තව ද ක්‍රෝධයෙහි ආදීනවත් ක්‍ෂමායෙහි අනුසසු ත් හඟවන්ට උත්තරාවන් ගේ වත දක්වමු.
කෙ සේ ද යත් -
රජගහා නුවර සුමන සිටාණන් නිසා පුණ්ණ නම් දුගියාණ කෙනෙක් බැල මේ කොට ජීවත් වෙති. උන්ගේ ඇඹේණියන් හා උත්තරා නම් දුවණි කෙනකුන් විනා උන් නිසා ජීවත් වන අනික් කිසි කෙනකුන් නැත. එක් කලෙක සතියක් නකත් කෙළි කෙළි ය යුතු ය’යි රජගහා නුවර රාජ සම්මතයෙන් විධානයක් කළහ. ඒ අසා සුමන සිටු ද උදෑසනම පුණ්ණ නම් දුගියාණන් බණවා ලා ‘දරුව, අපගේ කර්මාන්ත කරන අය අපත් නකත් කෙළි කෙළිනා හෙයින් තුමූත් කෙළනා කැමැත්තාහ. කුමක්ද? තෙපි නකත් කෙළි කෙළු ද? නොහොත් බැළමේ කරවුදැ’ යි විචාළහ. ‘ස්වාමීනි, කෙළි ලළු නම් පොහොසත් කෙනකුන්ට වේ ද? සෙසු පොහොසත් කම් තබා අපට සාල් නැළියක් මනාවකටත් විදිකිදි නැත.
එ සේ හෙයින් නකත් කෙළි අපට හැයි ද? ගොන් ගෙයක් ලදොත් සාන්ට යෙමී’ කිවුය. කියා ලා ගොන් ගෙයකුත් නඟුල් විය දඬු ත් හැර ගෙන සාන්ට යන්නාහු ඇඹේණියන් බණවා ලා ‘සොඳුර, නුවර ඇත්තෝ නකත් කෙළි කෙළිති. අපි අප දුප්පත් හෙයින් බැළ මේයට යම්හ. වන්නාට අමුතු ලෙසට මෙ තෙක් දවස් පිසනා තරමින් බත් මාළු මඳක් වඩා පිස ගෙන සානා තැනට ගෙනෙව’යි කියා ලා සාන්ට ගියහ.
ධම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේ ද එ දවසට පෙරාතු සතියක් මුළුල්ලෙහි නිරෝධයට සම වැද සතිය පිරුණු එ දවසට හෙයින් එදවස් නිරෝධයෙන් නැගී ‘අද කවුරුන්ට සංග්‍රහ කෙරෙම් දෝ හෝ’යි දිවසින් බලන සේක්-පුණ්ණ නම් දුගියාණන් සසර නමැති මළ නො බැඳෙතත් තමන් වහන්සේගේ නුවණ දැළ බැඳුණවුන් දැක ‘මා ඵතැනට ගිය කල තමන්ට නැති වත් මට සංග්‍රහ කරන ලෙසට සැදෑ ඇද්දෝ? සංග්‍රහ කටහෙත් දෝ හෝයි බලා සැදෑ ඇති නියාව ත් සංග්‍රහ කරන නියාව ත් කළ සංග්‍රහ නිසා මහා සම්පත් ලබන නියාව ත් දැක සඟළ සිවුර හා පාත්‍රය හැර ගෙන උන් සානා තැනට වැඩ ඉවුරු බඩ එක් කැළයක් බල බලා වැඩ සිටි සේක.
පුණ්ණ නම් දුගියාණෝ ද මහ තෙරුන් වහන්සේ දැක නුවණ සී ලදින් සානා සී තබා පියා අවුත් පසඟ පිහිටුවා වැඳ ලා ‛කැළ ය බල බලා වැඩ සිටියේ දැවිටි දණ්ඩෙන් ප්‍රයෝජන ඇති නියා වනැ’යි සිතා දැවිටි දඬු කැප කොට දුන්හ. ඉක්බිත්තෙන් මහ තෙරුන් වහන්සේ පාත්‍ර යත් පෙරාන් කඩත් දෙවාලූ සේක. වාක් භේද කොට නො වදාළ ත් ‘පැණින් ප්‍රයෝජන ඇති වනැ’යි සිතා ගෙන පාත්‍රය ගෙන ගොසින් පැන් පරහා දුන්හ.
