තව ද අති උග්‍ර වූ අකුසල කර්මයෙන් ලබන දුකුත් අති උග්‍ර වූ නියා ව දක්වන්නමෝ දෙවදත්ත වස්තුව දක්වා අකුසල් අදහස් ඇත්තවුන් අකුසලින් නංවා කුසල්හි පිහිටු වමු. කෙසේ ද? යත්:
අප තිලෝ ගුරු බුදු රජුන් වහන්සේ කුසිනාරා නුවර මල්ල රජදරුවන් ගේ අනුපිය නම් නියම් ගම අනුපිය නම් අඹ උයනේ වසන කල රජව ත් කීම්, බුදුව ත් කිම්, පිරිවරා ඇවිද්ද මනා වේ දැ’යි නිළ කළ රාජකුමාරවරුන් අසූදහස බොහෝ සේ මහණ වුවත් භද්දිය කුමාරයෝ ය. අනුරුද්ධ කුමාරයෝ ය. භගු කුමාරයෝ ය, කිම්බිල කුමාරයෝ ය, ආනන්ද කුමාරයෝය, දෙවදත්ත කුමාරයෝ ය යන රාජ කුමාරවරුන් ස දෙනා මහණ නුවූ නියා ව දැක ‘අපි අප ගේ දරුවන් මහණ කැරවුම්හ. මුන් ස දෙනා ගේ දෙමවුපියන් බුදුන්ට නෑ නොවන නියා වේද? ඵසේ හෙයින් වේ ද මහණ නො කරන්නේ ය’යි මහණ වූ තැන්ගේ දෙමවු පියෝ අරුචි ලෙස කථා ඉපදවූ ය. එ ලෙස කථා ව උපන් පසු අනුරුද්ධ කුමාරයාගේ බෑණෝ මහානාම ශාක්‍යයෝ මලණුවන් අනුරුද්ධ කුමාරයන් ළඟට අවුත් ‘මලණ්ඩ, අපගේ කුලෙන් මහණ වූ කෙනෙක් තව දක්වා නැත. එසේ කලට අපගේ අඩුවක් සේ තිබෙයි. ඊට ත් වඩා අපගේ නෑ උතුමාණන් වහන්සේ ගෙන් ශාසනිකව ලද මනා සංග්‍රහයත් නො ලබම්හ. එසේත් මහා අලාභ ය. එ සේ ගෙයින් තෙපි ගොසින් මහණ වව. තොප මැළි වුවො ත් ශාසනය ත් සිස් නොවන නියා යෙන් මම හෝ මහණ වෙමි’ කිවු ය.
ඒ අනුරුද්ධ කුමාරයෝ නම් ඉතා සියුමැල්ලෝ ය. මහ පොහොසත්හ. මහණ ව සිඟා ගිය කල අරුණු ය යි කියා ලූ බසෙහි අර්ථ දැන ගන්නා විතර ත්, නැතැ යි යන බස් පමණකුත් ඇසූ විරූ නැත. එ සේ ඇසූ විරූ නියා නැත්තේ කෙ සේ ද යත් - එක් දවසක් භද්දිය ආදි වූ ඒ කුමාරවරු ස දෙන පළස් පූවට දම දමා ගුළ කෙළි කෙළිති. එ සේ කෙළිනා කල්හි අනුරුද්ධ කුමාරයෝ පැරැද ගොසින් ගිවිස ගත් ලෙසට කැවුම් සොයා ගෙට යැවූ ය. මවු බිසෝ කැවුමක් පන්ති කරවා යවූය. ස දෙන එක් වී හිඳ කැවුම් අනුභව කොට ලා නැවත ත් කෙළ අනුරුද්ධ කුමාරයෝ ම පැරැද හොසින් නැවතත් කැවුම් සොයා ගෙට යවා ගෙනා කැවුම් කා ලා කෙළ තුන් වන වාරයේ ත් පැරද විටින් විට ම කැවුමට ම ගිවිස්නා හෙයින් කැවුම් ගෙන්වා කා ලා සතර වන වාරයේ ත් කෙළ පැරැද පියා කැවුම් සොයා යවූහ. තුන් වාරයක් කොට යවා ගෙයි කැවුම් නිම හෙයින් මවු බිසවු කැවුම් නැති නියා ව කියා යවූහ.
අනුරුද්ධ කුමාරයෝ තමන් නො ඇසූ විරූ බසක් හෙයින් එ නම් කැවුම් වර්‍ගයක් නියා ය යි සිතා ගෙන ‘නැති කැවුමැ යි යන කැවුම ත් ඇති නියා වේ ද, ඒ ගෙනෙව’ යි විධාන කොළෝය. මවු බිසවුන් ඒ අසා ‘ම පුතුන් විසින් නැතැ යි යන බසක් ඇසූ විරූ නැත. එක් උපදෙසකින් එ බසෙහි අර්ථ ය අඟවා පියමි’යි සිස් රන් තළියක් කැවුමෙන් සිස් වුව ත් පිනින් නොසිස් වුවා අනික් රන් තළියකින් වස්වා ලා යවු ය. නුවර රකවල සිටි දෙවියෝ ‘මේ අනුරුද්ධ කුමාරයෝ අන්නභාර නම් දුගී අවස්ථාවෙහි තමන් කන්ට ඉදි කළ ‘රස පරසරයක් නැති බත රස වත් සිතින් උපරිට්ඨ නම් පසේ බුදුන් වහන්සේට නැතැ යි නො කියා පිළිගන්වා ලූ හෙයින් නැතැ යි යන බසක් නො අසම්ව’ යි කියා ත් පැතූහ. බත් උපදින්නේ අසවල් තැනිනැ’යි කියා ත් නො දනිම්ව’යි පැතූ ය. ඉදින් මූ තුමූ සිස් තළිය දුටු වූ නම් තොප උදාසීන වූ යේ හැයි දැ යි කියා නො සතුටු ව දෙවියෝ අප දිව්‍ය සමාගමයට ත් වැද්ද නො දෙන සේ දනිති. අප ගේ ඉස් හෝ සත් කඩක් ව පැළෙ’යි සිතා තළියෙහි දිව කැවුම් පුරා ලූහ. නිමුඩු සාලේ බතක් ගොසින් සිතෙහි නිමුඬු කමක් නැති ලෙසට දිව කැවුම් වි ය.
තළි ය ගෙන ගිය තෙනැත්තෝ ගෙන ගිය තළි ය කෙළනා තැන තබා ලා වසා ලූ තළි ය නැතැ යි යන බස අර්ථ හඟවන්නට හළ වූ ය. හැරපී කලට බස්වල අර්ථ හැඟ වීම කුමක් වුව ත් කුශලානුභාව ය. හඟවමින් දිව කැවුමේ සුවඳ මුළු නුවර පැතිරිණ. කැවුම් කැබෙල්ලක් කඩා ගෙන මුඛයෙහි තබා ලන්නා ම සත් දහසක් රස නහර පිනා ගියේ ය. කැවුම් කා ලා අනුරුද්ධ කුමාරයෝ ‘අනේ! අපගේ මෑණියන් වහන්සේ මෙ තෙක් කල් මට ලෙන් ගතු කමක් නැතිසේක් වන. මේ කැවුම් නො එවුයේ එසේ හෙයින් නියා වේ දැ’යි සිතා ගෙන ‘මෙ වක් පටන් මේ කැවුම් විනා අනික් කැවුමක් නො කමි. නිවන් කැවුම් නො ලත් හෙයින් සිතා ගෙන ගෙට ගොසින් ‘මෑණියන් වහන්ස, මම මුඹට ප්‍රියයෙම් ද, අප්‍රියයෙම් දැ’යි විචාළෝය. ඒ අසා බිසවු ‘පුත කුමක් කියා ද? එක ඇසක් ඇති කෙනෙකුන්ට ඒ එක ඇස යම් සේ ප්‍රිය ද, එ පරිද්දෙන් තෙපි ත් මට ප්‍රියව’යි කිවු ය. ‘එ සේ කල මෙ තෙක් කල් අද යැවූ නැති කැවුම් නොයැවූයේ හැයිදැ’යි කිවුය.[1]
බිසවු ඒ අසා කැවුම් ගෙන ගිය තෙනැත්තවුන් අතින් ‘කුමක් ද දරුව, ඒ තළියෙහි කුමක් ඇද්දැ’යි විචාරා ‘බිසොවුන් වහන්ස, තලිය කැවුමෙන් පිරින ඉස් වන අපට සම්භවූ හෙයින් දැනෙන්නේ වේද? මේ තරම් කැවුමක් නුදුටු විරීමි’යි කිවු ය. බිසවු ඒ අසා ‘ම පුත්තු මහ පිනැත්තෝ ය. පිණින් නො සිස් තැනැත්තවුන්ට දෙවියන් දිව කැවුමෙන් තළි ය පුරා ලූ නියා’ යයි සිතා ගත්හ. අනුරුද්ධ කුමාරයෝ ද ‘මෑණියන් වහන්ස, මෙවක් පටන් මට කැවුමක් එවතොත් මේ විනා අනික් කැවුමක් එවන්ට නො කැමැත්තේ ය’යි කිවු ය. එ වක් පටන් බිසවු ද පුතණුවන් ‘කැවුමක් කමී’ කී කල, තෙල් නො දවා සාලු ත් නො නසා හිස් තළියක් අනික් තලියකින් වසා ලා යවති. යම් තාක් ගිහි ගෙයි රඳා හුන්නෝ වූ නම් ඒ තාක් දෙවියෝ දිවස් ඇති තෙනට උතුම් වන මහතාණන්ට දිව කැවුම් දුන්හ.
