183. අනගැමි තෙරකෙනකුන් වහන්සේගේ වස්තුව

star_outline

තව ද අධිගතයන් අධිගත ගුණ විශේෂ ය අඩාල හෙයින් හඟවන්ට මැළි වූවා සේ ම පුරා නො ව යන්තම් ඥාන විශේෂයක් හා ගුණ විශේෂයක් නිසා ඥාන ගර්ජනා ගුණ ගර්ජනාවට මැළි වනු පිණිස අනගැමි තෙර කෙනකුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙසේ ද යත්-

එක් දවසක් ඒ තෙරුන් වහන්සේ අතින් සද්ධිවිහාරික වහන්දෑ ‘විශෙෂාධිගමයෙක් වී දැ’යි විචාළ සේක. තෙරුන් වහන්සේ ගිහි වූවෝ ත් අනගැමි වෙති. අනාගාමි පමණක් කියා කිම්ද, රහත් වූවොත් මුත් කියන්නේ කෙසේ දැ’යි ලජ්ජාවෙන් ම කිසිවකු ත් නො කියා මිය ගොසින් ශුද්ධාවාස බඹ ලොව උපන්සේක. සද්ධි විහාරික වහන්දෑ ද හඬා පියා වැලප පියා බුදුන් ළඟට ගොසින් වැඳලා හඬ හඬා එකත්පස් ව හුන් සේක. බුදුහු හඬා නැ’යි මහණෙනි, යි වදාළසේක. ස්වාමීනි, උපාධ්‍යායයන් වහන්සේ කළුරිය කළ හෙයිනැ’යි කී සේක. වන්නාට මහණෙනි, මුසුප්පු නො වව, මරණ නම් නියත දෙයෙක් වේදැ’යි වදාළ සේක. ‘එ සේ ය, ස්වාමීනි, මරණ නම් ජාති මූලික හෙයින් ජාතිය වූ පසු මරණ ත් වන නියා ව දනුම්හ. එකෙක් නම් අපි අපගේ උපාද්ධ්‍යායයන් වහන්සේ අතින් ලැබ ගත් ගුණ විශේෂ ඇද්දැ යි විචාළුම්හ. දස ධම්ම සූත්‍ර ය වූ නියාවට කියා ලූ දෙයක් නැති ව උන්වහන්සේ මළ සේක. මනා පිළිවෙත් නමැති වෙළඳාමේ හැසිර ත් ගුණ විශේෂ බඩු ලද නුහුණු නියා වේදැ’යි ඒ නිසා මුසුප්පු වම්හ’යි කී සේක.

බුදුහු ‘මහණෙනි, ඒ නිසා තෙපි මුසුප්පු නො වව. තොපගේ උපාද්ධ්‍යායයෝ අනගැමි වූහ. ගිහි මිනිස්සු පවා අනගැමි වෙති. රහත් ව මුත් ගුණ විෙශ්ෂ ය නො කියමි. ලජ්ජාවෙන් ම තොපට නො කියා මිය ශුද්ධාවාස බඹ ලොව උපන්හ’යි වදාරා ලා ‘මහණෙනි, යම් කෙනෙක් තුමූ නිවන් විෂයෙහි හටගත් උත්සාහ ඇත්තෝ ද, යට තුන් මඟ තුන් ඵලයට පැමිණියෝ ද, අනගැමි හෙයින් කාමරාග ය නිශ්ශෙෂ වූවෝ ද, එ සේ වූ තොපගේ උපාධ්‍යායයෝ මිය කප් දහසකට ආයු ඇති අවිහ නම් බඹලොව ඉපැද ඊ ආයු ගෙවා අතප්ප නම් බඹලොව ඉපැද කප් දෙදාසක් විතර ඊ ත් ආයු ගෙවා සුදස්සයෙහි ඉපැද සාර දහසක් කප් මුළුල්ලෙහි බඹ සැපත් වළඳා සතර වැනි වූ සුදස්සියෙහි ඉපැද, කප් අට දාසක් විතර එයි ත් ආයු ගෙවා පස් වැනි වූ අකනිෂ්ඨයෙහි ඉපැද, ඊ දී රහත් ව සොළොස් දහසක් කප් විතර බඹ සැප ත් වළඳා කෙළවර පිරිනිවන් පයිති’යි වදාළ සේක. දේශනා කෙළවර ශෝකාතුර ව බුදුන් කරා ගිය වහන්දෑ නිශ්ශොකී ව රහත් වූ සේක. මේ දේශනාව ත් බොහෝ දෙනාට සප්‍රයෝජන වි ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් සසර මඳක් කල් යවනු කැමැත්තො ත් අනගැමි තෙරුන් වහන්සේ මෙන් අනගැමි ව අවිහාදියෙහි ඉපැද කප් දහසක් දෙ දහසක් සාර දහසක් අට දහසක් සොළොස් දහසක් බඹ සැපත් වළඳා අනුපධිශේෂ නිර්වාණ ධාතුවට තැත් පිරිය යුතු-