මහ තෙරුන් වහන්සේද මූ තමන් අනුන් නිසා[1] වසන හෙයින් ගේ පිටි පස්සෙක හෝ මුලුසර තැනෙක හිඳිති. ඉදින් මුන්ගේ ගෙ දොරට සිඟා ගියෙම් නම් මුන්ගේ ඇඹේණියෝ තමන් මුලුසරව හිඳිනා හෙයින් මා දොරකඩ සිඟා සිටියත් දැක පිය නො හෙති. යම් තාක් බත් හැර ගෙන මඟට එත් ද? ඒ තාක් මෙ තැන ම රඳමී’ මඳක් වැඩ සිට ලා උනු ත් බත් හැර ගෙන මඟට ආ නියා ව දැන ඇතුළු නුවර බලා නික්මුණු සේක. උයි ත් අතර මඟදී මහ තෙරුන් වහන්සේ දැක රත්රන් රිදී ආදි ය නැත ත් සැදෑ සිත් ඇති හෙයින් ‘ඉදින් අපට පිළිගන්වා ලන්ට නිස්සක් සම්භ වී නම් පුණ්‍ය ක්‍ෂෙත්‍ර වූ ස්වාමි දරුවන් සම්භ වන්ට නැත. ස්වාමි දරුවන් අරුමයක් සේ සම්භ වූ කලට පිළිගන්වා ලන්ට නිස්සක් සම්භ වන්ට නැත. අදවූ කලි ගුණ සම්පන්න වූ ස්වාමි දරුවෝත් සම්භ වූ සේක. රස පරස නැතත් අදහසින් අති පවිත්‍ර වූ බත් පමණෙක් ඇත. බොහෝ සුඛිතයන්ට සංග්‍රහ කොට ආ සේක්-අප සේ වූ දුක්පතුන්ට ත් සංග්‍රහ කරන සේක් දෝ හෝ” යි සිත සිතා බත් සැළිය බලා මහ තෙරුන් වහන්සේ වැඳලා ‘ස්වාමීනි, මා පිළිගන්වන්ට සිතන බත් නපුරැ’යි නො සිතා ගැත්තවුන්ට ත් මඬියටත් සිද්ධ වන කුසල් හා ඒ කුසලින් අප දෙන්නා ලබන ලොවී ලොවු තුරා සැපතෙක් ඇත් නම් එ ම තකා අපගේ දුක්පත් දන ඉවසා වදාළ යහපතැ’යි කිවු ය.
මහ තෙරුන් වහන්සේ ද බත් පිළිගන්නා සේක්- භාගයක් විතර පිළිගන්වා පී කලට උන්ට ත් භාග වුවමනා වේ දැ’යි අතින් පාත්‍ර ය වසා ගත් සේක. උපාසිකාවෝ ද ඔබගේ අදහස් දැන ලා ‘ ස්වාමීනි, මේ එක් කෙනකුන්ට සෑහෙන බත. දෙ භාගයක් කළ කලට ඔබටත් සෑහෙන්ට නැත. ගැත්තහුට මෙලොවින් කරන සංග්‍රහ හැර ලා පරලොව සංග්‍රහ ම කොට වදාළ යහපත. සුභකු ත් නො රඳවා පිළිගන්වනු කැමැත්තෙමි’ කියා ලා බත් හැම ම පිළිගන්වාලා ‘මේ බත අමධුර වුව ත් මේ කුසලයෙන් අති මධුර වූ නිවන් රස ලබමෝ ව’ යි පතා ගත්හ. මහ තෙරුන් වහන්සේත් ‘ඒ එසේම වේ ව’යි වදාරා බත නපුරු’යි සිතන තැනැත්තවුන්ගේ අදහස යහපත් වන ලෙසට බණ වදාරා පැන් ඵාසු තැනෙක වැඩ හිඳ අනුග්‍රහ නමැති මාළු ඇති ව වැළඳූ සේක.
උපාසිකාවෝ ද ගෙට ගොසින් සාල් සුඟක් සොයා ගෙන පෙරලා ත් බතක් පිසූහ. පුණ්ණ නම් දුගියාණෝද බිජුවට දැමුණක් සරිය සා පියා විඩාව ගොසින් බඩ සා ඉවසා ගත නො හී ගොන් උනා පියා සෙවන තැනකට පලා ගොසින් පෙර මඟ බල බලා හුන්හ. උන්ගේ ඇඹේණියෝ ද වේලා නංවා පියා බත් හැර ගෙන එන්නෝ දුගියාණන් සෑ උනා පියා හුන්නවුන් දැක ‘උදාසන ත් බත් කාලා එන්ට නු වූ හෙයින් බඩත් සාව සාත් විඩාව පෙර මඟ බල බලා හුන්හ. ඉදින් මූ තුමූ කල් යවා බත් ගෙනා හෙයින් තොරතුරු නො දැන මුසුප්පු ව ලා ළඟ තුබූ කැවිටි දණ්ඩෙන් පහරක් ගසා පූ නම් මාගේ අදහස ත් නපුරු ව ලා පිස නාසා පී බතක් සේ කල පින් කම ත් හීන ව ගියේ නම් නපුර. ළං නො ව පෙරාතු කොට කියමි’ සිතාලා ස්වාමීනි, අද එක දවස් සිත පහදවා ගත මැනව. මා කළ පින් කම ත් හානි නොකළ මැනව.