බෑණන් විසින් මහණ වන්ට කී කල්හි නැතැ යි යන බසෙහි අර්ථ පමණකුත් නො දන්නා කුමාරයෝ මහණ වීම නම් කවර බවත් නොදැන එ තමා කුමක් දැ යි විචාරා ‘හෙම්බා මලණ්ඩ, ඉසකේ කපා පිසා සිවුරු පෙරව ගෙන දඬු මැස්සෙක වේව යි පෝරු හැඳෙක වේව යි සැත පී මැටි පයක් ගෙන සිඟා කෑමෙක් ඇත් නම් මහණ වීම නම් ඒය’යි කීකල්හි ‘බෑණන් වහන්ස, මම ඉතා සියුමැල්ලෙමි. පඬු පොවා බර කළ සිවුරු ධරන්ට ත් මට බැරි ය. දඬු මැසි ආදියෙහි වැදහෝනට ත් ඉතා බැරි ය. සිඟා කා ලන්ට ත් බැරි හෙයින් ම බැරිය. එ සේ හෙයින් මම මහණ නොවෙමි’යි කිවු ය. ඒ අසා බෑණෝ ‘මල, එ සේ වී නම් කර්‍මාන්ත ඉගෙන ගිහි ව වසව අප දෙන්නාගෙන් එක් කෙනකුන් මහණ නො වන්ට නොපිළිවනැ’ යි කීහ. බත් පමණක් උපදනා තැන් නොදන්නා මහ පිනැත්තාණෝ කර්මාන්ත තමා ම නො දන්නා හෙයින් ඒ තමා කර්මාන්ත නම් කුමක් දැ”යි විචාළෝ ය.
බත් උපදනා තැන් පමණ ත් නො දන්නේ කෙසේ ද යත්- එක් දවසක් කිම්බිල කුමාරයන් හා භද්දිය කුමාරයන් හා අනුරුද්ධ කුමාරයන් හා කථාවක් කොට කොට හුන්නෝ ‘බත් තමා උපදනේ කොයින් දැ’යි විචාළහ. කිම්බිල කුමාරයෝ ‘බඬ හලින් උපදිතී’ කීහ. ඒ අසා භද්දිය කුමාරයෝ ‘තෙපි නො දනුව. බත් උපදනා තැන් දන්නෙම් මම ය. බත් උපදනේ සැළියෙනැ’යි කිවු ය. ඒ අසා අනුරුද්ධ කුමාරයෝ ‘තෙපි දෙන්න ම නො දනුව, බත් නම් උපදනේ රියනක් උස පියුම් කැකුළක් ඇති මුව විට හිරි සියයක් ඇති රන් තළියෙනැ’යි කිවු ය. මුන් තුන් දෙනා මෙ සේ කියන්ට කාරණ කවරේ ද? විචාළාට වැනි ව සිතට හැංගක් කී නියා ද, නො හොත් දුටු දෙයකින්ද යත්-එක් දවසක් කිම්බිල කුමාරයෝ විකක් ගුළින් බානා දැක බත් අටුවෙන් උපද්දී සිතූහ. දඩ බිමකට නො ගිය නියා ඉන් ම හැඟෙ යි. භද්දිය කුමාරයෝ එක් දවසක් සැළියකින් බතක් ලන්නා දැක බත් උපදනේ සැළියෙනැ’ සිතූ ය. දඩ බිම් තබා බඩාල් දසාවට ත් උන් නො ගිය නියා ව ඉන් හැඟෙයි. අනුරුද්ධ කුමාරයෝ ගුළින් වී බාන නියාවක් වේව යි, සැළියෙන් බත් ලන නියාවක් වේ ව යි, තමන් නුදුටු විරූ හෙයින් තළියේ ලා ලා පෙරට තුබූ බත් පමණක් ම දන්නා හෙයින් තළියෙන් බත් උපදනේ ය යි සිතූහ.
ඵහෙයින් බත් උපදනා පමණක් තමන් නොදන්නා ඒ කර්මාන්ත නම් කවරේ දැයි විචාරා ‘පළමුකොට කුඹුරු ගෙවඩි ය යුතු ය. ඉක් බිති බිම් නැඟිය යුතු ය. පසු ව දෙ සී සෑ ව යුතු ය. මියර කෙටිය යුතු ය. තුන් සී සාන්ට යුතු ය. කැට තළා පෝරු ගෑ යුතු ය. කළල්ලෑම් කට යුතු ය. ඉස්නන් නෙමිය යුතු ය. දිය බැන්ද යුතු ය. ගොයම් රෝගයට කෙම් කළ යුතු ය. ගොයම් පැසී ගිය කලට දා මැඩ වී අටු කොටුවල ලිය යුතුය. පෙරළා හිපනැලි සෑ ව යුතුය. වල්පොළ කෙටිය යුතු ය. දවා හෙළි කට යුතු ය.’ යනාදීන් හවුරුදු පතා කළ මනා කර්‍මාන්තයෙහි නියම යක් නැති කොට කීවා අසා ‘සසර කෙළවරක් නො පෙනෙන්නා සේමේ කර්‍මාන්තයෙහි ත් කෙළවරක්ම නො පෙනෙයි. කර්මාන්ත යෙහි ම නියමයක් නැති කල සම්පත් විඳින්නේ කවර දා ද? මුඹ වහන්සේ ම නියමයක් නැති කර්මාන්ත කොට නියමයක් නැති සසර රඳන්ට ගිහි ව විසුව මැනව. කොට ගත හුණො ත් නියමය පෙනෙන මහණ වීම මට වුව මැනවැ’යි මහණ වීමෙහි රුචි ඇති ව, මහණ වීමට අනුදන්ට මවු බිසොවුන්ට කියා උන් විසින් තුන් විටක් කොට නවතා ත් නැති කැවුමට ත් වඩා නිවන් කැවුමට අදහස තර ව නො නවත්නා හෙයින් මෙ ලෙසිනු ත් නැවතිය හැක්කැ යි සිතා ‘ඉදින් තොපගේ යාළු වූ භද්දිය කුමාරයෝ මහණ වෙත් නම් තෙපි ත් මහණ වව’ යි කී කල්හි උන් කරා ගොසින් ‘මාගේ මහණ වීම මුඹ පිළිබඳ ය, යනාදීන් නො එක් ලෙස කියා සත් වන දවස් එක් ව මහණ වන ලෙසට ගිවිස්වා ගෙන මහණ වීමෙහි තර වූ ය.
