි කිවු ය.

අනඳ මහ තෙරුන් වහන්සේ ද ‘එ සේ වී නම් වැඳ හිඳ අසව’යි දත හැකි ලෙසට ඉතා බොහෝ ත් නො කොට බණ වදාළ සේක. වදාරන බණ දැනෙත ත් මඳ ව ගිය හෙයින් ඔබ කෙරෙහි ත් මුසුප්පු ව බුදුන් කරා ගොසින් වැඳ ලා එකත් පස්ව හුන්හ. බුදුහු ත් කුමකට අවු දැ’යි විචාරා ‘බණ අසන්ට ය’යි කී කල්හි ‘බණ ඇසූ දැ’යි විචාළ සේක. ස්වාමීනි, ආදි කොට ම රේවත තෙරුන් වහන්සේ ළඟට ගියම්හ. මුසුප්පුවක් ඇත්තා සේ ඔබ අපට බණ නො වදාළ සේක. ඔබ කෙරෙහි මුසුප්පු ව ගෙන අනුබුද්ධ ව සිටි ධම් සෙනෙවි ස්වාමීන් කරා ගියම්හ. කුඩා සුඟුන් කටට මහා බත් පිඬි දික් කරන්නා සේ අපට දැන ගන්ට බැරි ව තිබෙන විදම් බණක් බා ගත් සේක. ඔබට ත් මුසුප්පු ගෙන දහම් බඬගැරි අනඳ මහ තෙරුන් වහන්සේ ළඟට ගියහ. ඔබ උගුර රෙදෙන්නා සේ මඳක් මඳක් වදාරා ලා තබා පී සේක. ඔබට ත් මුසුප්පු ව ගෙන මුඹ ආම්හ’යි කිවු ය.

බුදුහු උන්ගේ කථා ව අසා ලා ‘අතුල ප්‍රධාන වූ උපාසකවරිනි, මේ නින්දා ප්‍රශංසා දෙක නම් පුරාතනයෙහි පටන් පැවත ආ දෙයෙක. දැන් ඇතිවූ දෙයෙක් නො වෙයි. රජ දරුවන් පෘථිවීශ්වර ව සිටිය ත් සමහර කෙනෙක් උන්ට නින්දා කෙරෙති. සමහර කෙනෙක් ප්‍රශංසා කෙරෙති. කලෙක නින්දා කොළෝ ප්‍රශංසා කෙරෙති. ප්‍රශංසා කොළෝ නින්දා කෙරෙති. මහ පොළොවට වුව ත් ඉරට-සඳට වුවත් දොඩති. බෙණෙති. සිවු වනක් පිරිස් පිරිවරා හිඳ බණ කියන සර්‍වඥවරයන්ට පවා සමහර කෙනෙක් නින්දා කෙරෙති. සමහර කෙනෙක් ප්‍රශංසා කෙරෙති. නුවණ නැත්තෝ නින්දා කළ මනා දෙයට ප්‍රශංසා ත් කෙරෙති. ප්‍රශංසා කළ මනා දෙයට නින්දා ත් කෙරෙති. එ පමණ නො වෙයි. නුවණැත්තවුන් දැන කරන හෙයින් යම් කෙනකුන්ට නින්දා කොළෝ නම් ඌ නින්දා ලැබ්බ’යුත්තෝ වේමය. යම් කෙනකුන්ට ප්‍රශංසා කොළෝ නම් ඌ ප්‍රශංසා ලැබ්බ යුත්තෝ ම ය’යි බණ වදාරා “හෙම්බා යම් කෙනෙක් ස්වභාවයෙන් මිතභාණී බැවින් මුයෙන් නොබැණ හුන්නෝ නම් ‘ගොළුවා සේ මේ කිම් දැ’යි උන්ටත් බෙණෙති. ‘මිතභාණී හෙයිනැ’යි කියන්නෝ මඳ වු ය.

යම් කෙනෙක් බොහෝ කොට දොඩ ත් නම් ‘අකුරු පුළුලක් සේ සුළං තද තැන බැඳලූ තල් වක්කන්නක් සේ කටෙක් කම සේ නැත. ‘සාළිත්ත සිල්ප ය දන්නෝ ඇත් නම් නැළි ගණන් ලාසු ගණන් එළු බෙටිත් නොදක්වා ලා කටට ගසාලිය හැක්ක’ යනාදීන් දොඩති. බෙණෙති. ඉතා බොහෝ ත් නො කොට, ඉතා මඳ ත් නො කොට යුක්ත මුක්තවාදී ව කියන්නවුන්ට ‘කුමක් ද? මූ තුමූ මුවෙයි තුබූ බස් පමණකට ඉතා ලෙටියෝ ය. බසක් කියා ලත් නම් ගැටෙකින් ගුලෙකින් මෑත් කරන දෙයක් මෙන් ඉතා ලෙටි කෙනකුන් රනක් රත්රනක් දී ලන්නා සේ බසක් ම හරවාගත නො හැක්කැ’යි දොඩති. එ හෙයින් මෙලොව නින්දා නොලබන කෙනෙක් නැත. ගිය දවස වුව ත් දැන් වුවත් මතු දවස වුවත් මේ නින්දා ලබන සැටි ම ය.

යම් කෙනෙක් ත්‍රිවිධ ශික්‍ෂායෙහි යෙදී වෙසෙත් ද, නොහොත් ධර්‍ම ජීවිකාවෙහි නො පමාවෝ ද, ධර්මොජ ප්‍රඥාවෙන් සමන්විත හෙයින් නුවණැත්තෝ ද, ලොවී ලොවුතුරා නුවණින් හා සිවු පිරිසුදු සීලයෙන් සමන්විතයෝ ද, එසේ වූ සත් පුරුෂයන්ට දෙවියන් වුවත් මිනිසුන් වුව ත් කවර නම් කෙනෙක් රිදී නුමුසු ඝන රනක් මෙන් කුදෘෂ්ට්‍යාදී මලාපගමයෙන් පවිත්‍ර වූ අදහස් ඇති හෙයින් දෙඩිය හෙත් දැ’ යි නින්දාවෙන් තමන් වහන්සේ ගළවා වදාළ සේක. දේශනා කෙළවර පන්සියයක් උපාසකවරු තෑගි තැනකින් සිත් පුරා ලබන සම්පතක් මෙන් සෝවාන් වූහ.

එහෙයින් නුවණැත්තවුන් විසින් ඒ උපාසකවරුන් පන්සියය බණ නොකීවාටත්, විදම් බණ කීවාටත්, බණ මඳ කොට කීවාටත් මුසුප්පු ව බුදුන් කරා ගොසින් අදහස් ලෙසට චරියා ලෙසින් වදාළ බණ අසා සෝවාන් වූවා සේ සියලු ලෙසින් පින් නො කිරීමෙහි ත් නො යෙදී ඉතා බැරිව තිබෙන පින් කමට ත් නො සිතා පිළිවන් පිනෙක යෙදී නිවන් අත් කටයුතු.

  1. බිදම්-ඇතැම්