‘මම උදාසන ම බත් පිස ගෙන එන්නෙම් අතුරු මග දී ධම් සෙනෙවි ස්වාමීන් දැක මුඹට ගෙනෙන බත් ඔබට පිළිගන්වා පියා පෙරළා ගොසින් සාල් සපයා ගෙන බත් පිස ගෙනාමි. කල් පලා ගියේ එ හෙයින. දුන් දන සිත පහදවා ගත මැනැවැ’යි කිවු ය. බඩ සා දැඩි හෙයින් ඉඳුරා අසා ගත නො හී පෙරළා ත් විචාරා නැවතත් එ පවත් අසා ‘මට ගෙනෙන බත් ඔබට පිළිගන්වා පී සේ ඉතා යහපත. සසර සිටිනා තෙක් කල් බතින් ගන්නා මුළා හළ නියා වේ ද, මම ත් අද උදාසන ඔබට දැවිටි පැන් දෙවා ලීමි. සසර සිටිනා තෙක් කල් පරිවාර සම්පත්ති අඩු නැති නියා වේ දැ’ යි පහන් සිත් ඇතිව තමන් ගෙන් එ බඳු විධානයක් නැත ත් ඇඹේණියන් දුන් දනට සමාධි ව බත අනුභව කොට ලා වේලා නංවා ලත් බතක් හෙයින් ආයාස බලවත් ව උපාසිකාවන්ගේ ඔර හිස තබා ගෙන වැදහෙව නිඳති.
ඉක්බිත්තෙන් උදාසන සාට තැන් සුණු ව ගිය පස් පටන් රත් රන් ව ගොසින් කිණිහිරි මල් සමූහයක් මෙන් බබළමින් සිටියේය. පුණ්ණයෝ ත් පිබිදලා රත් රන් ගොඩවල් දැක ඇඹේණියන් බණවා ලා ‘සොඳුර, උදාසන පටන් මා සාට බිජුවට දෑමුණක් විතර රත් රන් ව පෙනෙයි. ‘වේලා නංවා ලා බත කෑ හෙයින් ඇස් බමන නියා දෝ’ යයි කිවුය. උපාසිකාවෝ ත් බලා පියා ‘ස්වාමීනි, මා වේලා නංවා ලා කෑ බතක් නැත ත් මටත් එ සේ ම රන් වන් ව පෙනෙ’යි කිවු ය. පුණ්ණයෝ ත් නැඟී සිට ගොසින් ඉන් එක් කැටියක් හැර ගෙන නඟුලිස ගසා රත් රන් නියාව දැක ‘අනේ ධම් සෙනෙවි ස්වාමීන්ට දුන් දනෙහි විපාක දුර නො යාම අද ම පෙනිණ. මෙ තෙක් රත් රන් සඟවා තබා ගෙන ප්‍රයෝජන විඳින්ට ත් බැරි ය යි ඇඹේණියන් බත් ගෙනා වළඳ රත් රන් පුරා ගෙන රජ ගෙට ගොසින් තමන් දකින්ට ගිය නියාව කියා ලා අවසර ලදින් රජ්ජුරුවන් දැක ලා ‘කුමක් නිසා අවු දැ’යි විචාළ කල්හි ‘ස්වාමීනි, අද මා සාට තැන් මුළුල්ල ම රත් රන් වි ය. ඒ මුඹ වහන්සේ භාණ්ඩාරයට ගෙන්වා වදාළ මැනැවැ’යි කිවුය. ‘තෙපි කවුරු දැ’යි විචාළ කල්හි තමන් පුණ්ණ නම් දුගියාණන් නියාව කිවුය.
