182. පන්සියයක් දරුවන්ගේ වස්තුව

star_outline

තව ද සර්වඥවරයන් ගේ ගුණමකු කමක් නැති නියා ව හඟවන්ට පන්සියයක් දරුවන් ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

එක් දවසක් බුදුහු අසූමහ සවුවන් වහන්සේ ත් නිත්‍ය පරිවාර පන්සියයක් දෙනා වහන්සේ ත් පිරිවරා රජගහා නුවරට සිඟා වඩනා සේක්- එක් උත්සව දවසෙක පන්සියයක් දරුවන් පූ පැස් ගෙන්වා ගෙන නුවරින් නික්ම උයනට යන්නවුන් දුටු සේක. උයි ත් බුදුන් දැක වැඳ ගෙන නික්ම පූ පමණක් මුත් බුදුන්ට වේවයි වහන්දෑට වේව යි එතෙක් කැවුමෙන් කැවුමක් පිළිගන්වන්ට නො කීහ. බුදුහු ත් උන් පලා ගිය කල්හි වහන්දෑ බණවා ‘මහණෙනි, කැවුම් වළඳව’යි වදාළ සේක. ‘ස්වාමීනි, කැවුම් කොයිදැ’ යි විචාළ කල්හි තෙල කැවුම් පැස් ගෙන්වා ගෙන යන සුඟුන් නුදුටුවා’යි විචාළ සේක. ස්වාමීනි, උන් වන්නා දුටුම්හ. කැවුම් වුව, කුඩා සුඟුන් වුව, අනුන්ට දෙත් දැ’යි විචාළ සේක. මහණෙනි, මට ත් වුවත් තොපට වුවත් මුන් කළ ආරාධනා නැත. එතකුදු වුවත් මේ කැවුමට හිමි තැනැත්තෝ පස්සේ එමින් සිටියෝය. තොප අප නො ලද ත් ඌ ලැබෙති. උන්ට මතු බොහෝ වේ ද, කැවුම් වළඳා ලා යෑම යහපතැ’යි වදාළ සේක.

බුදුන්ට වූ කලි එක් කෙනකුන් කෙරෙහි ත් ඊර්ෂ්‍යාවෙක් වේ වයි මනෝපදෝෂයෙක් වේව යි නැත. එ හෙයින් මෙලෙස වදාරා ලා වහන්දෑ හැර ගෙන රුප්පයෙක වැඩහුන් සේක. ඒ දරුවෝ ද මහසුප් මහ තෙරුන් වහන්සේ පසු ව පියා වඩනා දැක ඔබ කෙරෙහි භක්ති ඇති ව ඔබට අවුළුපත් පිළිගන්වනු කැමැති ව පැස් බා තබ්බවා ලා මහ තෙරුන් වහන්සේට පසඟ පිහිටුවා වැඳලා කැවුම් පැස් පිටින්ම ඔසවාගෙන ‘පිළිගත මැනවැ යි, ස්වාමීනි,’ කීහ. මහසුප් තෙරුන් වහන්සේ ත් තිලෝගුරු බුදුරජුන් වහන්සේ මහණ ගණ පිරිවරා ගසක් මුල වැඩ හුන් සේක. තෙල කැවුම් පැසු ත් මඳක් නො ව ත් ඔබ ගෙන ගොසින් බෙදා පිළිගන්වව’යි වදාළ සේක. උයි ත් යහපතැ යි ගිවිස ගොසින් කැවුම් බෙදා පිළිගන්වා ලා වළඳන නියා ව බල බලා එකත්පස් ව සිට සිත පහදවා ගෙන වළඳා අන්තයෙහි අතට පැනු ත් ගෙන දුන්හ.

කැවුම් වැළඳූ වහන්දෑගෙන් කිසි කෙණෙක්ද ‘මූ හැම තමන් දෙන දනු ත් මූණ බලා ම දුන්හ. බුදුන්ට වේවයි බොහෝ සේ අසූ මහ සවුවන් වහන්සේට වේව යි කැවුම් වළඳන්ට නො කියා මහසුප් මහ තෙරුන් වහන්සේ දැක ඔබට දෙන්ට ප්‍රයෝග කොට ඔබගේ විධානයෙන් මුබ ගෙනවුත් දුන්හ. මුබ දී ම මුන් තමන් සිතාගෙන කළ දෙයෙක් නො වන්නේ වේදැ’යි කී සේක. බුදුහු වහන්දෑගේ කථාව අසා ‘මහණෙනි, ම පුතුන් මහසුප් මහ තෙරුන් වැන්නෝ දෙවි මිනිසුන්ට ප්‍රිය වෙති. දෙවි මිනිස්සු ත් උන්ගේ උත්කෘෂ්ට ගුණ ය නිසා උන්ට සත්කාර කරණු කැමති වෙතී වදාරා බණ වදාරන බුදුහු ‘අඛණ්ඩාදි භාවයට පමුණුවා රක්‍ෂා කරන්නා වූ සීලයෙන් හා මාර්ග සම්ප්‍රයුක්ත වූත් ඵල සම්ප්‍රයුක්ත වූ ත් නුවණින් සමන්විත වූ එ හෙයින් ම නව ලොවුතුරා දහම්හි පිහිටා සිටි චතුර්විධ වූ මාර්ගයෙන් ෂොඩශ විධ වූ කෘත්‍ය ය කොට අධිශීල ශික්‍ෂා ය, අධිචිත්ත ශික්‍ෂාය, අධිප්‍රඥා ශික්‍ෂා ය යන ත්‍රිවිධ ශික්‍ෂා පූරණය ත් කරන්නවුන් දෙවි මිනිස්සුත් කැමති වෙති. උන්ට සත්කාර ත් කරණු කැමති වෙති’ වදාළ සේක. දේශනා කෙළවර පන් සියයක් පමණ දරුවෝ සෝවාන් ව තමන් දුන් කැවුමේ රස තරමට වඩා සිටිනා රස ඇති නිවන් රස ලත්හ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පර සම්පත්ති අසහන ලක්‍ෂණ වූ ඊර්ෂ්‍යාදීනු ත් දුරු ව අනුන් ගේ ගුණ මකා සිටිනා මකු කමුත් නැති ව ඇති ව කළ මනා සීල සමෘද්ධ්‍යාදී ගුණ ම ඇති කරන්ට උත්සාහ කටයුතු.

________