ඉක් ක්බිත්තෙන් හද්දිය කුමාරයෝ ය, අනුරුද්ධ කුමාරයෝ ය, ආනන්‍ද කුමාරයෝ ය, භගු කුමාරයෝ ය, කිම්බිල කුමාරයෝ ය, දෙවදත්ත කුමාරයෝ ය, යන මේ රාජ කුමාරයෝ ස දෙන උපාලී නම් කපුවාණනු ත් හැර ගෙන දෙවියන් දිව සැපත් විඳිනා කලක් පරිද්දෙන් සතියක් මුළුල්ලෙහි රජ සැපත් විඳ උයන් කෙළියට යන්නවුන් මෙන් සිවුරඟ සෙනඟ පිරිවරා නික්ම තමන්ගේ දෙශ ගෙවා පර දෙශට පැමිණ රජ අණින් සෙනඟ රඳවා පියා රජ දරුවෝ ස දෙන තම තමන් පළන් ආභරණ ගළවා පොදි කොට බැඳ ලා හිඳ ‘උපාලීනි තෙල හැර ගනුව ‘යි ආයු පමණින් තොප ජීවත් වන්ට තෙල තෙක් දෑ සෑහෙයි’ කියා ලා උන්ට දුන්හ. ඌ තුමූ ත් හඬමින් වලපමින් රජ අන සක මැඩිය නොහී නැවැත්තාහ. රජ දරුවන් ස දෙනා ත් කපුවාණනු ත් වෙන් වූ කලට මහවල ත් අඳුරු බිහිරි වීමෙන් හඬන්නා සේ වී ය. මහ පොළොව ත් වෙවුලන්නා සේ වී ය.
උපාලි කපුවාණෝත් මඳ තැනක් ආ පස්සේ යන්ට ගොසින් ලා ‘ශාක්‍ය රජ දරුවෝ නම් මොළොක් බුදුන්ට නෑ බව මුත් මහා තදයෝ ය. මා ඔබ ගිය කලට කුමාර වරුන් නොදැක කුමාරවරුන් නො ආවේ මරා පී නියා වේ දැ’යි ආද්‍යන්ත නොසලකා මාත් මරා පී සේක් නමුත් කාරිය නො වෙ යි. මේ රාජ කුමාරවරු රාජ සම්පතු ත් හැර මාහැඟි වූ මේ ආභරණ ත් මට දී පියා ගොස් මහණ වෙති. ඒ මහණ වීම මට ත් නපුරු නොවත් මමත් මහණ වෙමි’ සිතා ලා ඒ පොදිය මුදා පියා ආභරණ ගස්වල කප්රුක් සදන කලක් මෙන් එල්වා පියා ‘කැමැති කෙනෙක් හැර ගත මැනැවැ’යි කියා ලා රජ කුමරුන් කරා ගොසින් ‘අවුනැ යි විචාල කල්හි තමන්ගේ අදහස් කිවු ය. ඒ අසා උනු ත් කැඳවා ගෙන බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි. අපි ශාක්‍ය කුලෙහි උපන් හෙයින් නඟුලිස් ගැළපූ පිඹුරන් මෙන් මනින් තද ව සිටුම්හ. මුන් අපගේ කපුවාණන් හෙයින් මූ අපට අඩු වූවෝ වේ ද, මුන් පෙරාතු ව මහණ කොට ලන්නා ම උන්ට වැඳීම් පිදීම් ආදී වූ ආදර සම්භාවනා කරම්හ. එ සේ කලට අපගේ මන් මිරිකී ගනී. ශාසනයට මන් නම් වුව මනා දෙයෙක් නො වන්නේ වේ දැ’යි මඟුල් කපුවාණන් පළමු මහණ කරවා ලා තුමූ ස දෙන පසු ව මහණ වූහ.
ඉන් භද්දිය තෙරුන් වහන්සේ නෑ උතුම් බුදු රජාණන් වහන්සේ බුදු වන දවස් රාත්‍රියෙහි පෙර යම් දස පැයින් උපදවා ගත් පෙර විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ ත්, මැද යම් දස පැයින් උපදවා ගත් දිව ඇස ත්, අළු යම් දස පැයින් උපදවා ගත් බුදු නුවණ හැර අර්හත් මාර්‍ග ඥානයත් යන මේ ත්‍රි විද්‍යාව හා සෙසු ත් ශාසනික ලද මනා ලොවී ලොවුතුරා සැප ත් සඳහා යම් සේ ඉදුබෙක් ගොඩ ඇවිදි නමුත් තමාට පිහිට ව තිබෙන හෙබ්-වළ ආදිය අත් නොහරී ද, එ මෙන් සියල්ලවුන් කෙරෙහි පතළ මෙත් සිත් අත් නො හැර යම් සේ එම ඉදුබා දියෙහි ඉපිළෙන්නේ හිස මතු කොට ලා කිසි කෙනෙකුන් දැක ගැඹුරු දියෙහි ගැළී යේ ද, එ පරිද්දෙන් සසුන් මහ විල්හි පිළිවෙත් හිස් ඔසවා ඇවිදිනා සේක් කෙලෙස් සතුරකු දුටු කල භාවනාදියෙහි ගැළෙමින් ද යම් සේ එම ඉදුබා දියෙන් ගොඩ නැඟී කබල හිණි ගන්වා ද, එ මෙන් කෙලෙස් දියෙන් තෙමුණු සිත් නමැති කබල සම්‍යක්-ප්‍රධාන වීර්‍ය්‍ය අවුවෙන් ගිනි ගන්වා ද, තව ද යම් සේ ඒ ඉදුබා පොළොව කැණ ගෙන ගොසින් ඒ උපද්‍රව භයින් විජන ස්ථානයක වෙසේද, එ මෙන් ලාභ සත්කාර හැර සසර භයින් මහවල් වැද රුප්පා – කඳු රැළි-ගල් ගුහා ආදිය නිසා වැස යම් සේ ඒ ඉදුබා ඇවිදිනේ කිසි කෙනකුන් දැක හෝ අරගලක් අසා හෝ කකුල් සතර ත් හිස ත් කබල යට සඟවා ද, එ පරිද්දෙන් චක්ෂුරාදි වූ ස දොරට රූපාදි වූ ඉටු-අනිටු සාරමුණු හමු කල්හි සාරමුණු නමැති මහ වල්හි සැඟවී හිඳිනා කෙලෙස් සතුරන්-
“තෙ කිලෙස මහාචොරා - ආලම්බණවනාසයා,
න ධංසෙන්ති මනොගෙහං - සතාරක්ඛෙ උපට්ඨිතෙ”
යනු හෙයින් හැම වේලෙහි ම සිහි ඇති වීමෙන් චක්ෂුරාදි ස දොරින් වැද සිත් නමැති ගෙයි තුබූ ගුණ රුවන් ගත නො දී තුන් මස ඇතුළ ම ත්‍රි විද්‍යා නමැති වේද තුන ද, ශීලාදි ගුණ දහම් නමැති වේදාඞ්ග ද දැන ගෙන සූත්‍ර ප්‍රතිපත්ති නමැති සූත්‍ර ලා අර්හත් ඵල නමැති දක්ෂිණාව සිඟා සම්‍යයක් සම්බුද්ධ නමැති සක්විති රජ්ජුරුවන්ගේ පිරිසිදු සිල් නමැති පවුරු වළල්ලක් ඇති හිරි ඔතප් නමැති අගලක් ඇති, නුවණ නමැති වාසල් ඇති, වීර්‍ය්‍ය නමැති අට්ටාල ඇති, සදැහැ නමැති එසිකාස්තම්භ ඇති, සිහි නමැති වාසල් රක්නවුන් ඇති, නව ලොවුතුරා දහම් නමැති නව මහල් පායක් ඇති, චතුර් විධ මාර්‍ග නමැති සිව් කොන් වීථි ඇති, ති ලකුණු නමැති තුන් කොන් වීථි ඇති, විනය පිටක නමැති අධිකරණ ශාලා ඇති, සිහිවටන් නමැති රාජ වීථි ඇති, අභිඥා නමැති මල් තබා විකුණන සල් පිල් ඇති, සිවු පිරිසිදු සිල් නමැති සුවඳ සල් පිල් ඇති, චතුර් විධ ශ්‍රාමාණ්‍ය ඵල නමැති ඵලාඵල තබා විකුණන පිල් ඇති, කෙලෙස් පිළියමට ගත යුතු වූ සත් තිස් බොධි පාක්ෂික ධර්‍ම නමැති බෙහෙත් බඩු තබා විකුණන සල් පිල් ඇති, ජරා විලිපිලි නැති වීමෙහි සමර්ථ වූ කාගියාසී නමැති අමා තබා විකුණන සල්පිල් ඇති, නිවන් ගෙන දීමෙහි සමර්ථ වූ ශීල - සමෘද්ධ්‍යාදී රුවන් පිරුණු සල් ඇති, ඒ ඒ දෙය ලබන්ට තර මුන්ට දෙන ලෙස ජාති සම්පත් භෝග සම්පත් ආයු සම්පත් ආරෝග්‍ය සම්පත් වර්‍ණ සම්පත් ප්‍රඥා සම්පත් මනුෂ්‍ය සම්පත් දිව්‍ය සම්පත් බ්‍රහ්ම සම්පත් නිවන් සම්පත් පිරුණු සල් ඇති සදහම් නුවරට වන් සේක.
අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ ද විදර්ශනාවට විෂය වූ සංස්කාරයන් විෂය නොව විවසුන් වඩනා සේක් කළා වූ පාන් පූජාවෙහි මුඛ්‍ය විපාක වශයෙන් දිව ඇස් උපදවා ගෙන පසු ව රහත් වූ සේක. ආනන්‍ද මහ තෙරුන් වහන්සේ ද, යම් සේ හුණ ගසක් සුළං අතට නැමේ ද, අනික් අතකට නො නැමේ ද, එ පරිද්දෙන් පර්‍ය්‍යාප්ති සුළඟින් ප්‍රතිපත්ති සුළං පිටට නැමී රහත් වීම බුදුන් පිරිනිවි කලට තබා සෝවාන් ව නිවන් රටින් කැබලි සුඟක් අත් කළ සේක. භගු-කිම්බිල දෙ දෙනා වහන්සේ ද යම් සේ නැගූ දුන්න මුල පටන් අග දක්වා නැමී තිබේ ද, එ පරිද්දෙන් බාල තෙනට ත්, මධ්‍යම තෙනට ත්, සම සම තෙනට ත් නො තද හෙයින් නැමීම ඇති ව, යම් සේ කවුඩුවෝ හැම වේලේ ම සැක ඇති ව වෙසෙද්ද, එ පරිද්දෙන් හැම වේලේ ම පාපයේ භය ඇති ව යම් සේ කවුඩුවෝ ලද දෙයක් සෙසු කවුඩුවන් හැර නො කද්ද, එ පරිද්දෙන් සිඟා ලද දෙයක් බෙදා දීම වශයෙන් සංවිභාගසීලී ව, යම් සේ වඳුරෝ වාසයක් එක් තැන කෙරෙත් නම් අතු පතරින් ගැවසී ගත් මහ ගස් ඇති තමන්ට ඵාසු තෙනක වෙසෙද්ද්ද, එ පරිද්දෙන් ලජ්ජි වූ සිල්වත් වූ යහපත් තරම් ඇති බොහෝ ඇසූ විරූ තැන් ඇති බැවින් ධර්‍මධර වූ ගරුතර වූ සම්භාවනීය වූ දුටු වැරැද්ද කියා නවතන සත්පුරුෂොපාශ්‍රය ලදින් යම් සේ ලබු වැලක් අතරණ කල තණ වේව යි, දඬු වේ ව යි, යමෙක යමෙක කොන්දෙන් එලී ලා මතු පිටින් අතරා ද මෙන් විදර්ශනාවට විෂය වන අරමුණෙහි විවසුන් නුවණ නමැති කොන්දෙන් එලී අර්හත් මාර්‍ග නමැති වැලින් අතරා ඵල සම වතින් පල ගත් සේක.
උපාලි මහ තෙරුන් වහන්සේ ද සඟ දහසක් හැර ගෙන බුදුන් කෙරෙහි වින ය අසා විනයධර තෙනට අග තැන් පත් ව රහත් වූ සේක. දෙවිදත් වහන්සේ භද්දියාදි කුල දරුවන් හා එක් ව අවුදින් මහණ ව රුවන් දෙන තැනට ගොසිනු ත් රුවන් නො ලද්දා සේ නිවන් දැක ගත නො හී අෂ්ට සමාපත්ති උපදවා අභිඥා ලැබ වසන දෑ ය. බුදුන් කොසඹෑ නුවර වසන කලට ගං මුල්ලෙහි මුව දොර එක් තැන් වූ කලක් මෙන් පාරමිතා භූමියෙහි දී පැරුම් පුරා අවසර නූවූ හෙයින් මෙ තැන්හි දී අවසර ලත් තෙනට ලාභ සත්කාර බොහෝ ව උපදනට වන.
සිවුරු පිළි ආදි වූ දෙය හැර ගෙන මිනිස්සු වෙහෙරට ගොසින් ගුණෙන් උතුම් වූ බුදුහු කොහි ද? දකුණ’ත් සවු ව සිටි ධර්‍ම සෙනෙවි ස්වාමි කොයි ද? වම’ත් සවු ව සිටි මුගලන් ස්වාමි කොයි ද, අපිස් තෙනට අග තැන් පත් මහසුප් ස්වාමි කොයි ද, ත්‍රි විද්‍යාවෙන් අග තැන් පත් භද්දිය ස්වාමි කොයි ද? චිත්‍රකර්‍ථ වූ කුමරකසුබ් ස්වාමි කොයි ද? දිවැස් ඇති තෙනට අගතැන් පත් අනුරුද්ධ ස්වාමි කොයිද? අවවාදක්‍ෂම තෙනට අග තැන් පත් රාහුල ස්වාමි කොයි ද? දානලාභී තෙනට අගතැන් පත් සීවලී ස්වාමි කොයි ද? උපස්ථායී තෙනට අග තැන් පත් ආනන්‍ද ස්වාමි කොයි ද? යනාදීන් අසූ මහ සවුවන් වහන්සේ ම විචාරා ඇවිදිති. දෙවිදත් තෙරුන් වහන්සේ කොයි දැ යි විචාරන තරම් ප්‍රසිද්ධ ගුණයක් නැති හෙයින් විචාරන කෙනෙක් නැත.
එ සේ නැති කලට එක් දවසක් ‘මම ද වැළි ත් භද්දියාදීන් භා එක් ව ම අවුත් මහණ වීමි, මූ හැම ත් රජ කුලයෙන් ම අවුත් මහණ වුව, මම ත් රජ කුලයෙන් ම අවුත් මහණ වීමි. ජාතියෙන් රජ කුල ය නිසා සරිය මුත් ගුණෙන් අඩු ව සිතා ගත නොහී යම් යම් ලාභයක් ගෙනා කෙනෙක් මුන් හැම විචාරති. විචාරන්නා තබා මා සලකුණු කරන කෙනෙකු ත් නැත. කවර උපදෙසකින් කවුරුන් පහදවා ගෙන ලාභයක් එළවා ගනිම් දෝ හෝ’යි සිතූහ. සිතා ලා ‘මේ බිම්සර රජ්ජුරුවෝ බුදුන් ආදියෙන් දුටු දවස් ම එක් ලක්ෂ දස දහසක් හා සමග සෝවාන් වූහ. තර අදහසින් ශපථයක් කළ කෙනකුන් හා ශපථ වූ දෙය අරවා ගත නො හැක්කා සේ මුන් හා අපගේ අදහස් ලෙසට එක් කරවා ගත නො හැක්ක. මාර්‍ග ගත වූ ප්‍රසාද ය නම් රාජ හංසයන්ගේ අදහස පියුම් වලට මුත් කසළ ගොඩට නො නැමෙන්නා සේ බුද්ධාදීන් හැර අන් තැනකට නො නැමෙ යි.