රජ්ජුරුවෝ ‘නො කරුණෙක මෙසේම වන්ට කාරණ නැතැ’යි සිතා ලා ‘තෙපි අද කුමක් කළා දැ’යි විචාළෝ ය. අප කළ දෙයෙක් නම් ධම් සෙනෙවි ස්වාමීන් මා සාමින් සිටි කුඹුර කරා වැඩි ගමනේ මම දැවිටි පැන් දී ලීමි. අපගේ අඹු දරී කන්ට කුඹුරට ගෙනෙන බත් ඔබට පිළිගැන්වූ ය. මේ විනා අනික් අප දෙන්නා කළ දෙයෙක් නම් මම කුඹුර සාටීමි. ඌ තුමූ දෙ විටක් විතර බත් පිසූ ය’යි කිවුය. රජ්ජුරුවෝ ද ඒ අසා ‘ගැඬඹ නම් අඹගස ඒ දවස් ම ඇති ව ලා පල ගත්තා සේ ධම් සෙනෙවි ස්වාමීන්ට දුන් දනෙහි විපාක අද ම පෙනුණු නියා වේ දැ’යි සමාධි ව අප කළ මනා කිම් දැ’යි විචාළෝ ය. ගැල් දහස් ගණන් යවා ලා රත් රන් ගෙන්වා වදාළ මැනැවැ’යි කිවු ය. රජ්ජුරුවෝ ද ගැල් යැවූය. රාජ නියෝගයෙන් ගියවුන් රජ්ජුරුවන් සන්තක ය යි කියා ලා ඇර ගන්ට වන් කලට ගත් ගත් දෙයෙක් ඇත් නම් මැටි වෙයි. තුබූ තුබූ දෙය රත්රන. රාජ පුරුෂයෝ ද ගොසින් එ පවත් රජ්ජුරුවන්ට කීහ. රජ්ජුරුවෝ ද “තෙපි කුමක් කියා ලා ඇරගන්ට වනු දැ’යි විචාරා ‘මුඹ වහන්සේ සන්තක ය’යි කියා ලා ගතුම්හ’යි කී කල්හි ‘අප ත් ධම් සෙනෙවි සාමීන්ට අද දී ලූ දනෙක් ඇත්ද? අපි ඒ රත්රනට කවුරුමෝ ද? යව, ගොසින් ‘පුණ්ණ නම් දුගියාණන් සන්තක ය’යි කියා ලා ගනුව”යි විධාන කළහ. උයි ත් එ ලෙසම කළහ. ගත් ගත් දෙයම රත් රන් වි ය. ඒ රත් රන් ගෙන්වා සෙණ්ඩුලුවෙහි රැස් කළහ. වඩුවෙන් අසූ රියනක් විතර ගොඩ වී ය.
රජ්ජුරුවෝ නුවර වැස්සන් රැස්කරවා ලා ‘මේ නුවර මෙ තෙක් වස්තු ඇත්තේ කාගේ දැ’යි විචාළෝ ය. සෙස්සවුන්ට මෙ තෙක් වස්තු ඇති වන්නේ රජ ව සිටි මුඹ වහන්සේට ඇත් නම් වේ දැ යි කිවුය. රජ්ජුරුවෝ ඒ අසා මෙතෙක් වස්තු ඇති තැනැත්තවුන්ට සිටු තනතුරු නිසි වේ දැ’ යි බොහෝ සම්පත් දී සිටු සේසත් නංවා සිටු තනතුරු දී බහුධන සිටාණෝ ය යි නමුත් දුන්හ. නම් දී ලා පරණ සිටාණ කෙනකුන්ගේ ගෙ බිමක් කැළෑ වැඩී තුබුවා පෑ ලා ‘තෙල වල් කප්පා හරවා පියා හිඳිනට ගෙයක් කරවා ගනුව’යි විධාන කළහ. උයිත් එතැන ගෙබිම් කරවන්නෝ බොහෝ නිධාන සැළවලු ත් දැක සම්පත් ලබන ගමනේ පරිවාර සම්පතුත් බොහෝ කොට ලත් බැවින් කීප දවසක් විතරින් ම ගෙවල් කරා ගෙන ගෙවදනා මඟුලුත් සිටු සේසත් මඟුලුත් එක් ව ම කරන්නාහු සතියක් මුළුල්ලෙහි බුදු පාමොක් සඟනට මහ දන් දුන්හ. බුදුහු ද උන්ට බණ වදාළ සේක. බණ වදාළ අන්තයෙහි බහුධන සිටාණෝ ද උන්ගේ ඇඹේණියෝ ද ගුණෙන් අනුත්තර වූ උත්තරා නම් දියණියෝ දැ’යි තුන් පක්‍ෂයෙහි ඇත්තෝ ලොවුතුරා සැපතුත් ලබන්නෝ සෝවාන් වූහ.
