180. අනිත්‍ථිගන්ධ කුමාරයන් ගේ වස්තුව

star_outline

තව ද වස්තුකාම ක්ලේශකාමයෙහි ආදීනව දක්වන්ට අනිත්‍ථිගන්ධ කුමාරයන් ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් -

ඌ තුමූ බඹ ලොවින් චුත ව අවුත් රූපාවචර චුතීන් මත්තෙහි අහේතුක ප්‍රතිසන්ධි රහිත වූ සියලු පිළිසඳ වන හෙයින් සැවැත් නුවර මහ සම්පත් ඇති කුලයෙක උපන්හ. උපන් දවස් පටන් බඹලොව සිට ආ ලෙසට ගෑණු කෙනකුන් ළඟට එනු ත් නො කැමැත්තෝ ය. ගෑනු මිනිසුන් ඇඟ අල්වා ලූ කලට හඬන හෙයින් කඩ කැටියකින් වසා අල්වා ගෙන කිරි පොවති.

ඌ තුමූ වැඩිවිය පැමිණ දෙමවුපියන් විසින් සරණක් ගෙන්ව දෙමෝ දැ’යි විචාළ කල්හි නො ගිවිස නැවත නැවත ත් පැරැත්ත කියන හෙයින් බඩාල් පන් සියයක් විතර ගෙන්වා ගෙන පස් විසි දහසක් විතර රත්රන් දෙවා ලා ඉතා ප්‍රසාදාවහ වූ ගෑනු රුවක් කරවා ලා නැවත ත් දෙමවුපියන් ‘පුත, තොප සරණක් නො ගෙනා කල කුල පරම්පරාව නො පවත්ති. කුල දැරියක ගෙන මෝ දැ’යි කී කල්හි ‘තෙල ලෙස ගත් හැඟී ව[1] කියන පසු මේ සැටි ගෑනු කෙනකුන් ගෙන්වා දෙතොත් කියාලූ ලෙස කරම්හ’යි කරවා ලූ රන් රුව පෑවු ය. උන්ගේ දෙමවුපියෝ ද ප්‍රසිද්ධව හිඳිනා බ්‍රාහ්මණවරුන් ගෙන්වා ගෙන ‘අපගේ පුතණුවෝ මහ පිනැත්තෝ ය. ඒකාන්තයෙන් මුන් හා එක්ව පින් කළ කුමාරිකා කෙනකුන් ඇත මැනව. මේ තරමකට ම සිත් නැමෙන්නේ එයින. තෙල රන් රුව හැර ගෙන ගොසින් දඹදිව මුළුල්ලේ ඇවිද තෙල රන් රුව වැනි කුමාරිකා කෙනකුන් ගෙනෙව’යි කිවු ය.

උයි ත් යහපතැයි ගිවිස දඹදිව සැරිසරන්නාහු මදුරට සාගල නුවරට ගියහ. ඒ නුවර ද වැළි ත් ගෙන ගිය රන් රුවට වඩනා තරම්වූ සොළොස් ඇවිරිදි වයසට පැමිණි කුමාරිකා කෙනෙක් වූහ. උන්ගේ දෙමවුපියෝ ද උන් සත්මාල් මාළිගාවේ උඩු මාලේ ලා රකිති. ඒ බමුණෝ ද “ඉදින් මේ නුවර මෙ බඳු කුමාරිකා කෙනෙක් ඇත් නම් මේ රන් රුව දැක ‘මූ අසවලුන් ගේ දුවණියන් සේ රූ ඇති කෙනෙකැ’ යි කියති” රන් රුව පැන් තොටට යන මඟ සිටුවා ලා සැඟවී ගෙන හුන්හ. ඉක්බිත්තෙන් ඒ කුමාරිකාවන්ගේ කිරි මවු කුමාරිකාවන් නාවා පියා තුමූ ත් නා පියනු කැමති ව පැන් තොටට ගියාහු ඒ රන් රුව දැක කුමාරිකාවන් පෙරාතු ව ලා ගොසින් සිටියා සේ සිතා ගෙන ‘අනේ නොහික්මුණු තැනැත්තෙනි, නාවා පියා අප ත් නා පියනු නිසා ආ තැන යම් කිසි පමාවෙකින් අපට පෙරාතුව අවුත් මෙ තැන සිටියා දැ’යි අතුල් පහරක් ගසා පියා තද නියාව ත් සැලී නො නැඟි නියාවත් දැන ‘එක් වැනි හෙයින් අපගේ දුවණිය නැ’යි සිතුම්හ. මූ කවුරු දැ’යි කීහ. ඒ බමුණෝ ද මුඹගේ දුවණියෝ ත් මේ සැටියෝ දැ’යි විචාළෝ ය.