‘කොසොල් මහ රජ්ජුරුවන් නිවන් නුදුට ත් මල්ලිකා බිසොවුන්ගේ සමවායෙන් බුදුසස්නෙහි පහන් හෙයින් අප සිතන ලෙසට නමා ගත නො හැක්ක. රජ දරු කෙනකුන් මුත් සෙස්ස වුන්ගෙන් ප්‍රයෝජන ත් නැත. බිම්සර මහ රජ්ජුරුවන්ගේ පුත් වූ අජාසත් කුමර නූපද ම පිය මහ රජුන්ට සතුරු හෙයින් කාට වුවත් සතුරු වන්ට නිසි ය. කවුරුන්ගේ ත් ගුණ අයුණු නො ද නිති. උන් හා එක් වෙමී’ සිතා කොසඹෑ නුවරින් රජගහ නුවරට ගොසින් බාල තරම් ඇති වන ලෙසින් ම කසුබු[2] වෙසක් මවා නයින් දෙන්නකු දෑත වෙළා නයින් දෙන්නකු දෙ පය වෙළා එකකු කර එල්වා ගෙන එකකු එකස් කොට එල්වා එකකු හකුළුවා සුම්මැඬියක් සේ ඉස තබා ගෙන අහසින් රජ ගෙට බැසලා අජාසත් රජ්ජුරුවන්ගේ ඔර හිඳ උන් බා ගොසින් තිගැස්සී බලා තෙපි කවුරු දැ යි විචාළ කල්හි ‘මම දෙවිදතැ’යි කියා ලා අජාසත් කුමරුන්ට භය හරවනු නිසා ඒ වෙස හැර මහණ වෙස මවා ඉදිරියෙහි සිට උන් පහදවා ගෙන නිරන්තර ව බත් කත් පන් සියයක් දක්වා ත් ලාභය උපදවා ගෙන ලාභ ය බොහෝ වූ පමණින් ‘මම බුද්ධරාජ්ජයට පැමිණ භික්ෂු සඞ්ඝයා පිරිමසමී’යි පවිටු සිතක් සිතා සසර පිහිටවනු ව ලැබ ගත් ගුණෙනුත් පිරිහී වෙළුවන වෙහෙර බුදුන් බණ වදාරන තෙනට ගොසින් වැඳ ලා දොහොත් මුදුනෙහි තබා ගන ස්වාමීනි, මුඹ වහන්සේ මාලුව ගිය සේක. ආයාස නො ගෙන වැඩ හුණ මැනව. ක්‍රම දැන ගත් බැවින් මම ගණ පරිහරණය කෙරෙමි. භික්ෂු සඞ්ඝයා මට පාවා දුන මැනවැ’යි කියා බුදුන් නො ගිවිසි හෙයින් නොසතුටු ව, සේරි වාණිජ ජාතකයෙහි රන් තළිය නිසා කළ වෛර ය මේ කපට පස් වන හෙයින් ඒ වෛර ය නවමු[3] කරන්නාක් මෙන් බුදුන් කෙරෙහි පළමු වෛර ය බැඳ බුදු සස්නෙහි රැඳුණු පමණක් මුත් මියන්ට ආසන්න වුවන් මළා නම් වන්නා සේ ශාසනයෙන් පිටත් වූ ය. බුදුහු ත් ඔවුන් ශාසනයෙන් පිටත් කොට හළ සේක.
තුමූ ත් හළ නියාව දැන ‘මහණ ගොයුම්හු අප හළ වූ ය. පිටත් ව ගත් බැවින් අනර්ථයක් ම කෙරෙමි’යි බුදුන් බුදු වීමට පැතුවා සේ ම මුනු ත් බුදුන් නසන්ට ම පස් කප මුළුල්ලෙහි පතා ආ හෙයින් අජාසත් රජහු කරා එළඹ කිරෙහි මුසු ව මුසුන් කිරි රස ය හරවා, දී රස ය කරවා ලන්නා සේ උන්ගේ කිරි රසයේ තුබූ යහපත් අදහස තමන්ගේ කිලන් රසයේ නපුරු අදහස හා එක් කරවා ගන්නා නිසා ‘හෙම්බා කුමාරයෙනි, පෙර උපන් මිනිසුන්ගේ ආයු ශක්ති ය ඇත. දැන් මිනිසුන්ට එ සේ නො වෙයි. බිම්සර රජුන් මියන තෙක් රාජ්ජය තකා හිඳු නම් අතුරේ කුමක් වනු බවත් නො දැනෙයි. එ බැවින් තෙපි තොපගේ පියාණන් මරා රාජ්ජය ලැබ ගනුව මම මහණ ගොයුම්හු මරා බුද්ධරාජ්ජ ය ලැබෙමී’ යටත් පිරිසෙයිනුත් සාරා සැකි කප් සුවහසක් පැරුම් පුරා ලැබ්බ යුත්තට ධ්‍යාන නැති ව බඹ ලොව පතන්නා සේ අහේතුක ව, දුහේතුක ව ඒ ජාතියෙහි නිවන් පතන්නා සේ බුද්ධරාජ්ජ ය පතා තමන්ගේ නියෝගයෙන් බිම්සර මහ රජුන් මරා උන් රජ පැමිණි කල්හි බුදුන් මරවනු ලෙසට අජාසත් රජ්ජුරුවන්ගේ දුනුවායන් ඉල්වා ගෙන බුදුන් විදිනට උන් යවා ඒ ගියවුන් බුදුන් විද ගත නො හී තමන්ට පිළිවක් ව සිටි කෙලෙස් සතුරන් විද මරා සෝවාන් ව ප්‍රාණ වද තබා පස් පව් ම කරන්ට නො නිසි වූ කල්හි ‘මාසේ වූ කෙණෙකුන් විනා අනික් කෙනෙකුන් මහණ ගොයුම්හුගේ මුහුණ දුටු වූ නම් අනර්ථ කට නො හෙති. මම් ම යත්නයක් කෙරෙමි’යි ගිජුකුළුවට නැගී ගලක් පෙරලා හෙළී ය.
ඒ ගල පිළිගන්ට පොළොව පළා ගෙන ගලක් නැඟී ඉන් ඊ පිට වැද ගෙන ගල් පපටිකාවක් ගොසින් බුදුන් පිටි පත්ලේ වැද ගෙන ලේ එක් තැන් ව ආනන්තර්‍ය්‍ය කර්‍ම පසින් ලොහිතුප්පාද ය සිද්ධ කිරීමෙන් අවීචි ගමන නියම කොට එ ලෙසිනු ත් බුදුන් මරා ගත නො හී නැවත මෙ තෙක් දවස් රා අට කලයක් බොන නාළාගිරි නම් ඇතු රා සොළොස් කළයක් පොවා මත් කර වා විහිදු වූ ය. ඔහු ගුගුරා ගෙන එන්නහු දැක අනඳ මහ තෙරුන් වහන්සේ ‘මා මරා නමුත් බුදුන් නො මරව’යි ජීවිත ය බුදුන්ට ම පුදා ඉදිරි ව ගොසින් සිට තමන් වහන්සේගේ පක්ෂ පාත කම් හැඟ වූ සේක. බුදුහු ඔබ පසු කොට ලා මොළොක් බස් නමැති බෙහෙදින් ඔහුගේ රා මත සන්හිඳුවා හික්මවා වදාරා අඳුන් කුලක් සේ කළු වූ ඇතු සදත් කුලෙහි ඇතකු සේ සුදු කරවා නුවරින් නික්ම වෙහෙරට වැඩ දහස් ගණන් උපාසකවරුන් ඇද රැස් කළ මහ දන් වළඳා එ දවස් රැස් වූ ඇතුළු නුවර වසන අටළොස් කෙළක් මිනිසුන්ට බණ වදාරා සුවාසූ දහසක් දෙනා නිවන් පුරයෙහි ලා වදාළ සේක.
“අනඳ මහ තෙරුන් වහන්සේගේ තරමක් බැලුව මැනව. නාළාගිරියා ගුගුරා පියා බුදුන් මරන්ට ආ කල්හි තමන් වහන්සේ පෙරටුව ලා සිටි සේකැ’යි වහන්දෑ උන් වහන්සේගේ කියන ගුණ අසා අනන්ත කාලයක පටන් ඇති ගුණ ම නියාව හඟවන පිණිස තමන් වහන්සේත් උන් වහන්සේ ත් හංස ව උපන් කලෙක සසර මළෙහි බැඳීම් නැතත් නිකම් මළෙහි බැඳුණු තන්හි අත් හැර නො ගිය නියාව දක්වන්ට චුල්ලහංස ජාතක ය ද මහා හංස ජාතක ය ද, තමන් වහන්සේ සාලින්‍දිය නම් බමුණු ගම බමුණු ව උපන් කල මුන් වහන්සේ කකුළු ව ඉපද කැවිඩිය ගේ දොළ පසිඳින්ට කවුඩාගේ නියෝගයෙන් නයකු තමන් වහන්සේගේ කෙණ්ඩ මස දෂ්ට කළ කල්හි ඇස් සාරන්ට ආ කවුඩා අල්වා ගෙන ඌ හඬන හඬ අසා ආ සර්පයා ත් අල්වා ගෙන නයි ලවා උපදෙසින් විෂය උරවා ගෙන උන් දෙන්නා ගේ ජීවිත ය නො නසා ත් තමන් වහන්සේගේ ජීවිත ය රැක දුන් නියාව හඟවන්ට සුවන් කකුළු දා ත් වදාළ සේක.