පසු ව කලකදී රජගහා නුවර සුමන සිටාණෝ බහුධන සිටාණන්ගේ දූ වූ උත්තරාවන් තමන්ගේ පුතණු කෙනකුන්ට සරණ විචාළහ. බහුධන සිටාණෝ ද සුමන සිටාණන්ගේ පුතණුවන් සැදෑ නැති හෙයින් හා තමන්ගේ දියණියන් මාර්ගගත වූ අචල ශ්‍රද්ධාවෙහි පිහිටි හෙයින් උන්ට සරණ දෙන්ට මැළි වූහ. සුමන සිටාණෝ ද ‘එසේ නො කළ මැනව. මෙ තෙක් කල් ජීවත් වූවා ත් අප ම නිසා බැවින් නෑ සම්බන්ධ ය නිසා අපගේ පුතණුවන්ට සරණ පාවා දුන මැනවැයි කිවු ය. උන් එසේ කීවත් බහුධන සිටාණෝ දුවණියන්ට එන දවස වන මුසුප්පුව නිසා මැළි වූ කල්හි බොහෝ පැරැත්තයෝ ද බහුධන සිටාණන් කරා
ගොසින් සරණ පාවා දිය යුතු ම ය යි බොහෝ කාරණ කියා පැරැත්ත කීහ. බහුධන සිටාණෝ ද බොහෝ දෙනාට පටහැණි වීම යුක්ත නොවන්නේ වේ දැ යි උන් හැම දෙනාගේ පැරැත්ත ගිවිස, ඇසළ මස මැදි පොහෝ දවස් දුවණියන් සරණ පාවා දුන්හ.
උයිත් සරණ ගිය තැන් පටන් සැදෑ නැත්තවුන් කරා පැමිණ දනක් දී ගන්ට වේව යි බණක් අසා ගන්ට වේව යි සෙස්ස තබා විහාරයට යන ගමනක් පමණකුත් කළ නුහුණු වූ ය. තමන්ගේ ගෙට එළඹෙන වහන්දෑ නැති බැවින් වහන්දෑගේ දැක්ම ත් නැත. මෙ ලෙසින් දෙමස් දෙ පෝයක් විතර ගිය කලට ළඟ සිටියවුන් අතින් ‘වසින් තව කෙතෙක් දවස් විතර ඇත් දැ’යි විචාළහ. ‘දෙ පෝයක් විතර තුබුයේ ය’යි කී කල්හි පියාණන්ට කියා යවන්නෝ ‘සරණ පිට ලා ලා මෙසේ වූ සිර ගෙයක ලූයේ හැයි ද? මෙ ලෙස කරන කල දූ කම් කුම් වුව ත් විකිණ හැර ගන්නවුන් මිථ්‍යාදෘෂ්ටික ය යි නියම නැති හෙයින් සනක් ගසා පියා විකිණීම ම යහපත. මේ සැදෑ නැති කුලයට සරණ අවුදින් පිණක් පිරෙන්ට නැතැ’යි කියා යවුය.
බහු ධන සිටාණෝ ද බොහෝ මුසුප්පු ඇති ව මසුරන් පසළොස් දහසක් යවා ලා ‘පුත, හෙම්බා මෙ නුවර සිරිමා නම් වෙශ්‍යා දුවක් ඇත. ඕ තොමෝ දවස් පතා පහෙණය පිණිස මසු දහසක් හැර ගන්නී ය. තෙළ පසළොස් දහස ඔබ යවා ලා ඈ ගෙන්වා ගෙන මේ පසළොස් දවසට සිටු පුත්‍රයාණන්ට ඈ පාවා දී තමන් පින් කළ මැනැවැ’යි කීහ. උත්තරාවෝ ද සිරිමාවන් ගෙන්වා ගෙන ‘යෙහෙළි, මේ පසළොස් දහසක් විතර මසුරන් හැර ගෙන පසළොස් දවසක් අපගේ සිටු පුත්‍රයාණන්ට පාදපරිචාරිකා වව’යි කීවුය. උයිත් රන් දැක යහපතැ’යි ගිවිස්සෝ ය. උත්තරාවෝ ද උන් කැඳවා ගෙන සිටු පුත්‍රයාණන් ළඟට ගොසින් ‘ස්වාමීනි, මේ දෙ පෝයෙහි මූ තුමූ මුඹට පාදපරිචාරිකා වෙති. මම මේ දෙපෝයෙහි නුදුන් සරියේ දනු ත් දෙනු කැමැත්තෙමි. නො ඇසූ සරියේ බණත් අසනු කැමැත්තෙමී’ කිවු ය. සිටු පුත්‍රයාණෝ ද රූපත් ව පෙනෙන ත් සිරිමාවන් දැක උන් කෙරෙහි පිළිබඳ සිත් ඇති ව යහපතැ’යි ගිවිස්සහ.
උත්තරාවෝ ද බුදුපාමොක් වහන්දෑට ආරාධනා කරවා ගෙන්වා ගෙන ‘ස්වාමීනි, වසින් තුබූ මේ දෙ පෝයෙහි අනික් තැනකට නො වැඩ අපගේ මාළිගාවට සිඟා වඩනේ ‘යහපතැ’යි ආරාධනා කොට ගෙන ‘මෙ වක් පටන් වස් පවරන දවස් දක්වා බුදුන්ට උපස්ථාන කරන්ට ත් බණ අසන්ට ත් නිල ව ගතිමී’ සතුටු සිත් ඇති ව මුළු තැන් ගෙයි දන් විධාන කොට ඇවිදිති.