‘අපගේ දුවණියන්ගේ රුව දුටු කලට මූ උන්ගේ කෙල්ලක තරමටත් ඇත්තෝ දැ’යි කුමාරිකාවන් යම් තරමෙක උසස් කොට කියා ලූ ය. එ සේ වී නම් තොපගේ දුවණියන් අපට පාවා’යි කීහ. කිරි මෑණියෝ ද බමුණන් කැඳවාගෙන ගෙට ගොසින් ස්වාමි දරුවන්ට කිවු ය. උයි ත් බමුණන් හා කථා කොට ලා දුවණියන් උඩුමාලෙන් පාතට බාවා ගෙන යටි මාලේ රන් රූ ඇළයේ සිටුවා ලූ ය. හිරු නැඟෙත් නැඟෙත් කදෝපැණියක මෙන් රන් රුව ඉතා නිශ්ශොභා විය. බමුණෝ ද ඒ රන් රුව කුමාරිකාවන්ගේ දෙමවුපියන්ට අයවැය නිසා දෙවා ලා කුමාරිකාවන් කුමාරයන්ට නිල කොට ගෙන ගොසින් අනිත්‍ථිගන්ධ කුමාරයන්ගේ දෙමවුපියන්ට කීහ.

උයි ත් සතුටුව ‘යව, වහා ගෙනෙව’ යි මඟුල් පෙරහර ඇතිව බමුණන් යැවූහ. කුමාරයෝ ද ‘රන් රුවටත් වඩා කුමාරිකාවෝ රූපත්හ’ යනු අසා ශ්‍රවණ සංසර්‍ග වශයෙන් ස්නේහ උපදවා ගෙන වහා කැඳවා ගෙනෙන්ට තුමූ ත් විධාන කළහ. කුමාරිකාවනුත් වාහනයකට නංවා ලා ගෙනෙන ගමනෙහි වාහනයෙන් යෑම නුපුරුදු හෙයිනුත් සිවුමැලි හෙයිනුන් ආයාස මුල්ව රුජා ඇතිව ලා අතුරු මඟ දී ම මළහ. කුමාරයෝ ත් එක්වන් ම විචාරති. උන් ස්නේහී ව විචාරන හෙයින් නියාව වහා නො කියා කීප දවසක් විතර කල් යවා ලා කල් යන හෙයින් කුමක් දෝ හෝ යි සිතෙන අවස්ථාවෙහි දී නො කියා හඟවන්ට ත් බැරි හෙයින් මළ නියා ව කීහ. කුමාරයෝ ද එබඳු රූපත් කෙනකුන් දක්නා පමණ කටත් නොලද්දෙමි’ ශෝක දුක් මහත් ව පර්‍වතයකින් මිරිකන කලක් මෙන් ශෝකයෙන් මිරිකුණා වු ය.

බුදුහු ත් උන් සෝවාන් වන්ට හේතු ඇති නියාව දැන සිඟා වඬනා සේක් උන්ගේ ගෙ දොරට සිඟා වැඩි සේක. උන්ගේ දෙමවුපියෝ ද බුදුන් ගෙට වඩා ගෙන ගොසින් සකස් කොට වැළඳවූහ. බුදුහු ත් වළඳා අන්තයෙහි ‘අනිත්‍ථිගන්ධ කුමාරයෝ කොයි දැ’යි විචාරා ‘ශෝකාතුරව ඇතුළු ගබඩාවට වැදලා හුන්නැ’යි කී කල්හි ‘උන් කැඳව’ යි වදාළ සේක. උයිත් අවුත් බුදුන් වැඳ ලා එකත්පස් ව හුන්හ. ‘කුමක් ද? කුමාරයෙනි, ශෝක දුක් බලව ත් නියා දැ’යි විචාළ කල්හි ශෝක බලවත් නියාව කිවුය. ‘ඒ තොපට උපන් ශෝක ය කුමක් නිසා උපනැයි සිතවු දැ’යි විචාළ සේක. ‘නොදනි මි’යි කිවු ය. කුමාරයෙනි, තොප නො දනු නම් අපගෙන් අසා දැන ගනුව. ශෝකයෙක් හෝ භයෙක් උපදී නම් රූප ශබ්දාදි වූ වස්තු කාමය හෝ තද්වස්තුක වූ ක්ලේශ කාමය නිසා උපද්දි. යම් කෙනකුන්ට රූප රාගාදි වූ උද්ධම්භාගිය සංයෝජන පස නැත් නම් ශෝක ය ත් භය ත් නැතැ’ යි වදාළ සේක. දේශනා කෙළවර කුමාරයෝ සෝවාන් වූහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කසළ ව තුබූ දෙයක් ගිනි ලා දවා නැති කරන්නා සේ සියලු කෙලෙසුන් නසා ශෝක ය ත් භය ත් නැති කරන්ට උත්සාහ කටයුතු.

  1. ගත හැකි ව