තව ද අවූ කෑවන් සෙවණ කැමැති වන්නා සේ, සසර දුක් බන්න වුන් නිවන් කැමැති වන්නා සේ පවෙහි භය ඇත්තවුන් කුසල්හි කැමැති ව ඇලෙනු සඳහා සමන් දේවි වත මේ තැන්හි කියමු.
කෙසේ ද? යත්:-
සැවැත් නුවර අනේපිඬු මහ සිටාණන්ගේ ගෙයි දී දවස් පතා සඟ දෙ දාසෙක් වළඳන සේක. එ සේ ම විසාඛාවන්ගේ ගෙයි දී ත් සඟ දෙ දාසෙක් ම වළඳන සේක. සැවැත් නුවර යම් යම් කෙනෙක් රජ්ජුරුවන් දක්වා ත් දනක් දෙත් නම් මුන් දෙන්නාගෙන් අවසරයක් ලදින් මුත් අනික් ලෙසකින් දන් වුව ත් දී ලිය නොහෙති. ඊට කාරණ කිම්ද යත්:- පෝමන් නැත්තෙකින් නො වෙයි. ‘තොප දන්දෙන තැනට අනේපිඬු මහ සිටාණෝ හෝ විසාඛාවෝ
හෝ අවුදැ’යි විචාරා නැතැ යි කී කල්හි ලක්ෂ ගණන් වියදම් කොට දුන් දනක් වුව ත් ලුණු නොලා දුවාපූ මාළුවක් මෙන් ඒ දනක් කොට නො කියති. ඌ දෙන්න වහන්දෑගේ රුචි ය, අභිප්‍රාය, ඉඳුරා දනිති. උන්ගේ විධානයෙන් ඉදි කළ දන් වහන්දෑ සුව සේ වළඳන සේක. එ සේ හෙයින් දන් දෙන කෙනෙක් උන් දෙ පක්‍ෂ ය කැඳවා ගෙන යෙති.
එ සේ හෙයින් තම තමන්ගේ ගෙවල දී වළඳන වහන්දෑ වළඳ වන්ට උන් දෙන්නාට අවසර මඳ. එ කල විසාඛාවෝ තමන් අව සර මඳ හෙයින් තමන් තරමේ සිට වළඳවා ලන කෙනකුන් විමසන්නෝ තමන් පුතණු කෙනකුන්ගේ දුවණ කෙනකුන් ඊට සමර්ථ නියා ව දැන වැළඳවීමට උන් නිල කළහ. එ වක් පටන් ඒ සඟ දෙදාස ඌ වළඳවති. අනේපිඬු මහ සිටාණෝ ද එ ලෙසට තමන්ගේ වැඩි මාලු දූ වූ මැලි සුභද්‍රාවන් නිල කළහ. ඌ එ ලෙස දන් වළඳ වන්නෝ බණ අසා සෝවාන් ව ගෙන ආර්‍ය්‍ය මාර්‍ග ශ්‍රොත යට පැමිණි බව මුන් කෙලෙස් ශ්‍රොතස සියලු ලෙසින් සිඳින්ට නුවූ හෙයින් සරණ ගියහ. ඉක් බිත්තෙන් කුඩා සුභද්‍රා නම් දුවණියන් දන් වළඳවන්ට නිල කළහ. උයි ත් දන් වළඳවන්නාහු සෝවාන් ව තුමූ නිවන් වළඳා විය පැමිණ සරණ ගියහ. ඉක් බිති සුමනා නම් වූ බාල දුවණියන් දන් වැළඳවීමට නිල කළහ. ඌ දන් වළඳවන්නෝ සෙදැහැමි ව ගෙන පස්කම් පා තුනී හෙයින් සරණ නො ගොසින් දන් වළඳවන්නෝ එක් තරා ලෙඩක් නිසා බත් කැවිලි නැති ව පියාණන් දක්නා කැමැති ව කැඳවා ය වූ ය.