සිටු පුත්‍රයාණෝ ද වස් පවරන්නාට පෙරාතු දවස් ‘නුවණ නැති තැනැත්තී කුමක් කොට ඇවිදී දෝ’යි සී මැදුරු කවුළුවෙන් මුළු තැන්ගේ දිසාව බලා දැළි වැකුණු පිළි ඇතිව අළුවෙනුත් තැවරී ඉතා විරූපත් ලෙසට පැමිණ පිසමන් විධාන කොට ඇවිදිනවුන් දැක ‘අනේ මෝ තොමෝ ඉතා පින් මඳ එකෙක. මෙවැනි ශ්‍රී සම්පත් උසුලාගත නොහී මුඬු මහණුන්ට බත් දීමත් කටයුත්තෙකැ’ යි සිතා සැලි සැපී ඇවිද්ද’යි සිනාවක් සී ගෙන ඉවත් වූහ. උන් ඉවත් වූ කලට ළඟ සිටි සිරිමාවෝ ‘මුන් සිනා සී පූයේ කුමක් දැක දෝ හෝ’ යි එම කවුළු දොරින් බලන තැනැත්තෝ මුළු තැන් ගෙයි සිටි උත්තරාවන් දැක ‘සිනා සුණුයේ මුන් දැක ය. ඒකාන්තයෙන් ම මුන් හා පුරුදු කමක් ඇත මැනවැ’යි සිතූහ. ඌ තුමූ පිටතින් අවුත් ඒ ගෙයි රඳා සම්පත් වුන් පමණකට සම්පත් නම් ලඝු මිනිසුන් උපුල්වා පියන දෙයක් හෙයින් තමන් ඒ සම්පතට ඇතුළත් නියාවක් සිතා ගෙන උත්තරාවන් පිටත් කෙනකුනැ’යි සිතූහ.
එ සේ සිතා ‘උන්ට දුකක් උපදවා පියමි’ මාළිගාවෙන් බැස මුළු තැන් ගෙට ගොසින් උත්තරාවන් කැවුම් පිසන ඇතිලියකින් කකිය කකියා සිටි තෙලක් අතින් උකා ගන්ට අත දන හෙයින් සැන්දකින් උකා ගෙන උත්තරාවන් කරා නික්මුණා ය. උත්තරාවෝ ද උන් එන්නවුන් දැක මාගේ යෙහෙළිය මට කළ උපකාරය මූර්තිමත් දෙයක් වී නම් ලා ලන්ට සරසින් සක්වළ ගබත් හක ය. උසින් බඹ ලොව දක්වා මේ අතුර ත් මිටි ය. මාගේ යෙහෙළිය මට කළ උපකාරය ඉතා බෙහෙව. මම වැළි ත් මුන් නිසා මේ තුදුස් දවසක් මාගේ අභිප්‍රාය ලෙසින් පින් කොට ගතිමි. මෙ සේ වූ උපකාරී තැනත්තන් කෙරෙහි මාගේ ක්‍රෝධයෙක් ඇත්නම් ඒ ක්‍රෝධ නමැති ගින්නෙනුත් හුණු ව මේ තෙල් මා දවාව යි. ඉදින් ක්‍රෝධයෙක් නැති ව මෛත්‍රියෙක් ඇත්නම් මෛත්‍රී නමැති සිහිල් පැන් වැද හුණු ගුණය නිවී මාගේ ශරීරයෙහි මළ සම් පමණකට ත් හානියක් නො වේ ව’යි ගිනි මන්ත්‍රයක් සලකන පරිද්දෙන් සිරිමාවන් කෙරෙහි මෙත් කළහ. උන්ගේ මෛත්‍රියෙහි ආනුභාවයෙන් හිස වත් කළ උණු තෙල් ඇල් පැන් පරිද්දෙන් සිහිල් විය.
