තව ද සිත ප්‍රසන්න වන කලට දක්ෂිණාව අල්ප නො වන නියා ව හඟවන්ට පුණ්ණා නම් දියණියන් ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත්-
එක් දවසක් උන් පාරිනට බොහෝ වී දුන්හ. ඌ දාවල් පෑර නිමවාපියන්ට බොහෝ හෙයින් රෑත් පාන නඟා ලා වී පාරිනාහු ගිම් නිවනු නිසා ගෙන් පිටත් ව ලා ඇඟ සුළඟ ගස්ව ගස්වා සිටියහ. එ කලට දබ්බමල්ලපුත්ත මහ තෙරුන් වහන්සේ වහන්දෑට සෙනසුන් පනවන සේක. උන් වහන්සේ ද බණ අසා පියා සැතපෙන ගෙවලට යන වහන්දෑට තමන් වහන්සේ ම විටින් විට යාම බැරි හෙයින් ඇඟිලි ම පාන්කඩ කොට පාන් දල්වා ගෙන පෙරාතු ව ලා මං කිය කියා යවන වහන්දෑ මවාලූ සේක.
පුණ්ණාවෝ පහන් ආලෝකයෙන් ඒ ඒ දිග වඩනා වහන්දෑ දැක ‘මම වන්නාට ය. සිල්වත් තැනට මෙහෙ කී අකුසලින් මේ වේලා වනතුරු ත් මෙහෙ කොට නින්දක් ලද නොහෙමි. ස්වාමි දරුවන් නිඳි නො ලබන්ට කාරණ කිම් ද, එකාන්තයෙන් මින් එක් නමකට ලෙඩක් දුකක් ඇත මැනවැ’යි සිතා ගෙන කර්මාන්ත කරන පමණක් මුත් බත් ඵාසුවක් නැති හෙයින් උදාසන ම කුඩු සුඟක් හැර ගෙන පැණින් තෙමා පියා දාද පූ[1] සැටියට හඹා ලා ගින්නේ ලා පළහා ගෙන එ තැන දී කන්ට අවසර නැති හෙයින් දෝ නොහොත් වාල් ජාතිය නම් මුදළිවරුන් දැක්ක දී කන්ට මැළි හෙයින් ‘පැනට යන කල මඟ දී කමී’ සිතා කළ ය හැර ගෙන පැන් තොට බලා නික්මුණාවු ය.
බුදුහු ත් ගමට සිඟා වඩනා පිණිස එම මඟට පැමිණි සේක. පුණ්ණාවෝ නමින් මතු නොව අදහසිනු ත් පිරී සිටි තැනැත්තෝ බුදුන් දැක ‘මෙ තෙක් දවස් බුදුන් දුටු කල පිළිගන්වා ලන්ට නිස්සෙක් සම්භ නො වෙයි. පිළිගන්නවා ලන්ට නිස්සක් සම්භ වු කලට බුදුන් දක්නට නැත. අද වූ කලි නපුරු වුවත් පිළිගන්වා ලන්ට නිස්සකු ත් මා අත ඇත. බුදුහුත් සම්භ වූ සේක. ඉඳින් නපුරැ යි සිතා පිළි නො ගනිතොත් මුත් මම මේ කුඩු කැවුම පිළිගන්වමී’ සිතා ලා කළ ය එක් තැනෙක තබා ලා බුදුන් වැඳ ලා තමන් අදහසින් සුඛිත බව මුත් සෙසු ලෙසින් දුක්පත් නියාව හඟවමින් ‘ස්වාමීනි, මේ කුඩු කැවුම් හුදක් කුඩින් ම කළ හෙයිනුත් තෙලක් පිටියක් නුමුසු හෙයිනු ත් මිහිරි නොවත ත් මිහිරි නිවන් සාදා දෙනු නිසා පිළිගතොත් යහපතැ’යි කිවු ය. බුදුහු ත් කුඩු කැවුම පිළිගත් සේක.
පුණ්ණාවෝ ද කැවුම් පිළිගන්වා ලා වැඳ ගෙන ‘ස්වාමීනි, මේ කුඩු කැවුම් මුඹ වහන්සේට පැමිණ රසවත්ව උතුම් වන්නාසේ අනුන් සන්තක වූ මම මුඹ වහන්සේ කරා පැමිණ තෘෂ්ණාදාශත්‍වයෙන් මීදී නිදහස් වෙම් ව’ යි පැතූහ. බුදුහු ත් ‘එ සේ ම වේව’යි වදාරා ලා බණ ත් වදාළ සේක. පුණ්ණාවෝ ත් ‘බුදුහු මා කෙරේ කරුණාවෙන් දිව කැවුම් ලබ්බවනු නිසා කුඩු කැවුම් පිළිගත් බව මුත් මේ කොයි වළඳන සේක්ද? වැළඳිය ත් හැකි ද? එකාන්තයෙන් තෙලෙ ඔබ්බකට ගෙන ගොසින් ලා බල්ලන්ට හෝ ලවා පියා රජ යුව රජ ආදී වූ පොහොසත් කෙනකුන්ගේ ගෙට සිඟා ගොසින් මධුරාහාර ය. වළඳන සේක.’ යි සිතූ ය. බුදුහු ත් උන්ගේ අදහස් දැන ගෙන වැඩ හිඳිනා කැමැති ව අනඳ මහ තෙරුන් වහන්සේ මූණ බලා වදාළසේක, මහ තෙරුන් වහන්සේ ත් නුවරින් පිටත හෙයින් සතර පට කොට ලා සඟළ සිවුර පනවා ලූ සේක. බුදුහු වැඩ හිඳ දිව කැවුම් වූ කුඩු කැවුම් වැළඳූ සේක.
