තව ද විහාර කරවා දන් දීමෙහි අනුසස් හඟවන්ට නන්‍දික උපාසකයන් ගේ වත දක්වමු.
කෙ සේ ද යත් -
දඹදිව බරණැස් නුවර නන්‍දික[1] නම් උපාසක කෙනෙක් දෙමවුපියන් තරමටම සැදෑ ඇත්තෝ ය. දෙමවුපියන් තර මේ ම සඞ්ඝයා වහන්සේට උපස්ථානත් කෙරෙති. උන් වැඩි විය පැමිණි කල්හි ළං ව තිබෙන ගෙයක හිඳිනා මයිලණු කෙනකුන් ගේ දූ වූ රෙවතී නම් කුමාරිකා කෙනකුන් පුතණුවන්ට සරණ ගෙනෙනු කැමැති වූ හ. කැමැති වූ පමණක් මුත් ඌ තුමූ සැදෑ නැති හෙයින් දනට පිණට මැළියෝ ය. පිදුරු පිදුරු හා එක් ව නො ගැළපෙන්නා සේ නන්‍දික උපාසකයෝ උන් නො කැමැත්තෝ ය. එතකුදු වුවත් දෙමවුපියෝ උන් ම ගෙන්වා දෙනු කැමැති ව රෙවතීන්ට ‘යේළීනි, තොපි සැදෑ නැත ත් අපගේ විධානයෙන් මේ ගෙයි සෙසු තැන් කුම් වුවත් වහන්දෑ වළඳන්ට හිඳිනා තැන ගොම පිරිබඩ ගැනීම් හසුන් පැනවීම් ආදි ය කරව. එ ලෙස කරවු නම් අපගේ පුතණුවෝ තමන් සැදෑ ඇති හෙයින් තොප කැමැති ව ගනිති’ කීහ. රෙවතී තමන් සැදෑ නැතත් අරුන් කැමැති කරවා ගන්නා නිසා එ ලෙස ම කළහ. එ ලෙස කරවා සැදෑ ඇති ලෙස හඟවා ලා පුතණුවන්ගේ අදහස ලබ්බවා ගෙන සරණ ගෙනවු ත් පාවා දුන්හ.
නන්‍දිකයෝ ද “සඞ්ඝයා වහන්සේට කළ මනා උපස්ථාන ත් අපගේ දෙමවුපියන් වහන්සේට කළ මනා දෙය ත් නො පමාව කරවු නම් රඳා හිඳීමෙක. පමා වූ දා ම ගිය මැනැවැ’ යි තර ව විධාන කළහ. උයි ත් යහපතැ යි ගිවිස එ තැන රඳාගන්නා නිසා එ ලෙස ම කළහ. එ ලෙසින් කොට එ තැන තර ව ගෙන දරු දෙන්නකු ත් වදා ගත්හ. නන්‍දිකයන්ගේ දෙමවුපියෝ ත් මළහ. ගෙයි සියලුම ඉසුරු දරුවන් ඇති හෙයින් රෙවතී කුමරිකාවන්ට ම වි ය.
නන්‍දිකයෝ ද දෙමවුපියන් මළ තැන් පටන් අධිකයක්ම දනට පිණට පටන් ගත්හ. එක් දවසක් බණ අසන ගමනේ විහාර කරවා දන් දීමෙහි අනුසසක් නිසා ඉසිපතන වෙහෙර සිවුරැස් ගෙයක් කරවාලා හැඳ කළාල් කොට්ට මාවුලා ආදි වූ සෙනසුන් පිරිකර ත් ලවා ලා වියන් බඳවා ලා තිරමසර ගෙවලු ත් අද්දවා ලා බුදු පාමොක් සඟනට දන් දෙන්නෝ බුදුන්ගේ ශ්‍රී හස්තයෙහි පැන් වත් කළහ. බුදුන් අත තෙමා ගෙන පැන් බිම වැගිරෙන්නා ම තව්තිසා දෙව්ලොව අට සාලිස් ගවු පමණ දිග පළල ඇති සාර සියයක් ගවු විතර උස ඇති සත් රුවන් මුවා දහසක් පමණ වූ දෝ නොහොත් දහස් ගණන් දෙවඟනන් ඇති දිව මාළිගාවෙක් පහළ විය.