සිරිමාවෝ ද උන්ගේ ගුණානුභාවයෙන් වූ නියාව ම නො දැන ‘මේ තෙල් සිහිල් නියා ය’යි නැවත පලා ගොසින් කකියන තෙලින් තෙල් සැන්දක් පුරා ගෙන තවත් උත්තරාවන් කරා එති. එ සේ එන්නවුන් උත්තරාවන්ගේ මිඬියෝ දැක ‘නො විටියළ තැනැත්තිය, තෝ තමා අපගේ ස්වාමි දියණියන් ඉස උණු තෙල් වත් කරන්නා තබා ළඟට අවුත් වැඳ පියන්ට තරම් වී ද? තී අපට වැඩී ගියේ කො තැනෙක් දැ’යි බසින් ම භය ගන්වමින් ඈතින් මෑතින් අවුත් රැස් ව දඬුපත් සෙවීම කල් යන හෙයින් අතිනු ත් පයිනු ත් තළා බිම හෙලා ගත්හ. උත්තරාවෝ ද දුර සිට අඬ ගා කියා මැරීම් තැළීම් නවතා ගත නො හී ළඟට අවුත් සිට කෙල්ලන් මුළුල්ල නවතා ලා ‘ඇයි සිරිමාවෙනි, නිකෘෂ්ට වූ වෙශ්‍යාකම් කොට ඇවිදිනා තොපට පසළොස් දවසකට වුව ත් මේ තරමක් මා කොට ලූ කල එ සේ කොට ලූ මට තෙල බන්දක් කළානැ’යි කියා හිපල් ගෙඩියක් නොව අතින් පයින් ලත් ගෙඩි බැවින් පැන් හුණු කරවා නාවා පියා බෙහෙත් තෙල් ඇඟ මැඬවූහ.
සිරිමාවෝ ද එ වේලෙහි කෙල්ලන් කොට ලූ දෙයින් තමන් පිටතින් අවුත් රඳා හුන් නියාව දැන ‘අනේ මා කළ දෑ නපුර, මුන්ගේ සමණන් දැක සිනා සී පී හෙයින් ඉදින් ඌ තුමූ මා දැක සිනාවක් සී පූනම් මුන් මා හිස වත් කළ මනා තෙල් මම් මුන් ඉස වත් කළෙමි. මුන්ගේ ම කෙල්ලන් අවුත් නැවතී හෙයින් මුත් ඇතිළි වල තෙල් නිමියො ත් මුත් හුණු තෙල් මුන් ඉසවත් කිරී මෙහි නිමයෙක් ඇත් ද? එතකුදු වුවත් කෙල්ලන්ට විධාන කොට මට ගහට කැර වුව මනා තැන කෙල්ලන් කරන ගහට ත් නවතා ලා මට කැරවුව මනා සාද ම කැරවූ ය. ඉදින් මා කළ වරදට මුන් ක්‍ෂමා නො කරවීම් නම් මාගේ ඉස සත් කඩක්ව පැළී ගිය නම් නපුරැ’යි වැඳ ගෙන වැද හෙව ‘ස්වාමීනි, ක්‍ෂමා කළ මැනවැ’යි කිවුය. උත්තරාවෝ ‘මම තොප සේ නො වෙමි. මගේ පියාණන් වහන්සේ ත් ඇත. දෙමවුපියන් ඇති ව ඇති වූ සැටි ය මා කොට ලූ තරමින් ම දත්තාව ද? ඒ මාගේ පියාණන් වහන්සේ ක්‍ෂමා කරවන සේක් වී නම් ක්‍ෂමා කෙරෙමි” කිවු ය. ඒ අසා සිරිමාවෝ වන්නාට ය. මුඹගේ පියාණන් වහන්සේ ත් ඇතුළු ව දෙමවුපියනු ත් ක්‍ෂමා කරවමී’ කිවු ය. පුණ්ණ සිටාණෝ නම් සසරට පියාණෝ ය. උන් ක්‍ෂමා කරවීමෙන් ප්‍රයෝජන නැත. ආරිය ජාතියෙහි උපදවා ලූ පියාණන් වහන්සේ ක්‍ෂමා කැර වූ නම් ක්‍ෂමා කෙරෙමී’ කියා උත්තරාවෝ කිවු ය.
ඒ අසා සිරිමාවෝ පුණ්ණ සිටාණන්, මුඹගේ ම දා පියාණන් නියා ව දනිමි. ආර්‍ය්‍ය ජාති ය තමා නො දන්නා බැවින් ආර්‍ය්‍ය ජාතියෙහි ඉපැද වූ පියාණන් නොදනිමි. ඌ කවුරු දැ’යි විචාළහ. නොදනු නම් ආර්‍ය්‍ය ජාතියෙහි ඉපැද වූ සේක් තිලෝගුරු බුදුහු යයි කීහ. අප සැදෑවක් ඇති ව විහාරයට එළඹීමක් නැති හෙයින් බුද්ධවල්ලභ කම නැතිවන්නා ඔබ ක්‍ෂමා කරවන්නේ කෙසේ දැ’යි කිවු ය. එ සේ වී නම් පිළිවන. බුදුහු සෙට දවස් සහ පිරිවරින් මොබ වඩනා සේක. තොපි සෑහෙන ලෙස දනක් සරහා ගෙන මේ අපගේ මාළිගාවට ම අවුදින් ක්‍ෂමා කරවා ගනුව යි කිවු ය. ඌ ත් යහපතැයි ගිවිස තමන්ගේ ගෙට ගොසින් තමනුත් ඉතා දුක්පත් නො වන හෙයින් පිරිවර ගෑනුන් පන්සියයකට විධාන කොට අති පවිත්‍ර කොට දනක් ඉදිකරවා ලා දෙවන දවස් දන් ගෙන්වා ගෙන උත්තරාවන්ගේ ගෙට ගොසින් වළඳවා ගත නො හී සිටියෝ ය. උත්තරාවෝ ඒ සියල්ල ම තමන් අතට හැර ගෙන බුදු පාමොක් සඞ්ඝයා වහන්සේ වැළඳවූහ.
