188. මුගලන් මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව

star_outline

තව ද බැරෑරුම් නො වන යන් තම් කුසලයකිනුත් දෙව්ලොව උපදනා නියාව හඟවන්ට මුගලන් මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව කියමු.

කෙ සේ ද යත් –

එක් සමයෙක මුගලන් මහ තෙරුන් වහන්සේ දෙව්ලොවට වැඬ මහේශාඛ්‍ය දෙව් දුවකගේ විමනක් කරා වැඩ උන් තමන් වහන්සේ ළඟට අවු ත් වැඳ ලා සිටියවුන්ට ‘දේවතා දුවණියෙනි, තොපගේ සම්පත මහත. මේ සම්පත නිකම් හිඳ ලද හැක්කේ නො වෙයි. පිනක් කළොත් මුත් ය. කෙසේ වූ පිනක් කොට මේ සම්පත ලදු දැ’යි විචාළ සේක. දේවතා දුවණියෝ ද තමන් කළ කුසලය ඉතා ලඝු ව තිබෙන හෙයින් කියන්ට ලජ්ජා ඇතිව ‘ස්වාමීනි, ඒ විචාරා වදාරන්ට නො කැමැත්තේ ය’ යි කිවුය. එ සේ කියන්ට මැළි වුව ත් මහ තෙරුන් වහන්සේ අර්ථී ව විචාරන හෙයින් නො කීම ත් යුක්ත නො වන්නා ‘ස්වාමීනි, මිනිස් ලොව සිටිනා ගමනේ එ බඳු විභවයක් නැති හෙයින් දී ලූ දනකු ත් නැත. කොට ගත් චෛත්‍ය පූජාදියකු ත් නැත. අසා ගත් බණකුත් නැත. අදහස් ලදෝතින් පිළිවන් බැවින් බොරුවක් තුඩ නො වකා සැබෑ පමණක් කීම්හ. එ පමණකින් දෙව්ලොව ඉපැද දෙව් සැප ත් ලදුම්හ’යි කිවු ය.

මහ තෙරුන් වහන්සේ ද එ පමණකින් නැවත නො පියා තව තව ත් දෙවඟනන්ගේ විමන් දොර කඩවලට වැඩ අවුත් වැඳ ලා සිටියවුන් අතින් කළ කළ පින් කම් විචාරා කියා ලූ කලට ඉතා ලඝු හෙයින් කියන්ට මැළි ව සිටි කල්හි මිනිස් ලොවට වැඩ පියා සතුන් පින් කම යොදනු නිසා තර ව විචාළ සේක. විචාරන ලද්දවුන්ගෙන් එක් දේවතා දුවක් “ස්වාමීනි, මම එක් ජාතියෙක අනුන්ට මිඩි වීමි. ස්වාමි දරු ව සිටියෝ දුටු විට මූණ ඔවති. දොඩති, බෙණෙති. මම් ඒ ගහට විඳත්, හෙම්බා, ස්වාමිදරුව, සිටියෝ නම් කුමකු ත් කරන්නා ලද්දෝ ය. ඉසුරු ව සිටිනා බැවින් ඌ කුමක් කෙරෙ ත් නමු ත් තමා අනුන්ට අයිති වූ පසු තමාට වුවමනා නම් සහන ය ය. ඒ මෙලොව සාධා දී ලිය නො හී නමුත් පරලොව සාදා දී ලයි. උන් කරන කටයුත්තෙන් පරලොව සාදා දී ලිය හෙන දෙයෙක් නැත. මෙලොවටත් වඩා වුවමනා පරලොව ය’යි සිතා උන් කරන ගහට ඉවසා ක්‍ෂමාව කෙළෙමි. එ පමණකින් මේ සා මහත් දිව සැප ලදිමි.” කිවු ය.