සෝවාන් රජ්ජුරුවන් මරා පී වත්, බුදුන් විදිනට දුනුවායන් මෙහෙයූවත්, හිසට ගල් පෙරලුව[4] ත්, වඤ්චා ලෙස කළ හෙයින් දෙවිදතුන්ගේ කටයුත්ත ඉතා ප්‍රසිද්ධ නො වී ය. මූ ම කොළෝ ය යි නො හැඟිණ. නාළාගිරින් මෙහෙයූ දවස් පටන් රජ්ජුරුවන් මැර වීමටත් බුදුන් විදිනට දුනුවායන් මෙහෙයිමට ත් මුල් වූවෝ දෙවිදත්තු ම ය. බුදුන් හිසට ගල් පෙරලුවෝ ත් මූ ම ය. රජ්ජුරුවන් වහන්සේ ත් මුන් සේ වූවන් හැර ගෙන ඇවිදිනා සේ කැ’යි කුලප්පම් කොළෝ ය. රජ්ජුරුවෝ ත් උන් හැම දෙනා ගේ කථා අසා තමන්ගේ නිවන් දැක්මට හේතු ව නසා ලූ වා සේම, දන් ද කඩවා රක්ෂාව ත් නසා ලා ළඟට ගමන ත් හළ වූ ය. සිඟා වන් කල බත් හුළක් පමණ ත් නුවර ඇත්තෝ නො ලා හළ වූ ය. ලාභ සත්කාර නැති ව ගොසින් රැකී ගන්නා මඟක් නැති ව කොවුන් කමකින් ජීවත් වෙමි’යි සිතා බුදුන් කරා ගොසින් ‘වහන්දෑ දිවිහිමියෙන් ම වල්හි ම වසන්ට ත්, කෙතෙක් ආරාධනා ඇත ත් සිඟා ගොස් මුත් නො වළඳන්ට ත්, පසුල් සිවුර විනා අන් සිවුරක් නොධරන්ට ත්, රුක් මුලකම මුත් සැතපෙන නිසා සෙනස්නකට නො වදින්ට ත්, දඩ මස් හා කුඩමස්සන් අනු භව නො කරන්ට ත් විධාන කළ මැනවැ’යි කියා, බුදුන් ඒ ගිවිස්ස. මනා දෙයක් නො වන හෙයින් නො ගිවිසි කල්හි ‘මම පිළිවෙත උත්කෘෂ්ට තරමෙක තබා කියමි. බුදුහු ඒ නොගිවිස්නා සේක. සසර දුක් ගන්නා කෙනකුන් රඳව. දුකින් මිදෙනු කැමැති කෙනෙකුන් මා හා කැටි ව අව මැනවැ’යි කියා ලා තුමූ සසර දුකට ම නියැලී තමන් හා එක් වූ කෙනෙක් ඇත් නම් උනු ත් සසර දුකට ම නියම කොට ලා නික්මුණාහ.
උන්ගේ බස් අසා අලුත මහණ වූ හෙයින් පිළිවෙත නො හසළ නුවණ මඳ සමහර තැනෙක් ‘දෙවිදත් වහන්සේගේ කථාව යඟපතැ’යි එක් ව නික්මුණු සේක. එ සේ නික්මුණු පන් සියය හැර ගෙන තමන් කියා ගත් වස්තු පස පෑ ලා නුවණ මඳ ලෝ වැස්සන් පහදවමින් සිඟා ලබන දෙයක් නැති ව ඉල්ලා කා ගෙන සමග සඞ්ඝයා වහන්සේ බිඳිනට උත්සාහ කොට ඇවිදිති. බුදුන් ඒ අසා ‘දෙවිදතිනි, එ සේ නො කරව. සඞ්ඝ භෙද ය නම් මහා වරදෙකැ’යි වදාළ ත් ඒ නො ගිවිස ඇවිදිනෝ එක් දවසක් අනඳ මහ තෙරුන් වහන්සේ සිඟා වඩනා ගමනේ දැක ‘හෙම්බා ඇවැත්නි, මම මෙ වක් පටන් බුදුනු ත් හැර බික් සඟුනු ත් හැර පොහෝ පවුරුණු ආදී වූ, සඞ්ඝ කර්‍ම කෙරෙමි’යි කිවු ය. අනඳ මහ තෙරුන් වහන්සේ ද එ පවත් බුදුන්ට දැන් වූ සේක. බුදුහු ‘අනේ දෙවිදතු කරණ දෙයක් ඉතා නපුරු නියා ය. එක ජාතියක් නිසා බොහෝ ජාති නස යි.
“සුකරං සාධුනා සාධු - සාධු පාපෙන දුක්කරං,
පාපං පාපෙන සුකරං - පාපමරියෙහි දුක්කරං”
යනු හෙයින් මේ කූශල ය සත් පුරුෂයන් විසින් සුව සේ කට හැකි පමණක් මුත් පාපීන් විසින් කොට ලිය හැක්කෙක් නො වෙයි. පාපීන්ට පාප ය නිරායාසයෙන් සිද්ධ ය. උත්තමයන්ට ඒ පාප ය සිද්ධ නො වෙයි. සෝවාන් වූවන් මුඛයෙහි රා වත් කළ ත් උගුරෙන් පාතට නො බස්නා සේ ම ය”යි වදාළ සේක. දෙවිදත්හු ද පොහෝ දවසෙක තමන්ගේ පර්‍ෂ ත් හැරගෙන එක සිමැ[5] එක් තෙනක හිඳ, යම් කෙනකුන්ට මා කියා ලූ වත් පස අභිප්‍රාය වූ නම් එ ලෙස පවති ත් නම් ළා පත් ගත මැනැවැ’යි පන් සියයක් විතර වහන්දෑ ශාසන ක්‍රම නොද ත් හෙයින් ළා පත් හැර ගත් කල්හි පෝය කිරීමෙන් සංඝ භෙද ය කොට ලා ඒ වහන් දෑ හැර ගෙන ගයා හෝ හිසට ගියහ. උන් ඊට ගිය නියා ව අසා කැටි ව ගිය වහන්දෑ තර ව එකෙක ඇලී නොයන තෙක් ගෙන් වා ගන්නා නිසා අග සවු දෙන ම යවා වදාළ සේක.
ඒ වේලාවට දෙවිදත්හු කෙමෙන[6] පිට මල් පුදන්නා සේ බණක් කියමින් හුන් තැනැත්තෝ ගිය අගසවු දෙ දෙනා වහන්සේ දැක සර්‍වඥ ලීලා දක්වා ‘ශාරිපුත්‍රයෙනි, පිට රෙදෙ යි[7]. මදක් සැතපී ගන්නා කැමැත්තෙමි. බණ කියව’යි අවසර දුන්හ. දුන් අවසරයෙන් දෙ දෙනා වහන්සේ වැඩ හිඳ කැණවිලුන් හැඬු තෙන සිංහ නාද පවත්වන කලක් මෙන් ආනුභාව දක්වමින් බණ වදාරණ සේක් සිරිංගි[8] වත් කළ වළඳ අමා වත් කරන්නා සේ අදහස් වෙන් කර වා නිවන් දක්වා ගෙන ඒ සඟ පන් සිය ය හැර ගෙන අහසින් නික්මුණු සේක.
