තව ද සහනයෙහි අනුසස් දක්වන්ට එක්තරා භික්ෂු කෙනකුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
තිලෝගුරු බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේගේ ශරීර ප්‍රකෘති බලා රුක් මුල සෙනසුන් සූත්‍ර ප්‍රතිපත්ති වශයෙන් ධුතාඞ්ග පුරන තැනට හැර ගෙවල් සෙනසුනු ත් අනුදත් කල්හි රජගහා නුවර සිටාණන් පටන් බොහෝ දෙන සෙනසුන් කරවන්ට පටන් ගත් කල්හි අළවු නුවර වසන එක් භික්ෂු කෙනකුන් වහන්සේ උපාසක සමවායක් තමන් වහන්සේගේ ප්‍රසිද්ධ කමක් නැති හෙයින් නො පෙනුණු වන්නා තමන් වහන්සේම තමන් වහන්සේට සෙනස්නක් කරවනු කැමතිව එක් යහපත් ගසක් දැක කපන්ට පටන් ගත් සේක. විමන් දෙව් දූනුත් මිනිසුන් ලෙසින් දරුවන් වදන හෙයින් ඒ ගස වසන බාල දරු කෙනකුන් ඇති දෙවතා දුවණි කෙනෙක් පුතණුවන් වඩා ගෙන විමන සිටි තැනැත්තෝ ගස නට කලට විමනත් නස්නා හෙයින් විමන නට කලට සමහර දෙවි කෙනකුනුත් නස්නා හෙයින් ‘ස්වාමීනි, මාගේ විමන නො නැසු ව මැනව. බිළිඳි දරුවන් හැරගෙන විමන් නැති ව ඇවිද්ද නො හෙමී’ කිවු ය.
‘අනික් මෙසේ වූ ගසක් සොයා ගත නො හැක්කැ’යි දේවතා දුවණියන් වැළකුව ත් කපන සේක් ම ය. මේ බාල දරුවන් දැකත් නැවත පියන සේකැ’යි පුතණුවන් ගස අත්තෙහි වැද හොවා ලූ ය. ගස කපන භික්ෂූන් වහන්සේද හොසොවා ගත් පොරව රඳවා ගත නො හී දේවතා පැටවාණන්ගේ අත කපා පී සේක. දේවතා දුවණියෝ කිපී පියා ‘ගසා මරා පියමී’ අත ඔසවා පියා ත් මුන් වහන්සේ සිල්වත් සේක. ඉදින් මම මුන් වහන්සේ මරා පීම් නම් නරකයෙහි ඉපැද පියා විමනින් තබා දිව සැපතිනු ත් පිරිහී අනන්ත කාලයක් බොහෝ දුක් ගනිමි. නරකයට යන ගමන් මේ දරුවෝ නවතා ලිය හෙ ත් ද? විමන් ඇත්තෝ මුත් මම මතු නො වෙමි. සෙනසුන් ඉදි කරන සේකුත් මුන් වහන්සේ මතු නො වන සේක. අසවල් දේවතා දුවණියෝ කපට දණ්ඩක් කපන තැන අසවල් නම මරා පූ ය’යි එයි ත් ඵක කටයුත්තක් කොට ගෙන අනිකුත් දඬු පත් කපන වහන්දෑ සෙසු ත් විමන් ඇති දෙවියෝ මරති. ඒ පාපය ත් මා නිසා වන දෙය ය. මුන් වහන්සේත් තමන් වහන්සේට තමන් වහන්සේම මුදලි නොවන සේක. මුන් වහන්සේට බුදුන් නායක බැවින් ‘ඔබට කියමි’ මෙ තෙක් කට යුතු රාශි ය සිතා ගෙන නිවනට දෛව ඇති වන බැවින් ඔසවා ගත් අත හකුළුවා ගෙන හඬ හඬා බුදුන් කරා ගොසින් වැඳ ලා ඵකත් පස් ව සිටියහ. බුදුහු ත් සාද සාමීචියෙහි දක්ෂ බැවින් ‘හැයි ද දේවතා දුවණියෙනි, වදාළ සේක.
‘ස්වාමීනි, මුඹ වහන්සේගේ භික්ෂු කෙනකුන් වහන්සේ මාගේ විමනත් නසා පූ සේක. මම ත් ඔබ මරමී සිතා පියා සිතුව මනා දෙයක් පෙරළා සිතා ගෙන නො මරා ම මුඹ වහන්සේට දන්වන්ට අයිමී’ සියලු පවත ම විස්තර කොට කිවුය. බුදුහුත් අසා වදාරා තුන් විටක් විතර සාධුකාර දී ‘හෙම්බා දේවතා දුවණියෙනි, යම් කෙනෙක් තමන්ට උපන් ක්‍රෝධ ය යම් සේ රථ පැදීමෙහි දක්‍ෂ වූ රිය ඇදුරෝ ඉතා වහා දුවන රථයක් වහා යා නො දී තමන් කැමති තැනට පමුණුවා ගනිත් ද, එ මෙන් කාරණ සිතීමෙන් සන්හිඳුවා ගනිත් ද, උන් ක්‍රෝධ නමැති අසුන් නවතා සිත් නමැති රථ ය පිළිවෙත් නමැති මඟට බාගෙන චතුර්විධ මාර්‍ගඥාන නමැති වාසල් වලින් නිවන් පුරයට පමුණුවා ලීමෙහි රිය ඇදුරු කොට කියමි. රජ යුව රජ ආදීන්ගේ රථ පදනවුන් රෑන් අල්වන්නවුන් කොට මුත් රිය ඇදුරු කොට නො කියමී’ වදාළ සේක.
දේශනා කෙළවර දේවතා දුවණියෝ කටයුතු මාර්‍ග ය නො වැරැද්දුවා සේ නිවන් මඟත් නො වරදවා සෝවාන් වූහ. සම්ප්‍රාප්ත වූ පර්ෂදට ත් දේශනා ව සප්‍රයෝජන වි ය. දේවතා දුවණියෝ සෝවාන්ව පියාත් විමන් සෝක ය නොසන්හුන් බැවින් හඬ හඬා සිටියහ. බුදුහු ත් ‘මාර්‍ග ඵල පුරා හැම ලබන්ට නු වූ හෙයින් ඊට මුසුප්පුව හඬන්නා සේ ‘හඬානැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, මාගේ විමන් නට. ඒ නිසා හඬමි’යි කිවු ය.
‘දේවතා දුවණියෙනි, තොපි මුසුප්පු නො ව ව. නිවන් පුරය සාදා දී ලූයෙම් විමන් පමණ දී ලිය නො හෙම්ද? එයිත් පිළිවනැ’යි දෙව්රම් ගඳ කිළියට ආසන්නයෙහි දෙවියන් නැතිව අවසර ව තුබූ ගසක් උන්ට දක්වන සේක්- ‘අසවල් තැන අවසර ව තුබූ ගසෙක් ඇත ඔබ යව’යි වදාළ සේක. උයිත් ඒ රුක් විමනට ගියහ. එවක් පටන් කවර තරම් දේවතා කෙනකුත් බුදුන් දෙවා වදාළ විමන හෙයින් උගුළුවා ලිය නො හෙති. බුදුහු ත් ඒ මුල් ව ගස් තුරු ලිය ආදි ය කළනුකුරුවන්ට සිඛ පදයන් පනවා වදාළ සේක.
එ සේ හෙයින් සත් පුරුෂයන් විසින් බෝධිසත්‍ව චරිත ත් සලකා කවර අපරාධ ත් සහනය කොට දයා බහුල ව ම කුසල්හි හැසිර නිවන් රට අත් කටයුතු.