දිව කැවුම් වූයේ නම් බුදු වන දවසු ත් පිරිනිවන් පානා දවසුත් දෙවියෝ සක් වළ ගබ ඇති රස ඕජාව මී කැටියකින් මී මිරිකා ගන්නා සේ මිරිකා ගෙන භාජන ගත භෝජනයෙහි බහා ලති. සෙසු දවස් අතට හැර ගත් දෙයෙහි බලා ලති. එහෙයින් එ දවසු ත් කුඩු කැවුම් අතට පිළිගන්වා ලන්නා ම ඔබ්බෙක අනුභව යට නො නිසි බැවින් සක් වළ ඇති රස ය කුඩු කැවුමේ ම බහා ලූ ය.
පුණ්ණාවෝ ත් බල බලා සිටියෝ ය. වළඳා අන්තයෙහි මහ තෙරුන් වහන්සේ බුදුන් අතට පැන් වැඩූ සේක. බුදුහුත් වළඳා ලා පුණ්ණාවන් බණවා ලා ‘ඇයි, පුණ්ණාව, කුමක් නිසා මාගේ සවුවන්ට දෙඩී දැ’යි විවාළ සේක. ‘ස්වාමීනි, මා දෙඩුවේ නැතැ’යි කිවුය. ‘මාගේ සවුවන් රෑ දවස් බණ අසා යන්නවුන් දැක කුමක් කිවු දැ’යි විචාරා ‘මම වන්නා මා අනුන්ට මිඬි වූ හෙයින් දාවලු ත් රෑ ත් මෙහෙයෙන් නිදි නොලැබෙමි. මේ ස්වාමි දරුවන් නිඳි නොලබා ඇවිදින්ට කාරණ කිම්ද? එකාන්ත ව ම මින් එක් තැනකට ලෙඩක් දුකක් ඇති නියාවනැ යි කීමි’ කිවු ය.
බුදුහු උන්ගේ බස් අසා ‘පුණ්ණාවෙනි, තෙපි රෑ ත් දාවලු ත් කර්‍මාන්ත ම හෙයින් අවසර නො ලදින් නො නිඳව. මාගේ සවුවෝ නිඳීමෙන් වඩනා කුසල් ධර්‍ම නැති හෙයින් නො නිඳන පිණිස ම නො නිඳතී’ වදාරා ‘නිවන්හි කළා වූ ආලයෙන් ත්‍රිවිධ ශික්‍ෂා පූරණ ය නිසා යම් කෙනෙක් රෑ වුව ත් දාවල් වුවත් නොනිඳත් නම් උන්ගේ නො පමාව වැඩී ම නිසා හිර නැගෙ ත් නැගෙ ත් අඳුරු දුරු වන්නා සේ අවු පහරු ත් පහරුත් පිනි සිඳෙන්නා සේ සව් කෙලෙස්හු නසිතී’ වදාළ සේක. දේශනා කෙළවර කුඩු කැවුම් පිළිගැන්වූ පුණ්ණාවෝ ශ්‍රෝත ආපත්ති නමැති දිව කැවුම් ලත්හ. තව ත් බොහෝ දෙනාට මේ දේශනාව සප්‍රයෝජන වි ය.
බුදුහු ත් කුඩු කැවුම් වළඳා ලා වෙහෙරට වැඩි සේක. ධම්-සෙබෙයි රැස්ව හුන් වහන්දෑ ත් බුදුන් පුණ්ණාවන් දුන් කුඩු කැවුම් පිළිගත් නියාව ත් වැළඳූ නියාවත් ඉතා විස්ම ය යි කථාව ඉපැද වූ සේක. බුදුහු ඒ අසා වදාරා බුදු වූ අවස්ථාවේ තබා පැරුම් බිමදීත් උන් දුන් කුඩු අනුභව කළ නියාව ත් වදාරන සේක් -
“භුත්‍වා තිණපරිඝාසං - භුත්‍වා ආචාමකුණ්ඩකං,
එතං තෙ භොජනං ආසි - කස්මා ‘දානි න භුඤ්ජසි.”
යනාදීන් කුණ්ඩක සින්ධව ජාතක ය විස්තර කොට වදාළ සේක.
එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් බුදුන් පුණ්ණාවන් කෙරෙහි කළ අනුග්‍රහයෙන් කුඩු කැවුම් වැළඳුවා සේ නිවන්හි කළ ආලයෙන් රූක්‍ෂ ප්‍රතිපත්තියෙහි හැසිර බුදුන් ලත් ප්‍රශංසාවට ආසන්න ව සිටිනා ප්‍රශංසා ලද යුතු.
-
දාපු පූ ↑