තව ද අසහනයෙහි ආදීනව දක්වනු සඳහා රෝහිණී බිසොවුන් ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
එක් සමයෙක අමිතොදන නම් ශාක්‍ය රජ්ජුරුවන්ගේ පුත් වූ අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩි සේක. ඔබගේ නෑයෝ ද වැඩි නියාව අසා විචාරන්ට ගියහ. රෝහිණී නම් වූ නං උපාසිකාවෝ නො ගියහ. මහ තෙරුන් වහන්සේ ද ‘රෝහිණී නො ආවෝනැ’යි විචාළ සේක. ‘ශරීරයෙහි කුෂ්ඨ රෝගයක් ඇති ව ගත් හෙයින් ලජ්ජාවෙන් නො ආවෝ ය’ යි කීහ. මහ තෙරුන් වහන්සේ ද ‘කැඳවා ගෙන්ව’යි වදාරා ලා පට කඩ සැට්ටයකින් ඇඟ වසාලා ගෙන ආවවුන්ට ‘හැයි රොහිණීනි, මෙ තෙක් දෙන අප විචාරන්ට එන ගමනේ තොපි නාවා නැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, හෙළි බසින්ට ලජ්ජා වන තරම් කුෂ්ඨ රෝගයෙක් සියල් සිරුරු වසා ඇති වි ය. ඒ නිසා ලජ්ජාවෙන් නො ආ බව මුත් නිහරසර ව නො වෙයි කීහ. ‘දැන් කුම් වුව ත් මතු නිරෝගි වන ලෙසට දන් පින් නො කරා නැ’යි වදාළ සේක. ‘කුමන පිනක් කෙරෙම් දැ’යි විචාළ කල්හි ‘වහන්දෑට අසුන් හලක් කරවා ලව’යි වදාළ සේක. ‘කුමක් දීලා කරම් දැ’යි විචාළහ.
‘හැයි, තොප පළඳනා ආභරණ නැත් දැ’යි විචාරා ‘ආභරණ ඇතැ’යි කී කල්හි ඒ ආභරණ කෙ තෙක් වටී දැ’යි විචාළ සේක. ‘දස දහසක් විචර වටී’යි කී කල්හි ‘එ සේ වී නම් ඒ වියදම් කරවා පියා ඉන් ලද දෙයකින් අසුන් හලක් කරවා ලව’යි වදාළ සේක. ‘ස්වාමීනි, මා ගෑනු බාල වුව. මට කරවන්නෝ කවුරු දැ’යි විචාළහ. මහ තෙරුන් වහන්සේ ළඟ සිටි නෑයන්ට ‘තෙපි තුලුන්ට සහාය ව ඒ කරව’යි වදාළ සේක. ස්වාමීනි, අපි වන්නා සහාය වන්නමෝ වේ ද, මුඹ වහන්සේ සහාය වන්නේ කුමකට දැ’යි විචාළ සේක. ‘එ සේ වී නම් දඬු පත් ගෙනෙව’යි විධාන කළ කල්හි දඬුපත් ගෙන්වා ලැවූහ. මහ තෙරුන් වහන්සේ ද අසුන් හල කර්මාන්තයට විධාන කරන සේක්-රෝහිණී බිසොවුන්ට ‘රොහිණීනි, දෙමාල් අසුන් හලක් කරවා යට මාලෙහි පෝරු අතුළ තැන් පටන් එක්වම යට මාලේ ගොම පිරිබඩ ගැන හිඳිනා අසුන් පනවා ලව. නිරන්තරව වළඳන වහන්දෑට කළ කොතලාවලින් හා සැළවලින් පැනු ත් පරහා ගෙන්වා තබව’ යි වදාළ සේක.
උයි ත් ‘යහපතැ’යි ගිවිස ආභරණ වියදම් කරවා දෙ මාල් අසුන් හල කරවා ලා යට මාලේ පෝරු අතුළ තැන් පටන් නිරන්තර ව ගොම පිරිබඩ ගැනීම් ආදිය කෙරෙති. නිරන්තර ව වහන්දෑත් පැනවූ හසුන්වල හිඳිනා සේක. හසුන් හල ගොම පිරිබඩ ගැන්මෙහි අනුසසින් කුෂ්ඨරෝගයත් මලන්ට වන. උයිත් හසුන් හල නිමි කලට බුදු පාමොක් සඞ්ඝයා වහන්සේට ආරාධනා කොට ගෙය පුරා වඩා හිඳුවා ලා ප්‍රසව දුක කියා ආවවුන් මතුට පොවන පැණක් මෙන් තමන් ඇඟ ඇති වූ කුෂ්ඨ රෝගය නැති වනු නිසා මධුරාහාර ය වැළඳවූහ. බුදුහුත් වළඳා අන්තයෙහි නො දත් බඳුව ‘අද දන් කාගේ දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, මුඹ වහන්සේ ගේ නං වූ රෝහිණි බිසොවුන්ගෙනැ’යි කීහ.
