177. එක්තරා කෙළෙඹියාණ කෙනෙකුන්ගේ වස්තුව

star_outline

තව ද ගෘහසන්නිශ්‍රිත ප්‍රේමයෙහි ආදීනව හඟවන්ට එක්තරා කෙළෙඹියාණ කෙනකුන්ගේ වස්තුව දක්වමු.

කෙ සේද යත් -

ඒ කෙළෙඹියාණෝ තමන්ගේ පුතණු කෙනකුන් මළ කල්හි පුත්‍ර ශෝකයෙන් පෙළී පුතණුවන් දවා පී සොහොන් බිමට ගොසින් එක් වන් හඬති. එසේ කොටත් ඒ තමා ශෝක සන් හිඳෙන කාරණයක් නො වන හෙයින් ශෝක ය තුනී කොට නොහෙති. නිශ්ශෝක වූ බුදුහු ද ලොව බලන සේක් උන් සෝවාන් වන්ට නිසි පින් ඇති නියාව දැන සිඟා වළඳා අන්තයෙහි පසු මහණ කෙනකුන් වහන්සේ ඇති ව උන්ගේ ගෙ දොරට වැඩි සේක. උයිත් බුදුන් වැඩි නියාව අසා මාගේ ශෝක නමැති ගිම් සදහම් නමැති වැසි වස්වා සන්හිඳුවනු නිසා වැඩි නියා ය’ යි බුදුන් වඩා ගෙන්වා ගෙ මැද හස්නකු ත් පනවා ලා බුදුන් වැඩ හුන් කල්හි අවුත් වැඳ එකත් පස් ව හුන්හ.

ඉක් බිත්තෙන් බුදුහු නොදත් බඳු ව ‘උපාසකයෙනි, මුසුප්පු වැනැ’යිවිචාරා ‘පුත්‍ර ශෝකය නිසාය’යි කී කල්හි ‘උපාසකයෙනි, ශෝක නො කරව. මේ මරණ නම් මැණික් ආකරවල් මුත් සෙසු තැන් මැණික් ආකර නො වන්නා සේ එක තැනක මුත් සෙසු තැන නැත්තෙක් නොවෙයි. අනුපධිශෙෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවියන්ට විනා සෙස්සන්ට නැත්තෙක් නො වෙ යි. මහා සම්මතාදී ආනුභාව සම්පන්න රජ දරුවනු ත් නොබැලී ය. කූට දන්ත-ජානුස්සොනි ආදී වෙද වෙදාඞ්ගයෙහි නිපුණ බ්‍රාහ්මණවරුනුත් නොබැලී ය. සෙනක-මහෞෂධ-විධුරාදි නුවණැත් තවුන් නො බැලී ය. යම් තාක් භවොත්පත්ති නුසුන් නම් ඒ තාක් නො නවත්තී. නිවන් විනා නිත්‍ය දෙයක් නැත. එ හෙයින් නස්නා සුලු දෙය නට යි නුවණින් සැලකිය යුතු ය. ශෝක කටයුතු නොවෙයි. පෙර නුවණැත්තෝ ත් පුතුන් මළ කල බිඳෙන සුලු දෙය බුනැ යි සෝක නො කොට මරණ සී භාවනාම කොළෝය’යි වදාරා ‘ස්වාමීනි, එලෙස භාවනා කොළෝ කවුරු දැ’යි, කවර කලෙක කොළෝ දැ’යි කෙළෙඹියාණන් විචාළ කල්හි ඉකුත් වත භස්ම ප්‍රච්ඡන්න ජාත වෙදයක් සේ සැඟවී තුබුවා ගෙන හැර දක් වන සේක්-

‘උරගොව තචං ජිණ්ණං – හිත්‍වා ගච්ඡති සංතනුං,

එවං සරීරෙ නිබ්භොගෙ - පෙතෙ කාලකතෙ සතී.

ඩය්හමානො න ජානාති - ඤාතීනං පරිදෙවිතං,

තස්මා එවං න සොචාමී - ගතො සො තස්ස යා ගති’.

යනාදීන් ගාථා පසකින් හෙබියා වූ උරග ජාතක ය විස්තර කොට වදාරා ‘තෙපි යම් සේ කළ මනා කර්මාන්ත ත් හැරපියා කෑම් පීමුත් නැති ව හඬවු ද වැලපෙවු ද පෙර නුවණැත්තෝ එ ලෙස නොකොට මරණසී භාවනා මෙනෙහි කිරීමෙන් ශෝක දුරු කළහ. තෙපිත් එ ලෙසෙ ම කරව. තොපට උපන් මේ ශෝකය නම් තොපගේ පුතණුවන් නිසා ම උපන. වෘත්තමූලක වූ ශෝකයෙක් උපදී නමුත් භයෙක් උපදී නමුත් ප්‍රිය වූ සත්‍ව සංස්කාර දෙකින් එකක් නිසා ම උපද්දි. යම් කෙනකුන්ට කිසිවෙක ත් ප්‍රිය භාවය නැත් නම් උන්ට ශෝකත් නැත. භය ත් නැත. තන් මුඛයෙන් වෘත්තමූලක වූ ශෝකයෙක් සියල්ල ම නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර කෙළෙඹියාණෝ ශෝක ත් තුනී ව සෝවාන් වූහ. තවත් එ තැනට පැමිණියවුන්ට සප්‍රයෝජන වී ය. පස්වා දහස මුළුල්ලෙහි ත් බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වෙ යි.

එහෙයින් සත් පුරුෂයන් විසින් පුත්‍ර ශෝකාදියට ත් වඩා කුසල් පිරිහේ නම් ඊට ශෝක කොට අකුසල් සිද්ධ වේ නම් ඊට භය ඇති ව සසර දුක් ගෙවන්ට උත්සාහ කටයුතු.