තව ද ශෝකයෙහි ම ආදීනව හඟවන්ට විශාඛාවන් ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත්-
විශාඛාවෝ දන්තා[1] නම් මිනිබිරිණි කෙනකුන් තමන් තනතුර සිටුවා ගෙයි දී වළඳන වහන්දෑට උනුත් බලවත්ව සැදෑ ඇති හෙයින් උන් ලවා වෙය්‍යාවත් කරවතී. ඌ කල් යෑමකදී සැදෑ ඇති බව මුත් ආයු ශක්තිය නැති හෙයින් මළහ. විසාඛාවෝ උන්ගේ ආදාහන ය කරවා ලා තමන් නො රහත් හෙයින් ශෝක ඉවසා ගත නො හී බලවත් මුසුප්පු ඇති ව බුදුන් ළඟට ගොසින් එකත් පස්ව හුන්හ. බුදුහු ත් ‘හැ යි විශාඛාවෙනි, මුසුප්පු වනැ’යි වදාළ සේක. ස්වාමීනි, මාගේ මිණිබිරියෝ නම් මට ඉතා ප්‍රිය යෝ ය. මා සේම සැදෑ ඇත්තෝ ය. ආචාරසීලී කමුත් යහපත. එ තරම් කෙනකුන් ලද නොහැකි හෙයින් සෙසු බොහෝ මුනුබුරන් නො මළවුන් ඇත ත් මුසුප්පුයෙමි’ කිවු ය. විශාඛාවෙනි, සැවත් නුවර මිනිස්සු කෙතෙක් ඇද්දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, මුඹ වහන්සේ ම සත් කෙළකැ’යි වදාළ සේක් වේ දැ යි කිවු ය. ඉදින් මෙතෙක් දෙන තොපගේ මිනිබිරිණියන් හා සරියෝ වී නම් කැමැත්තෝ දැ’යි විචාළ සේක. ‘එ සේය. ස්වාමීනි’යි කිවු ය. ‘මේ සැවැත් නුවරින් දවසකට කෙ තෙක් විචර මියෙත් දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, මෙ තෙක් දෙන යැයි නියම ඇද්ද? මහ නුවර හෙයින් ජනගහනයත් බලවත් හෙයින් බොහෝ දෙන මියෙති. උපදනා වුනු ත් බොහෝ සෙයින් අඩුව නො පෙනෙ’යි කිවු ය. එ සේ වීනම්, විශාඛාවෙනි, නුවර වැස්සන් මුළුල්ලම තොපගේ මිනි බිරිණියන් හා සරිවීම කැමැත්තා නම් උන් උන් මළ කලත් මුසුප්පු වුවමනා වේ ද? එ සේ ම වන්නා මළ මළවුන්ට ශෝක කර මුත් තොපට අනිකකට අවසර නැතැ’යි වදාළ සේක.
විශාඛාවෝ ද බුදුන්ගේ කථාව අසා සෙස්සවුන්ගේ මරණ ත් මාගේ මිනිබිරිණියන්ගේ මරණත් දෙක ම මරණින් සරි ය. උන් හැම මළ කල සෝක නැත්තෙ ත් මුන් මළාට සෝක ඇත්තෙ ත් මුන් කෙරෙහි ඇති ප්‍රේමය නිසා ය. සෙස්සවුන් මළ කල සෝක නැත්තෙ ත් උන් කෙරෙහි ප්‍රේම නැති හෙයින. මුන් කෙරෙහි ත් ප්‍රේම නැත් නම් සෝක ඇති වන්ට කාරණ නැතැ’යි පියාණන් සඟවා කියා ලූ අවවාදයෙහි අත්‍ථි දන්නා සෙයින් බුදුන් සඟවා වදාළ දෙයෙහි අර්ථ විදුරක් හා සමාන නුවණින් දැන ගෙන ‘ස්වාමීනි, දනිමි’ කීහ. බුදුහු ත් ‘එසේ වී නම් ශෝක නොකරව’යි වදාරා ලා ශෝකයෙක් වේ නමුත්, භයෙක් වේ නමුත් දූ දරු ආදීන් කෙරෙහි පැවති ප්‍රේම මුල් ව වෙ යි. යම් කෙනකුන්ට ඒ ප්‍රේමය නැත්නම් ලිය නැති කලට ලිය මල් නැත්තා සේ ශෝකයත් භය ත් අවිද්‍යාදී වූ හේතු ධර්‍මයන් නැති කලට සංස්කාරාදී ඵල ධර්‍ම ය නැත්තා සේ නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් වෘත්ත සන්නිශ්‍රිත ප්‍රේම ය හැර විවට්ට සන්නිශ්‍රිත ප්‍රේම ය ඇතිව අකුසලින් දුරු ව කුසල්හි හැසිර ත්‍රිවිධ බෝධීන් එක්තරා බෝධියකට පැමිණිය යුතු.
________
-
දත්තා-ඇතැම්. ↑