අනික් දේවතා දුවණි කෙනෙක් උක් සේනක් බලා හුන් ගමනේ උක් දණ්ඩක් පමණ පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය. එක් දේවතා දුවණි කෙනෙක් තිඹිරි පකක් පිළි ගන්වා ලා දිව සැප ත් ලත් නියාව කිවුය. අනික් දේවතා දුවණි කෙනෙක් කැකිරි පකක් පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙනෙක් බොරළු දමන පකක් පිළිගන්වා ලා දිව සැපත් ලත් නියාව කිවු ය. එක් දේවතා දුවණි කෙනෙක් මුල පලා මිටක් පිළිගන්වා ලා දිව සැපතට මුල් වූ නියාව කිවු ය. අනික් දේවතා දුවණි කෙනෙක් කොසඹ අත්තක් පමණ පිළිගන්වා ලා දිව සම්පත් ලත් නියාව කිවු ය.

මහ තෙරුන් වහන්සේ උන් හැම දෙනා කළ පින්කම් අසා මිනිස් ලොවට පහළ කරණු පිණිස බුදුන් කරා වැඩ ‘ස්වාමීනි, අනික් පින්කමක් නැති ව සැබෑ කී පමණකින් හා අනුන් කෙරෙහි ක්‍රෝධ නො කිරීම් පමණකින් හා තිඹිරි-කැකිරි ආදි ය දන් දුන් පමණකින් දිව සැප ත් ලද හැකි ද? මැළි ව නො කරන හෙයින් මුත් පින්කම් නම් නිරායාශ නියා වේ දැ’යි විචාළ සේක. ‘හැයි, මෞද්ගල්‍යානයෙනි, කුමක් නිසා මා අතින් විචාරවු ද? මෙ පමණකින් දිව සැපත් සම්භ වන නියාව දේවතා දූ ම තොපට කීවෝ වේද? උන් උන් ලත් සම්පතුත් දුටුවා දැ’යි වදාළ සේක. මා ම ඇසුව’යි දුටුව’යි පමණ කිම්ද? මකුළුවන් කෑ කෑ දෙයක් හූ වන්නා සේ සුගන්ධ හස්තීන් අනුභව කළ දෙය සුවඳ වන්නා සේ මුඹ වහන්සේ වදාළ දෙයක් ධර්‍ම වන හෙයින් මේ අර්ථොත්පත්ති කොට කුදු ගොත් සඟිය විමන් වත පහළ කරණු නිසා විචාළෙමී’ කී සේක.

බුදුහුත් යම් කෙනෙක් සත්‍යයෙහි පිහිටා සැබෑ කිවු නම් කවර තරම් අපරාධයක් කළ කෙනකුන්ට වත් ඛන්තිවාද ජාතකාදියෙහි බෝධිසත්‍ව චරිත ය සේ ක්‍රෝධ නො කෙරෙත් නම්, තව ද යම් කෙනෙක් සිල්වතුන් ගම් ගෙවලට ගොසින් ඉල්වීමක් නැත ත් සල්ලෙඛ ප්‍රතිපත්ති ලෙස සිඟා සිටීම ම ‘උද්දිස්ස අරියා තිට්ඨන්ති එසා අරියාන ‘යාචනා’ යනු හෙයින් ඉල්වීමක් හා සරි හෙයින් එ සේ ඉල්වූ කල තමන්ට සෑහෙන පමණක් කුඩු මිටක් වැඩියක් වුව ත් පලා සැන්දක් වුවත් කම් පල අදහා දෙත් ද, මේ තුනින් වුව ත් දෙකකින් වුව ත් එකකින් වුව ත් දෙව්ලොවට යෙති’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් මේ පින්කම් තුනක් වුව ත් මෙයින් සිද්ධ වන ලොවී සැප ත් තිබිය දී ලොවුතුරා සැප ත් නවයක් බැවින් වැඩියුරු ව සිතා බැරෑරුම් පින්කම් බැරි වුව ත් මේ පමණක ත් හැසිර ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කට යුතු.