සිරිමාවෝ ද වළඳවා අනන්තයෙහි සහ පිරිවරින් බුදුන් වැඳ ගෙන හොත්තාහ. බුදුහු ද ක්‍ෂමා කරවන්ට නියා ව දැන තොප වරද කවරේ දැ’යි විචාළ සේක. ඊයේ දවස තමන් තෙල් සැන්ද උකාගෙන උත්තරාවන් ඉස වත් කරන්ට ගිය තැන් පටන් පැවති තමන්ගේ ක්‍ෂමාව ත් උත්තරාවන් ඒ සියල්ල ම සහන ය කළ නියාව ත් බුදුන්ට දන්වා ලා ‘ස්වාමීනි, මම මුන්ගේ ගුණ සලකා වැද ගෙන වැද හෙව ක්‍ෂමා කරන්ට කීමි. මුඹ වහන්සේ ක්‍ෂමා කළොත් ක්‍ෂමා කෙරෙමී’ කිවු ය. එ සේ හෙයින් මුඹ වහන්සේ ක්‍ෂමා කරවනු නිසා වැඳ ගෙන වැද හොත් නියා ය’ යි කිවු ය. බුදුහු ඒ අසා’ ‘සැබෑ ද, උත්තරාවෙනි’ වදාරා ‘සැබව, ස්වාමීනි, කී කල්හි ‘තොප හිස උණු තෙල් වත් කරන්ට ගිය ගමනේ තොප සිතුයේ කිම් දැ’යි විචාළ සේක. උත්තරාවෝ ද ‘ස්වාමීනි, මුන් කළ උපකාර ය එක් තැනක ලිය හැකි දෙයක් වී නම් සක් වළ ඉතා හක පටු ය. බඹ ලොව ඉතා මිටි ය. මුන්ගේ උපකාර මහත. මුන් නිසා මම මේ දවස් ගණන පින් කම ම හැසිර ගතිමි. ඉදින් මම මුන් කෙරෙහි ස්වල්ප මාත්‍ර වූත් මුසුප්පුයෙක් ඇත් නම් මේ තෙල් මා දවා පියව යි. එ සේ මුසුප්පුවෙක් නැත් නම් මේ තෙල් මා නො දවාව’ යි සිතා ගෙන මුන් කෙරෙහි මෙත් පැතිර වීමි’ කීහ.
බුදුහු ද උන්ගේ බසට තුන් විටක් සාධු කාර දෙවා වදාරා බණ වදාරන සේක් ‘හෙම්බා උත්තරාවනි, යම් කෙනෙක් ක්‍රෝධීහු වී නම් ගිනි පිට ගිනි ලන්නා සේ තමා උන්ට ක්‍රෝධ කිරීමෙන් සන් නොහිඳෙයි. එ හෙයින් තමා සහන ය කළ කලට උනු ත් නැවත ගන්නා හෙයින් පැනින් ගිනි නිවන්නා සේ තමා ගේ සහනයෙන් ක්‍රෝධීන් ජය ගත යුතු ය. නැවත යම් කෙනෙක් යාප ත් නො වෙත් නම් තමා උන්ට යාපත් වීමෙන් ජය ගත යුතු ය. ජය ගැන්ම නම් තමා සේ ම යහපත් කරවා ගැන්ම ය. යම් කෙනෙක් තද මසුරු වූ නම් තමා සේ ම උනු ත් තෑගි කරවා ගත යුතුය. යම් කෙනෙක් බොරු බොහෝ කොට කිය ත් නම් තමා සැබෑ කියා ජය ගත යුතුය. තමා බලා උනු ත් සැබෑ කියන ලෙසට කරවා ගත යුතු ය’ යි වදාළ සේක. දේශනා කෙළවර සිරිමාවෝ පන්සියයක් ගෑනුන් හා සමග උත්තරාවන් සත් සමවාය නසා සෝවාන් වූහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ද්වේෂයෙහි ආදීනව සලකා ද්වේෂය හැර මෛත්‍රියෙහි එකොළොසක් පමණ අනුසස් ලබනු කැමැත හොත් සියල්ලන් කෙරෙහි මෙත් සිත් ඇති විය යුතු.
-
වන ↑