සිටාණෝ ද එක් දන් දෙන තෙනක විධාන කෙරෙමින් සිටි තෙනැත්තෝ එ බස් අසමින් ගොසින් ‘කුමක් ද පුත, සුමනා දෙවිනි’ කිවු ය. එ සේ කියාලු බසට ‘කුමක් ද ? බාල මලණුවෙනි’ කිවු ය. ඒ අසා සිටාණෝ ‘කුමක් ද පුත නන් දොඩන නියා දෑ’යි විචාළෝ ය. ‘කුඩා මලණුවෙනි, මා නන් දොඩන්නේ නැතැ’යි කී ය. කියා ම මිය සත් පනස් කෙළ සැට ලක්‍ෂයක් හවුරුද්දට ආයු ඇති තුසී පුරෙහි ආයු පමණින් රෝගයක් නැති ව දිව අත් බවක් ලදින් උපන්හ. සීටාණෝ ද දෘෂ්ටි විචිකිච්ඡා නසා පූ බව ද මුත් ශෝක නසා පියන්ට නුවූ හෙයින් බලවත් වූ ශෝක ඇති ව දුවණියන් දවා පියා හඬමින් වලපමින් ශොකී ව නිශ්ශෝක වූ බුදුන් කරා ගොසිස් ‘හැයි’ සිටාණෙනි, හඬතැ’යි විචාරා වදාළ කල්හි ‘මාගේ කුඩා දූ සුමනා දේවී මළෝ ය. ඒ නිසා ය, ස්වාමීනි,’ කිවු ය.
බුදු හු ඒ අසා “උපන් සතුන්ට මරණ නියත නියාව විවරණ ලත් බෝසතුන්ට බුදු බව නියත යා සේ නොදනු ද? හඬන්ට කාරණ කිම් දැ’ යි වදාළ සේක. ‘ස්වාමිනි, ඒ දනිමි. මාගේ ඒ නියා විළි ලජ්ජා ඇති දරුවෝ මියන වේලෙහි සිහි එළවාගත නො හී නන් දොඩමින් මළෝය. ඒ නිසා මුසුප්පු වෙමි, “ස්වාමීනි” කිවු ය. ‘සිටාණෙනි, ඌ කුමක් කිවු දැ’යි චිචාරා ‘ස්වාමීනි, තමන්ට පුතණ්ඩයි යන්නා දෙ විටක් කොටම ‘බාල මලණුවෙනි, මට කිවු ය. එ සේ කියන්නේ නම් සිහි එළවාගත නොහී වේ දැ යි ස්වාමීනි” කිවුය. බුදුහු ඒ අසා “සිටාණෙනි, ඌ නන්දොඩන්නෝ නැත. තොප වයසින් හා නෑ කමින් කුම් වුව ත් ගුණෙන් බාල හෙයින් කිවු ය. තෙපි සෝවාන් වුව. තොපගේ මළ දුවණියෝ සෙදගැමි වූහ. තමන් මාර්‍ග ධර්‍මයකින් හා ඵල ධර්‍මයකින් තොපට වැඩී සිටි හෙයින් එසේ කිවු ය’යි වදාරා ‘දැන්, ස්වාමීනි, ඌ කොයි උපන්නු දැ’යි විචාළ සිටාණන්ට තුසී පුරයෙහි උපන් නියාව වදාරා ‘හෙම්බා සිටාණෙනි! කළ පින් ඇත්තෝ මේ ලොව ත් තමා කළ පින් සඳහන් කොට සතුටු වෙති. පර ලොව ත් අනන්ත වූ සම්ප තම පැමිණ සතුටු වෙති. එ හෙයින් කුශල ය නම් මෙ ලෝ-පර ලෝ දෙක්හි ම යහපත් දෙයෙකැ’යි වදාළ සේක.
මේ දේශනාවගේ කෙළවර බොහෝ දෙන නිවන් පුර වැද සැනහුණු ය. එ හෙයින් නුවණැත්තවුන් විසින් සියලු ලෙසින් අනර්ථාවහ වූ අකුසලින් දුරුව බොහෝ අනුසස් ඇති කුසල්හි පිහිටා ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කටයුතු.