නික්මුණු පසු උන්ගේ කොකාලික නම් අගසවුවාණෝ දෙවිදතුන් වැදහොත් තෙනට ගොසින් ‘ඇවැත්නි, දෙවිතිනි, නැඟී සිටුව. සැරියුත්-මුගලන් දෙන්නාගේ අදහස් නපුරු නියා ව අප කීවත්, අප බණ කිය නොහෙන්නා සේ බණ කියන්ට උන්ට අවසර පෑ පර්‍ෂත් හැර ගෙන ගියෝ ය. කීකරු කමක් නැත්තා නැ’යි කියා ලා උන් ගේ බුදු කම් ලෙසට ත්, තමන් ගේ අගසවු ලෙසටත්, වැදහොත් දෙවිදතුන් බොරු ලජ්ජාවට බොරු පිළියමක් සේ ලපැත්ත මධ්‍යයට දණහිසින් පහරක් දුන්හ. පහර තර ව ගොසින් ඉතිරි ව තුබූ ගිය වාග් දෝෂයක් ඇත් නම් නඟන කලක් පරිද්දෙන් කටින් හුණු ලේ නඟාපූ ය. වහන් දෑ ද සැරියුත් මහ තෙරුන් වහන්සේ සඟ පිරිස් පිරිවරා අහසින් වඩනා දැක බුදුන් ළඟට ගොසින් ‘ස්වාමීනි, සැරියුත් මහ තෙරුන් වහන්සේ වඩනා ගමනේ දෙනම පමණක් වැඩ, පෙරළා මොබ වඩනා ගමනේ සඟ පිරිස් පිරිවරා වඩනා නියා ව ඉතා යහපතැ’යි කී සේක. බුදුහු ඒ අසා වදාරා,-
“හොති සීලවතං අත්‍ථො - පටිසත්‍ථාර වුත්තිනං,
ලක්ඛණං පස්ස ආයන්තං – ඤාතිසඞ්ඝ පුරක්ඛතං,
අථ පස්සසි’මං කාලං - සුවිහීනං ච ඤාතිහි”
යනු හෙයින් “හෙම්බා මහණෙනි, ලක්ඛණ මිග ජාතක- යෙහි මා ත් තමනු ත් මුව ව උපන් කල පවා කාළ නම් මුව ව උපන් මුන් තමන්ට පාවා දී ලූ මුවන් නැසී දෙසී එක මුවකු ත් නැති ව තමන් ආව ත් ලක්ඛණ නම් මුව ව උපන් මුන් තමන්ට පාවා දී ලූ මුවන් ගෙන් එකකු ත් නොනසා තමන් මුවන් හැර ගෙන ආ නියා ව තිරිසන් ව කළ හෙයින් යහපත. එ කල කාළ නම් මුවාණෝ දෙවිදත්හු ය. ලක්ඛණ නම් මුවාණෝ සැරියුත් මහ තෙරහු ය’යි වදාළ සේක. නැවත වහන්දෑ ‘ස්වාමීනි, දෙවිදත්හු මුඹ වහන්සේ අගසවු දෙනම ඇළයේ ලා වැඩ හිඳ බණ වදාරන්නා සේ ම මුයි ත් තමන්ගේ කොකාලිකාදි අගසවු ව්‍යවහාර පමණක් ඇති ගැවියන් ඇවියන් ඇළයේ ලා ගෙන බණ කියන්නෝ වේ දැ’යි කී කල්හි-
“අපි වීරක පස්සෙසි - සකුණං මඤ්ජුභාණකං,
මයූරගීව සඞ්කායං - පතිං මය්හං සවිට්ඨකං.
උදකථල චරස්ස පක්ඛිනො – නිච්චං ආමක මච්ඡභොජිනො,
තස්සා’නුකරං සවිට්ඨකො - සෙවාලෙ පලිගුණ්ඨිතො මතො”
යනු හෙයින් ‘දැන් තබා මා දියෙහි ත් ගොඩෙහි ත් හැසිරෙන්නට සමර්ථ ව පක්ෂි ව උපන් කල මේ තෙමේ ත් සවිට්ඨක නම් පක්ෂිව ඉපද මා කළ කළ දෙය ම කෙරෙමී කියා සෙවෙලේ බැඳි මෙළේ වේ ද’යි මේ ජාතක කථාව ත් වදාළ සේක. නැවත නො එක් ලෙසින් වධයට උත්සාහ කළ නියා ව කී කල්හි කුරුඞ්ගමිග ජාතක - පරන්තප ජාතකාදි නොයෙක් ජාතකවල ම තමන් වහන්සේ මරන්ට නො එක් ප්‍රයෝග කළ නියාව ත් ඒ කළ ප්‍රයෝගයෙන් තමන් වහන්සේට වූ හානි නැති නියාව ත් වදාරා නැවත ලාභ සත්කාරයෙන් පිරිහුණු නියාව ත් ගුණ විශේෂයෙන් පිරිහුණු නියාව ත් කී කල්හි-
“අක්ඛි භින්නා පටො නට්ඨො - සඛී ගෙහෙ ච භණ්ඩනං,
උභතො පදුට්ඨ කම්මන්තො – උදකම්හි ථලම්හි ච”
යනු හෙයින් මුන් තමන් එක් ජාතියක දී කුඩ මස්සන් මරන්ට ගොසින් බිළී බෑ නියාව ත්, බිළිය කණුවෙක ඇවිළ ගත් නියා හෙයින් මහ මසකු යයි සිතා කඩ රෙද්ද ගොඩ තබා ලා දියැ කිමිද කණුවක් ඇස ඇණී ඇස් දෙක ම නට නියාවත් ගොඩ තුබූ කඩ අත්පත් ගා නො දක්නා හෙයින් මඟ යන කෙනකුන් හැර ගත් නියාව ත්, ගෙයි හුන් ඇඹේණියන් හා නැගණියන් ඩබරක් කොට තමන්ට ම දඩ හුණු නියාව ත්, යනාදීන් රජගහා නුවර දී බුදුහු දෙවිදතුන් අරභයා නො එක් ජාතක වදාරා ගල තල පිට වට වැසි සේ උන්ට ඉන් ප්‍රයෝජන නැත ත් උන් තමන් ගෙන් තමන් වහන්සේට ප්‍රයෝජන නැත ත් වදාළ බණින් බොහෝ දෙනාට බොහෝ ප්‍රයෝජන කොට වදාරා රජගහ නුවරින් සැවැත් නුවරට වැඩ දෙව්රම වැඩ වසන සේක.
දෙවිදත්හු ද නව මසක් මුළුල්ලෙහි ලෙඩ ව හෙව මියන අවස්ථාවෙහි බුදුන් දක්නා කැමැති ව තමන්ගේ සවුවන්ට ‘මම බුදුන් දක්නා කැමැත්තෙමි. මා දක්ව’ යි කිවුය. ‘මුඹ තර ව හිඳිනා සමයේ බුදුන්ට වෛරී ව වැස පියා දැන් දකින්ට සිතා ගත්තෙහිද? අපි නො ගෙන යම්හ’ යි කී කල්හි ‘මා නො නසව. මා කෙසේ වෛර කළ ත් බුදුන් මා කෙරෙහි කෙසඟක් පමණ ත් වෛරයක් නැත.