ඒ මාළිගාව පහළ වූ නියාව මිනිස් ලොවට ඇසුණේ කෙ සේද යත් - මුගලන් මහ තෙරුන් වහන්සේ සත්‍වයන් පින්කම හසුරුවනු නිසා බොහෝ සේ දෙව් ලොවට වඩනා සේක් එක් දවසක් ඒ මාළිගාවට නුදුරු තැනෙක වැඩ සිටි සේක් තමන් වහන්සේ ළඟට ආ දෙවියන් අතින් ‘දෙවඟන ගැවසී ගත් මේ මාළිගාව කවර කෙනකුන්ගේ කුසලානුභාවයෙන් පහළ වී දැ’ යි විචාළ සේක. දෙවියෝ ද විමන් හිමියන් කියන්නාහු ‘ස්වාමීනි, බරණැස නන්‍දික නම් කෙනෙක් ඉසිපතන නම් වෙහෙර බුදු පාමොක් සඟනට ගෙයක් කරවා දුන්හ. කළ පින් කමෙහි විපාක මේ ලොව ම පෙනී උන් නිසා මේ විමන උපනැ’යි කීහ. දෙවඟනෝ ද මාළිගාවෙන් බැස අවුත් ‘ස්වාමීනි, අපි නන්‍දිකයන් සන්තකව මෙහි උපනුම්හ. උන් දක්නට නැති හෙයින් මුසුප්පු ඇත්තම්හ. මැටි තළියක් හැර රන් තළියක් හැර ගන්නා සේ මිනිස් සැපත් හැර දෙවි සැපත් අත් කරන්ට වහා එන්ට වදාළ යහපතැ’යි කිවු ය. මහ තෙරුන් වහන්සේ ද මිනිස් ලොවට වැඩ බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, මිනිස් ලොව සිට පින් කළවුන් නොමියන තෙක් දිව සැපත් පහළ වේ දැ’යි විචාළ සේක. ‘හැයි, තොපි ම නන්‍දිකයන් මොබ හින් ද දී ම උන් නිසා තව්තිසා දෙව් ලොව පහළ වූ දිව සැපතින් පිරුණු මාළිගාව දුටුවා වා දැ’ යි වදාළ සේක.
‘එ සේ ය. ස්වාමීනි, පහළ වේ ය’යි කී කල්හි බුදුහු “තොපි තමා කිසිවක් නො දන්නා සේ කුමක් කියා ද? යම් සේ බොහෝ දවසක් දුරු ව වැස පියා එන අවශ්‍ය නෑ කෙනකුන් ගම් දොර සිටි කිසි කෙනෙක් දැක වහා උන්ගේ නෑයන්ගේ ගෙට ගොසින් අඹන්‍ය, [2]මුඹගේ අසවල් නෑයෝ අවු ය. අපි දුටුම්හ’යි කිවු නම් අසමින් සතුටු ව නෑයෝ සියෝ පෙර මගට ගොසින් දැක සතුටු වෙත් ද, එ පරිද්දෙන් මේ මිනිස් ලොව දී පින් කොට මිය පර ලොව ගියවුන් යම් සේ වෙළඳාමෙහි ගිය කෙනකුන් නො වරදවා කොට ගෙන ආ වෙළඳාම් ද රාජ කාරියෙහි ගියවුන් සාදා ගෙන ආ රාජකාරිය ද දැක නෑයෝ සියෝ ‘කළ සේ යහපතැ’යි සතුටු වෙත් ද, එමෙන් කළ කුසලයෝ ත් දිව්‍ය වූ ආයු ද, දිව්‍ය වූ ශරීර වර්ණ ද, දිව්‍ය වූ සැප ද, දිව්‍ය වූ යසස් ද දිව්‍ය වූ ආධිපත්‍ය ය ද, දිව්‍ය වූ පස් කම් ගුණ දැ’යි මේ පඬුරු දස ය, හැර ගෙන මවු පියන් පරිද්දෙන් උන් කරා පැමිණ පිළිගනිතී” වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් කුසලයෙක් මේ ලොව ම ඉෂ්ට විපාකදායි වී නම් විහාර කරවා දන් දීමෙන් සිද්ධ වන කුසලයට වඩා නැතැ’යි යනු සිත තබා ඊ ත් හැසිර එයින් අවශිෂ්ට වූ කුසලයෙහි ත් හැසිර භව සැපත් වළඳා කෙළවර නිවන් සැප ත් අත් කටයුතු.