බුදුහු ත් දැන් ඌ කුමක් කෙරෙත් දැ’යි විචාරා ‘ගෙයි’ ය යි කී කල්හි ‘උන් කැඳවා ගෙනෙව’ යි වදාළ සේක. ඌ තුමූ කුෂ්ඨ රෝග ය. මලා ගියත් ඡවි සමුද්ධිය තව එවා ගන්ට නු වූ හෙයින් එන්ට මැළියෝ ය. බුදුහු උන් එන්ට නො කැමැති වුවත් ගෙන්වූ ම සේක. අවුත් වැඳලා සිටියවුන්ට ‘හැයි’ රෝහිණීනි, කැඳවා ගෙන්වන තෙක් නො ආව නැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, මාගේ ශරීරයෙහි කුෂ්ඨ රෝගයක් ඇති ව මලා ගිය පමණක් මුත් තව ඡවි ය හට ගන්ට නොවී ය. එ සේ හෙයින් ලජ්ජාවෙන් ආමි’ කීහ. ‘රෝහිණීනි, ඒ කුෂ්ඨ රෝගය කුමක් නිසා ඇති වූව යි තෙපි දනු දැ’යි විචාරා ‘නො දනිමී’ කී කල්හි ‘හෙම්බා, තෙලෙ අනික් කෙනකුන් කළ දෙයක් නිසා වූ දෙයෙක් නො වෙයි. තොප ම කළ දෙයකින් වී ය’යි වදාළ සේක. වදාරා ලා විස්තර කොට වදාරන සේක් -
යට ගිය දවස බරණැස් රජ්ජුරුවන්ගේ අගමෙහෙසුන් බිසවු එක්තරා පුරඟනක් කෙරෙහි රොෂ ය ඇති ව ‘ඈට දුක් උපදවා - පියමී’ සිතා මහ කසඹිලිය පත්[1] ගෙන්වා ගෙන ඒ පුරඟනන් තමන් ළඟට ගෙන්වා ලා උන්ට නො හඟවා ම උන් වැද හෝනා හැඳත් අතුළ ඇතිරිලිවල් හසු හස්සෙත් කසඹිලිය පත් සුණු කරවා ලවා පීහ. කෙළියෙන් සිනායෙන් උන් ඇඟට ත් කසඹිලිය සුණු ඉස්වූහ. ඒ ඇසිල්ලෙහි උන්ගේ සියල් සිරුරු රත් ව පියා ගඬු නැංගේ ය. කණ්ඩුතී ත් බලවත් ව ඇති වි ය. ඌ කණ්ඩුති ත් බලවත් ව ඉවසා ගත නො හී යානේ වැද හොත්හ. ඊත් නැමුණු නැමුණු සේ කසඹිලි ය සුණු ඇඟ ගෑවී ලා දුක් මහත් වි ය.
එ කල බරණැස් රජ්ජුරුවන්ගේ අග මෙහෙසුන් බිසවු නම්, රෝහිණීනි, තොපි ය. අනුන් ඇඟට කසඹිලිය දමා මේ සා අනර්ථයක් ලවා ගත්තෙ ත් ක්‍රෝධ නිසා ය. එසේ හෙයින් ඒ ක්‍රෝධය නම් සියලු ලෙසින් ම කටයුතු නොවෙ’යි වදාරා ‘කිපියවුන් කිපි විට දන්නා කිසිවක් ම නැති හෙයින් ඒ ක්‍රෝධය හළ මැනව. උන්නති ලක්‍ෂණ වූ නව විධ මානයත් සසර කල් යවන හෙයින් සියලු ලෙසින් ම හළ මැනව. සූත්‍රාභිධර්‍ම දෙක්හි ම ආවා වූ සියලුම සංයෝජනයනුත් සමුච්ඡෙද වසයෙන් නසන තෙක් අතුර තදඞ්ග වසයෙන් නැසුව මැනව. යම් කෙනකුන්ට කුමකත් මමායන නැත්නම් ඌ කුමකු ත් නො ඇලෙති. එ සේ කුමක ත් නො ඇලෙන්නා වූ සත්‍වයන්ට තොපට මේ දුක් ඇති වූවා සේ දුක් ඇති නො වෙ’යි වදාළ සේක.