“වධකෙ දෙවදත්තම්හි - චොරෙ අඞ්ගුලිමාලකෙ,
ධනපාලෙ රාහුලෙ චෙව – සබ්බත්‍ථ සම්මානසො”
යනු හෙයින් ‘මේ සා මහත් අපරාධයක් කළ මා කෙරෙහි ත් මරා ඇඟිලි කපන්ට දිව ගෙන ආ අඟුල්මල් සොරහු කෙරෙහි ත්, එසේ ම මරන්ට දිව ගෙන ආ කාළගිරි පර්වතයක් සේ වූ නාළාගිරි නම් ඇතු කෙරෙහි ත්, රහල් කුමරුන් කෙරෙහි ත් ඒ බුදුහු සම අදහස් ඇති සේක. මාගේ වෛර ය නො කියා මා ගෙන ගොසින් දක්ව’යි නැවත නැවතත් කිවු ය. එසේ කී කල්හි මළවුන් ගෙන යන්නා සේ ම ඇඳක බැඳ ගෙන නික්මුණාහු ය. උන් එන නියාව වහන්දෑ අසා බුදුන් කරා ගොසින් ස්වාමිනි, දෙවිදත්හු මුඹ වහන්සේ දක්නට එමින් සිටියෝ ය’ යි බුදුන්ට දැන්වූ සේක. අසා බුදුහු ‘දෙවිදත්හු ඒ අත් බැවින් මා දැක්ක නො හෙතී” වදාළ සේක. එසේ වදාරන්ට කරුණු කිම යත් - යම් කෙනෙක් පඤ්ච වස්තු යාච්ඤා කොළෝ වී නම් ඔහු ඒ ජාතියෙහි දැක්ක නො හෙති. අසවල් අසවල් තැනට අවු ය යි කීව ත් ‘කුමක් කෙරේව යි ඌ මා දැක්ක නොහෙති’යි වදාළ සේක. සතර ගවුවක් තබා, දෙගවුවක් තබා අවු ය යි, පොකුණ බඩට අවු ය යි කීව ත් ‘දෙව්රම් වෙහෙර ඇතුළට ආ නමුත් ඌ මා දැක්ක නො හෙතී’ වදාළ සේක. දෙවිදතුන් ගෙනාවෝ ත් දෙව්රම් පොකුණ බඩ දී හැඳ බා තබා ලා පොකුණට නාන්ට බට වූ ය. දෙවිදත්හු නැඟී සිට දෙ පය බිම තබා හුන්හ. තබා ලූ දෙ පත්ලම පොළොවට වන. ක්‍රමක්‍රමයෙන් ගොප් මස දක්වා ය, දණ දක්වා ය, උකුළ දක්වා ය, තන මත්ත දක්වා ය, කර දක්වා ය යි මෙ සේ ගැලී නිකට දක්වා පොළොව ගැලුණු කලට-
“ඉමෙහි අට්ඨිහි තමග්ගපුග්ගලං
දෙවාති දෙවං නරදම්මසාරථිං,
සමන්තචක්ඛුං සතපුඤ්ඤලක්ඛණං
පාණෙහි බුද්ධං සරණං ගතො‘ස්මී”
යනු හෙයින් ‘සියලු ලොවට අග පුඟුල් වූ, සිය පින් ලකුණු ධරන බුදුන් සරණ යෙමි’යි මියන කල කට හෙළා ලන පැනිත්තක් මෙන් එවිට වුවත් සරණ සීලයෙහි පිහිටියහ. බුදුහු ත් මුන් මහණ කරණ සේක් ‘ඉදින් මේ ගිහි ව සිටියේ වී නම් බොහෝ අකුසල් රැස් කෙරෙයි. මත්තට පිහිටක් කට නොහෙයි. මහණ වී නම් කෙ තෙක් අකුසල් රැස් කෙළේ වී නමුත් මත්තට පිහිටක් කොට ගනිති’යි මෙ තෙන සලකා මහණ කළ සේක. මහණ ව මාලු පැවිදිවූ කෙනෙකුන්ට වුව සංඝ භෙද ය සිද්ධ වන්නා මහණ කළ හෙයින් වේ ද සඞ්ඝ භේද ය සිද්ධ වූයේ ය යි යත හොත් ගිහි වුව ත් ලොහිතුප්පාද කර්‍ම ය සිද්ධ වන හෙයින් සඞ්ඝ භෙදය සිද්ධ නුවූවත් කිම්ද? මත්තට කොට ගන්නා පිහිට නිසා මහණ කොට වදාළ හෙයින් ඔහු ද ඒ පිහිට කොට ගෙන මෙ කපට ලක්‍ෂයක් වන කප පසේ බුදු වෙති. සරණ සීලයෙහි පිහිටි පමණකින්ම පසේ බුදු වතොත් පසේ බුදු වීම අරුම නැති නියා වේ ද යත්-යට දෙයා සඞ්ඛ්‍ය කප් ලක්‍ෂයක පැරුම් පිරූ හෙයින් මේ ඊට නිවෙන පානෙක තෙල් වත් කළා සේ උපස්තම්භ වි ය.
දෙවිදතුන්ද පොළොව ගැල ගෙන ගොසින් අවීචියෙහිලා පිය. නිශ්චල වූ බුදුන්ට කළ අපරාධ හෙයින් නිශ්චලව පැසුණ මනා වේ දැ යි අවීචි නරකයෙහි උසත් සාර සියයක් ගවු හෙයින් දෙවිදත් අවධියේ මිටි වුව ත් අපරාධ උස් හෙයින් එ තරමට ම සාර සියයක් ගවු විතර උස ඇති වූහ. කන් සිළුව දක්වා උඩ යකබල ගැලී සිටී. පතුල් දෙක ගොප් අග දක්වා යට පොළොව ගැලී සිටි. මහ තල් කඳක් සාගිනි ගෙන දිළිසෙන යහුළෙක් බස්නා හිරි භිත්තියෙන් නික්ම අවුත් පිට දෙ මඬ ය පළා ගෙන බඳින් නික්ම නැඟෙන ගිරි දික් භිත්තියට වන. අනික් ඒ සා ම යහුළෙක් දකුණු දිග භිත්තියෙන් නික්ම අවුත් දකුණැ’ළ ය පළා ගෙන වමැ’ළයෙන් නික්ම උතුරු දිග භිත්තියට වන. අනික් යහුළෙක් මත්තේ ය කබලින් නික්ම හිස් මුදුන පළා ගෙන බඩ ඔස්සේ බැස[9] යට පොළොවට බට මෙ සේ නිශ්චලව පැසෙති. වහන්දෑ ද ‘දෙවිදත්තු මෙ තෙක් තැන් අවුදින් බුදුන් දැක ගත නො හී නරක ගිනි දකින්ට පොළොවට වන්හ’යි කථා ඉපදවූ සේක.
බුදුහු ‘මට අපරාධ කොට පොළොවට වන්නේ දැන් මතු නො වෙයි. යටගිය දවස ත් මට අපරාධ කොට පොළොවට වනැ’යි හඟවනු නිසා ඛන්තිවාද ජාතක - චුල්ලධම්මපාල ජාතකාදී නො එක් ජාතක වදාළ සේක. දෙවිදතුන් පොළොවට වන් කල්හි බොහෝ දෙන සතුටු ව ධජ පතාක නංවා, කෙහෙල් ගස් හිඳුවා, පුන් කලස් තබ්බවා, මහා උත්සව කරවූහ. වහන්දෑ එ පවත බුදුන්ට දැන්වූ සේක. බුදුහු ‘මූ මළ ගමනේ හැම දෙනා සතුටු වූයේ දැන් මතු නො වෙයි. යටගිය දවස මේ තෙමේ පිඞ්ගල නම් රජ ව චණ්ඩ පරුෂ ලෙසින් දවස් ගළවා මළේ ය. මළ පසු හැම දෙනා සතුටු ව උත්සව කළ දී වාසල රකිනා තැනැත්තෝ හඬති. හැම දෙන අවුත් ‘අප මෙතෙක් දෙනාගෙන් තාම හඬන්ට කාරණ කිම්දැ’යි විචාළ කල්හි ‘මා හඬන්නේ සෙස්සකට නො වෙයි. රජ ගෙන් පිටත් වන කල ටොකු තුනක් හා ඇතුළු රජ ගෙට එනකල ටොකු තුනක් හා දවස්පතා ටොකු සයක් කන හෙයින් මා හිසින් තර තෙනෙක් නැත.
‘යම රජ්ජුරුවෝ ත් මුන් දැක දුෂ්ට හෙයින් ඔබ ත් නො විකන්නා පෙරළා ත් මුබ එවති. දවස් ගණනේ සැතපී ගිය හිස පෙරළාත් සැතපෙන්ට නැති හෙයින් ඒ සිතා හඬමි’යි වාසල රකවල සිට තෙනැත්තවුගේ කථාව ප්‍රකාශ කොට පිඞ්ගල ජාතක ය වදාළ සේක. වහන්දෑ ද දෙවිදතුන් උපන් තැන් නො දැන ‘ස්වාමීනි, දෙවිදතුන් උපන්නේ කොයි දැ’යි වදාළ සේක. බුදුහු අවීචියෙහි උපන් නියාව වදාරා ‘මහණෙනි, පව් කළාහු තමන් කළ පව් සිහි වූයේ මෙ ලොව ත් තැවෙති. පර ලොව අනන්ත දුකට පැමිණ කයිනු ත් තැවෙති. සිතිනු ත් තැවෙති. පව් කළ වුන්ට මෙ ලොව පර ලොව දෙක්හි ම දෙවිදතුන්ට මෙන් කිසිත් සැපයක් නැතැ’යි බණ වදාළ සේක.
සමහර බෙහෙදක් බොන කල දුක මුත් බී පී කලට ලෙඩ නැති ව ඵාසු වන්නා සේ මේ වදාළ බණ ත් නරක දුක් හෙයින් අසන කලට දුක් වුව ත් අසා නිම වා බොහෝ දෙන නිවන් දුටහ.
සත් පුරුෂයන් විසින් හැම වේලේ ම මේ බණ සිත තබා තුන් දොරින් සිද්ධ වන අකුසලින් දුරු ව, කුසල් පුරා, ලොවී ලොව්තුරා සැප ත් නිරායාසයෙන් සිද්ධ කට යුතු.