තවද ලොකාස්වාද රතියෙහි ආදීනව දක්වන්ට ලිච්ඡවීන් ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
ඒ ලිච්ඡවි රජදරුවෝ එක් මඟුල් දවසෙක රන් වන් පිළී හැඳීමෙන් රන්වන් ආභරණ පැළඳීමෙන් යනාදීන් නො එක් ලෙසින් සැරහී ගෙන උයන් කෙළියට යන්ට නුවරින් නික්මුණාහ. බුදුහු ද සිඟා වඩනා සේක් උන් සැරහී එන්නවුන් දැක කැටි ව වඩනා වහන්දෑට ‘මහණෙනි, තෙල ලිච්ඡවීන් දුටුවා ද? යම් කෙනකුන් තව්තිසා වැසි දෙවියන් නුදුටුවා නම් තුලුන් බලා සිත තබව’යි වදාළ සේක. වදාරා ලා නුවරට සිඟා වන් සේක. උයිත් උයනට යන්නාහු එක් වෙශ්‍යා දුවක ත් කැඳවා ගෙන ගොසින් ඈ නිසා පර සම්පත්ති අසහන ලක්‍ෂණ වූ ඊර්ෂ්‍යා ඇති ව විවාදයක් උපදවා ගෙන උනුන් මරා කොටා ගඟ ලේ ගඟක් කළහ. විත් කෙටීම් කෑවවුන් උසුලා ගෙන එති. බුදුහු ත් ඇතුළු නුවර දී වළඳා ලා නුවරින් නික්මුණු සේක.
වහන්දෑ ද ලිච්ඡවීන් ආදි සිය පයින් ගියවුන් පසුව අනුන් පයින් එන්නවුන් දැක බුදුන්ට ‘ස්වාමීනි, ලිච්ඡවි රජ දරුවෝ උදාසන තව්තිසා වැසි දෙවියන් මෙන් සැරහී නික්ම දැන් එක ස්ත්‍රියක නිසා මෙ තෙක් දෙන මේ සා මුළාවකට පැමිණියහ’ යි කී සේක. බුදුහු ත් ‘මහණෙනි, ශෝකයෙක් වේව යි භයෙක් වේ වයි සත්‍වයන්ට වේ නම් ගිනි ඇති කලට දුම් ඇති වන්නා සේ ලෝකාස්වාද රතිය මුල්ව ඇති වෙයි. යම් කෙනෙක් අනගැමි මගින් ලොකාස්වාද රති ය නසා පූ නම් උන්ට තන්මූලිකවූ ශෝක ය හා භය නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් පඤ්චකාම ගුණික රාගයත් වධකයන් මෙන් සිතා ගෙන එයින් දුරු ව සෙසු ත් අකුසල් හැර කුසල්හි පිහිටා අර්හත්වයට පැමිණීමෙන් චිත්ත ශුද්ධිය කටයුතු.