දේශනා කෙළවර බොහෝ දෙන ත් නිවන් දුටහ. රෝහිණී බිසවු ද සදහම් නමැති අමාව වළඳා කෙළෙස් ලෙඩ තුනකිනු ත් මිදී සෝවාන් ව අජරාමර වන්ට නියම වූහ. සිත් සතනට කුසල් බෙහෙදු ත් වැද කයට වන් බෙහෙදක් නැත ත් ශරීරය ත් රන්වන් විය. උයිත් පසුව කලකදී මිය තව්තිසා දෙව්ලොව දිව්‍ය පුත්‍රයන් සතර දෙනකුන්ගේ විමන් සතරකට මැද සීමායෙහි ඉපැද ලිපාම් කොට දැන පෑ ගැලූ පිළිමයෙක කල් ගිය සේ පෑය මූ කරන්නා සේ පූර්ව ජාතියෙහි කළ කුසල ය කම් පල හදහා දැන කළ හෙයින් විපාක දෙන අවස්ථාවට පැමිණි හෙයින් ශෝභාවත් වූහ. දේවතාවෝ සතර දෙන උන් දැක උන් කෙරෙහි බලවත් ප්‍රේම ඇති ව එක් කෙනකුන්ගේ සීමායෙහි නොව සීමා මැද උපන් හෙයින් සතර දෙන ම විවාද කෙරෙමින් තුමූ සනිටුහන් කට නොහී සක් දෙවිඳු කරා ගොසින් ‘ස්වාමීනි’ මේ අපගේ යුක්තිය විචාරා පසිඳ දුන මැනැවැ’යි කීහ. සක් දෙවිඳු ද රෝහිණි නම් දෙවඟන දැක දෙවියන් සතර දෙනාටත් වඩා තුමූ උන් කෙරෙහි ප්‍රේම ඇති ව’ ‘මුන් දුටු වේලේ පටන් තොපට කෙසේ සිතිණි දැ’යි විචාළහ.
එසේ විචාළ සක් දෙවිඳුහට එක් දේවතාවෙක් ‘මට සිතුණ සිත් සටන් බෙරක් මෙන් අනවරතයෙන් පැවැත්තැ’යි කී ය. අනික් දේවතා ‘මට සිතුණ සිත් සෙල්ව තිබෙන ගලෙකින් හුණු ගඟක් මෙන් වහ වහා පවත්ති’ කී ය. තුන් වැනි ව කියන දේවතාවා ‘මා මුන් දුටු වේලේ පටන් එක් වන් බැලීමෙන් ඇස් කකුළුවන්ගේ ඇස් සේ වී ය’යි කීය. සතර වැනි ව කියන දේවතාවා ‘මා මුන් දුටු වේලේ පටන් මාගේ සිත නම් දා ගබ් කැරැල්ලෙක බැඳ පූ පතාකයන් මෙන් නිසලව තිබිය නොහෙයි ‘ කීය. එ අසා සක් දෙවිඳු කියන්නාහු ‘තොප හැම තවත් කරන දෑ යහපත. ජීවත් වන්නාවාද? මම වැළිත් මුන් නොලදිම් නම් ජීවත් විය නො හෙමි. ජීවත් වීමෙක් වේ නම් මුන් ලදෝතිනැ’යි කීහ. දේවතාවෝ සතර දෙන ඒ අසා මුඹ වහන්සේ මිය යෑමෙන් අපට ප්‍රයෝජන කිම්ද? ජීවත් ව හුනොත් වේ ද යහපතැ’යි රෝහිණි නම් දෙවඟන සක් දෙවිඳුහට ම පාවා පියා ගියහ. උයිත් ශක්‍රයන්ට ඉතා ප්‍රිය වූහ. ‘අසවල් කෙළි ලළුවකට යම්හ’යි රෝහිණී නම් දෙව් දූ කිවු නම් ශක්‍රයෝ ඊට බාධාවක් කට නො හෙති.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ක්‍රෝධ බහුල නොව උපන් ක්‍රෝධයෙක් ඇත්නම් ලෙඩට නිසි පිළියමින් ලෙඩ සන්හිඳුවන සේ ක්‍රෝධ සන්හිඳෙන්ට නිසි බණ දහම් මෙනෙහි කිරීමෙන් ක්‍රෝධ සන්හිඳුවා කුසල්හි හැසිර නිවන් සිද්ධ කට යුතු.
________
-
පක් ↑