තව ද සීලාදී ගුණෙන් යුත් උත්තමයන් ගේ උත්තම ගුණ හඟවනු නිසා සාකෙත වත දක්වමු.
කෙසේද යත් -
රත් නෙළුම් වන මධ්‍යයෙක ගමන් ගත් රුවක් මෙන් සඟ ගණ පිරිවරා බුදු රජුන් වහන්සේ සාකෙත නුවරට සිඟා වඩනා කල්හි සාකෙත නුවර වසන එක් මහලු බමුණාන කෙනෙක් නුවරින් නික්මුණු තැනැත්තෝ වාසල් බඩ දී දශබලධාරී වූ බුදු රජුන් වහන්සේ දැක පය ඉස තබා ගෙන වැද හෙව වළලු කර තරයේ අල්වා ගෙන ‘පුතණ්ඩ, දරුවන් නම් මහලු ව ගිය දෙමවුපියන් රැක්ක මනා වේද? මෙ තෙක් කල් මුළුල්ලෙහි රක්නා තබා අවුත් විචාරන පමණකුත් නො වී ය. අපි වන්නා දුටුමෝ වේ ද? මෑණියන්දෑ විචාරනට අව මැනැවැ’යි බුදුන් කැඳවා ගෙන තමන්ගේ ගෙට ගියහ. බුදුහු ත් වැඩ ලා පැන වූ හස්නෙහි වැඩ හුන් සේක. වහන්දෑ ත් වැඩ හුන් සේක.
බැමිණිනියෝ ත් අවුත් බුදුන්ට බැස හෙව වැඳ ලා බමුණානන් කී ලෙස ම කියා දූ දරුවනු ත් කැඳවා ලා ‘තොපගේ බෑණන් වහන්සේ වඳුව’යි කියා ලා වැන්ද වූ ය. බුදුන් දුටු වේලේ පටන් බොහෝ සතුටු ඇති බුදු පාමොක් වහන්දෑ වළඳවා ලා ‘ස්වාමීනි, නිරන්තරයෙන් ම ඔබ්බකට සිඟා නොගොස් මුඹ වහන්සේගේ මහලු දෙමවුපියන්ට ම සංග්‍රහ කළ මැනැවැ’ යි කීහ. සර්‍වඥවරයෝ නම් බොහෝ දෙනාට පිරෙන පින් තබා පියා එක තැනකින් ම දන් නො වළඳතී’ කී කල්හි ‘එ සේ වී නම්, ස්වාමීනි, යම් කෙනෙක් මුඹ වහන්සේට ආරාධනාවට අවු නම් උන් අප කරා එවුව මැනැවැ’යි කීහ.
බුදුහු ත් එවක් පටන් පවරන්ට ආ කෙනෙක් ඇත් නම් ‘බමුණානන්ට කියව’යි කියා ලා ඔබ යවන සේක. උයිත් ගොසින් සෙට යට ආරාධනා අපගෙනැ’යි බමුණානන්ට කියති. බමුණානෝ දෙවන දවස් තමන් ගෙන් බත් මාළු ගෙන්වා ගෙන බුදුන් වැඩ හුන් තැනට යෙති. ඔබ්බෙකින් ආරාධනාවෙක් නැත්නම් බුදුහු බමුණානන්ගේ ගෙයිදී ම වළඳන සේක. දෙමවුපිය කම් කියා ගත් බමුණානන් හා බැමිණිනියන් හා දෙන්න කවුරුන් දන් දෙත ත් නිරන්තරයෙන් ම තමන් සන්තක දෙය බුදුන්ට දන් දෙන්නාහු බණ ත් අසන්නාහු අනගැමි වූහ.
