181. එක්තරා බ්‍රාහ්මණයකු ගේ වස්තුව

star_outline

තව ද ලෝභයා ගේ නපුර හඟවන්ට එක්තරා බ්‍රාහ්මණයකු ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

මිථ්‍යා දෘෂ්ටික වූ බමුණු ද එක් දවසක් ගඟ ගබට ගොසින් කුඹුරක් ඉදි කෙරෙයි. බුදුහු ද ඔහුගේ හේතු සම්පන්න නියාව දැන ඔහු ළඟට වැඩි සේක. ඒ තෙමේ බුදුන් දැකත් තමා සැදෑ නැති හෙයින් සාමීචි පමණකුත් වියදමක් සේ සිතා ගෙන නො කෙළේ ය. බසක් පමණකු ත් බැණ නො නැංගේ ය. ඌ බැණ නො නැංග ත් බුදුහු ඌ හා කථා කරන සේක් ‘බමුණ, කුමක් කෙරෙයිදැ’යි විචාළ සේක. ‘මහණ ගොයුම, කුඹුරක් ඉදි කෙරෙමි” කිවු ය. බුදුහු ත් මෙ පමණක් වදාරා ලා වැඩ දෙ වන දවසු ත් කුඹුරු කර්මාන්තයට ගිය බමුණන් ළඟට වැඩ ‘කුමක් කරවුද, බමුණාණෙනි, විචාරා ‘කුඹුරු කර්‍මාන්තයක් කෙරෙමි’යි කී කල්හි වැඩපී සේක. පසු ව පසු ව ත් වැඩ විචාරා ‘වපුරමි, නෙළමි, ගොයම් රකිමි’ යනු අස අසා වඩනා සේක.

පිට පිට හෙලා වඩනා බුදුන්ට එක් දවසක් බමුණෝ භවත් ගෞතමයෙනි, මේ කුඹුර බිම් නඟන තැන් පටන් කුඹුරු කර්‍මාන්තයට මා නො පමා ව එන්නා සේ ම තෙපිත් නො පමා ව ඇවිද්ද ව. ඉදින් මේ ගොයම් පැසිණි නම් තොපට ත් භාගයක් දෙමි. තොපට නො දී මම නො කමි. තෙපි මෙවක් පටන් මාගේ යාළුවාණෝ ය’ යි කිවු ය. කල් යාමක දී ගොයමු ත් පැසිණ. ‘සෙට දවස් කුඹුර දාවමී’යි දීම් සරහා ගෙන හුන් කලට රෑ වැස්සෙක් වැස වතුරු හෙළා බා ගොයම් මුළුල්ල උදුරා ගෙන වතුරේ පලා ගියේ ය.

බුදුහු වැළි ත් ආදියෙන් න්ම වැඩි දවස් ම ගොයම් නස්නා නියා ව දත් සේක. බමුණානෝ ද උදෑසන ම කුඹුර බලන්ට ගිය තැනැත්තෝ ගොයම් නටුවා දැක ශෝක බලවත් ව ‘මහණ ගොයුම්, සී අවධියේ පටන් ගොයම් පැසෙන තෙක් ම ආ ය. මමද වැළි ත් පැසුණු ගොයමින් භාගයක් ම දෙමි. මෙ වක් පටන් තොපි මාගේ යාළුවාණෝ ය’යි කියා ත් කීමි. ගොයම් තබා ඒ මාගේ අභිමතාර්ථය ත් සිද්ධ වන්ට නුවූයේ ය’යි සිතා මුසුප්පු ව ගෙන වැද හොත්තෝ ය. බුදුහු උන්ගේ කුඹුරට ගමන් වැළකී හෙයින් ගෙදොරට වැඩි සේක. බමුණානෝ ද බුදුන් වැඩි නියා ව අසා මාගේ යාළුවාණන් කැඳවා ගෙන අවුත් හිඳිනා ලෙසට කරව’යි කිවු ය. පිරිවර මිනිස්සුත් එ ලෙසම කළහ. බුදුහු වැඩහිඳ බමුණානෝ කොයි දැ’යි විචාරා ගබඩාවේ ය යි කී කල්හි කැඳවා ගෙන්වා ලා අවුත් එකත් පස්ව හුන්නවුන්ට ‘කුමක් ද? බමුණානෙනි, යි වදාළ සේක.

‘භවත් ගෞතමයෙනි, තෙපි මා කුඹුර සානා අවධියේ පටන් කුඹුරට ඇවිද්දව. මම ත් ගොයම් පැසිණි නම් තොපට වී භාගයක් දෙමී කීමි. ඒ නො වී ය. ගොයම් නටුවාටත් වඩා ඊට මුසුප්පු බලවත. එ ම නිසා කුමකටත් රීසි නැති ව පියා මුසුප්පු ගෙන හිඳිමි’ කිවු ය. බමුණානෙනි, ඒ ශෝක ය කුමක් නිසා වී ය යි දනු ද’යි විචාරා මම නො දනිමි. තෙපි දනු දැයි කී කල්හි ‘එ සේ ය, බමුණානෙනි, අපි දනුම්හ. ශෝක නමුත් භය නමුත් චතුරාර්‍ය්‍ය සත්‍යයෙන් දුඃඛසත්‍යයෙහි ඇතුළත. දුඃඛ කාරණ වූයේ සමුදය සත්‍යය ය. ඒ තෙමේ අෂ්ටොත්තරශත ප්‍රභේද වූ තෘෂ්ණා ව ය. යම් කෙනකුන්ට ඒ තෘෂ්ණාව ඇත්නම් ශෝක යත් උපද්දී, භයත් උපද්දී, යම් කෙනකුන්ට ඒ තෘෂ්ණාව රහත් මගින් සුන් නම් ශෝකයත් භයත් නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බමුණානෝ සෝවාන් වූහ.

එහෙයින් සත් පුරුෂයන් විසින් දුඃඛයත් දුඃඛ කාරණයත් නසන්නා වූ නිවනට යමෙකින් පැමිණිය හැකි වී නම් ඒ අෂ්ටාඞ්ගික මාර්‍ග ය භවන්ට උත්සාහ කටයුතු.