ධම් සෙබෙයි රැස් ව වැඩහුන් වහන්දෑ ද ‘ඇවැත්නි, බමුණානෝ සුදොවුන් මහ රජාණන් බුදුන්ට පිය නියා ව ත් මහාමායා බිසොවුන් බුදුන්ට මවු නියාව ත් දනිති. දැන දැන ම තුමූත් බැමිණිනියෝත් බුදුන් තමන්ගේ පුතණුවන් වහන්සේ ය’යි කියති. බුදුහු ත් ඒ ඉවසන සේක. කාරණ කිම් දෝ හෝ’යි කථාව ඉපැද වූ සේක. බුදුහු ත් ඒ කථාව අසා මහණෙනි, ඌ දෙන්න ම තමන්ගේ දරුවන්ට ම දරුවෝ ය යි කියතී’ වදාරා ඉකුත් වත් දක්වන සේක් ‘මහණෙනි, මේ බමුණානෝ පිට පිට පන්සියක් ජාතියෙහි මට ම දා පිය වූහ. එ සේම පිට පිට හෙළා පන්සියක් ජාතියෙහි කුඩා පිය වූහ. එසේම පිට පිට හෙළා පන්සියයක් ජාතියෙහි මාලු පිය වූහ. බැමිණිනියෝද පිට පිට හෙළා පන්සීයක් ජාතියෙහි වැදූ මවු වූ ය. අනික් පන්සියයක් ජාතියෙහි කුඩා මවු වූ ය. තව ත් පිට පිට හෙළා පන්සියයක් ජාතියෙහි මෑලි මවු වූය. මෙසේ මම යෙළ දාසක් ජාතියෙහි බමුණානන් අත වැඩියෙමි. යෙළ දාසක් ජාතියෙහි බැමිණිනියන් අත වැඩියෙමි’ මෙ ලෙසින් තුන් දහසක් ජාතියෙහි පිට පිට හෙළා තමන් වහන්සේ උන් දෙන්නාට පත් වූ නියා ව වදාරා ලා-
“යස්මිං මනො නිවිසති - චිත්තඤ්චාපි පසීදති,
අදිට්ඨපුබ්බකෙ පොසෙ - කාමං තස්මිං ‘පි විස්සසෙ”
යනු හෙයින් ආදි නුදුට ත් දැක මා කෙරෙහි ප්‍රේම ය බහුල ව පැවැත්තැ’යි වදාරා බුදුහු ඒ කුල ය නිසා විසූ සේක.
බමුණු-බැමිණි දෙන්න ත් රහත්ව පියා ආයු ශක්ති ය ත් නිමි හෙයින් පිරිනිවියහ. ඒ දෙන්න ම මඟ පෙරහරින් එක කුළුගෙයකට නංවා ආදාහන භූමියට ගෙන යෙති. බුදුහු ත් පන්සියයක් දෙනා වහන්සේ පිරිවරා ආදාහන භූමියට වැඩි සේක. බුදුන්ට දෙමවුපිය කම ප්‍රසිද්ධ හෙයින් බොහෝ දෙන ත් නික්මුණාහ. බුදුහු ත් ආදාහන බිම ළඟ එක් ශාලාවකට වැද ලා වැඩ සිටි සේක. මිනිස්සුත් බුදුන් වැඳලා එකත්පස්ව සිට ‘ස්වාමීනි, දෙමවුපියන් මළ යි සිතා මුසුප්පු වන්ට නො කැමැත්තේ ය’ යනාදීන් සාද සාමීචි කෙරෙති. බුදුහු ත් ‘එසේ නො කියව’යි නො වදාරා පර්ෂත්ගේ අදහස් බලා ඒ ඇසිල්ලට නිසි බණ වදාරන සේක්-
“අප්පං චත ජීවිතං ඉදං - ඔරං වස්ස සතාපි මීයති,
යො චෙපි අතිච්ච ජීවති – අථ ඛො සො ජරායපි මීයති.”
යනු හෙයින් ‘මිනිස්ලොව ජීවත්වීම නම් ලඝු ය. හවුරුදු සියයට මෑත ත් මියෙති. වඩා වුවත් ජරාවට පැමිණ පියා මියෙත් ම ය’ යි වදාළ සේක. දේශනා කෙළවර සුවාසූ දහසක් දෙන නිවන් දුටහ.
වහන්දෑ ද බමුණානන් හා බැමිණිනියන් පිරිනිවි නියාව නො දැන ‘ස්වාමීනි, උන් උපන්නේ කොයි දැ’යි විචාළ සේක. බුදුහු මහණෙනි, භවක්‍ෂ ය කළවුන්ගේ ත් උත්පත්ති ඇත් දැ’යි විචාරා බණ වදාරන සේක් ‘යම් කෙනෙක් සම්‍යක් ප්‍රතිපදාවෙහි පිහිටා පර්‍ය්‍යාප්තියෙහි තර වූ අභියෝගය ය ඇති බැවින් ප්‍රතිවේධයට ත් යත්න කොට සමථාහියෝග ය කොට සමථ ය උපදවා ගෙන තත් පාදක වූ මාර්‍ග ඵල උපදවා ගත්තු නම් ඔහු අනුපධිශේෂ නිර්‍වාණ ධාතුවෙන් පිරිනිවෙති. එ හෙයින් මුන් දෙන්න ත් පිරිනිවියහ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් සත් පුරුෂයන් විසින් මනාව පිළිපැද භවක්‍ෂයට ම උත්සාහ කටයුතු.
_________