176. තුන් පිය පුත් මා කෙනකුන්ගේ වස්තුව

star_outline

තව ද ගෘහසන්නිශ්‍රිත ප්‍රේමයෙහි නපුර හඟවනු නිසා තුන් පිය පුත් මා කෙනකුන් ගේ වස්තුව කියමු.

කෙසේද යත් -

සැවැත් නුවර එක් දෙ මාලු කෙනකුන්ගේ නිවාලූ නො වන ලෙසට එකම පුතණු කෙනෙක් වූහ. ඌ තුමූ මවු පියන් දෙ දෙනාට රහතන්ට නව ලොවුතුරා දහම් මෙන් ප්‍රියයහ. ඌ තුමූ එක් දවසක් ආරාධනාවෙන් අවුත් තමන්ගේ ගෙයි දී වැළඳූ වහන්දෑගේ අනුමෙවෙනි බණ අසා ඇවිටියක් සේ මහණ වීමෙහි රුචි ඇති ව දෙමවුපියන්ට අනුදන්ට කීහ. එක ම පුතණුවන් හෙයින් දෙමවුපියෝ අනු නොදත්හ. කුමාරයෝ ද ‘දෙමවුයන්ට නො කියා ම ගොසින් මහණ වෙමි’යි සිතූහ. උන්ගේ පියාණෝ ද බෑරක් යන්නෝ තමන් බෑර යන කල ඔබ්බට ද යා දෙන්ට මෑණියන්ට සම්මත කොට ලා යෙති. මෑණියෝ බෑර යන කල පියාණන්ට සම්මත කොට ලා යෙති.

එක් දවසක් පියාණෝ බෑරක් යන්නෝ මෑණියන්ට සම්මත කොට ලා ගියහ. උයි ත් පුතණුවන් ගෙය ඇතුළේ ලා ලා බා කකුලෙක වැතිර ගෙන එක බා කකුලෙක පස් ගන්වාලා දොර කඩ අවුරා බිම වැද හිඳ හූ කටිති. කුමාරයෝ ද, මුන්දෑට වළහා පලා යෙමි’ සිතා ‘අම්ම, පය මඳක් ඉවත් කොට ගන්නේ. ශරීරකෘත්‍යයට යෙමී’ කියා ලා සැබෑ දෝ’යි සිතා ලා උනු ත් පය හකුළුවා ගත් කල්හි ගෙන් පිටත් ව වහා ම විහාරයට ගොසින් වහන්දෑට ‘මා මහණ කළ මැනැවැ’යි කියා දෙමවුපියන් අනුනොදත්තවුන් මහණ නො කරන්ට විධානය නු වූ හෙයින් නොහොත් බොරු කියා ලා ආ තැනැත්තවුන්ට බොරු කීමෙහි බැරියක් නැති බැවින් අනුදත්ත යි බොරු කියා හෝ වහන්දෑ ළඟ මහණ වූහ. උන්ගේ පියාණෝ ද ගෙට අවුත් ‘ම පුතු කොයි දැ’යි විචාරා ‘තෙල සේ ගියෝ ය’යි කී කල්හි ගොසින් බලනුවෝ එ තැන්හි නො දැක ආදි ම මහණ කරන්ට කී බැවින් මහණ වන්ට ගිය නියා වනැ’යි වෙහෙරට ගොසින් වෙස් වළන්ට අනික් වෙසක් ගත්තා සේ මහණ වූවන් දැක ‘පුතණ්ඩ, මේ කුමක් කළ නියා දැ’යි හඬා පියා ‘ම පුතුන් මහණ වූ කල මම ගෙයි රඳා කුමක් කෙරෙම් දැ’ යි වියෝග ය ඉවසා ගත නො හී වහන්දෑට කියා ලා තුමූත් මහණ වූහ.

මෑණියෝ ද දෙ පුතු පියන් කල් යවන හෙයින් ‘කුමක් දෝ හෝ යි, විහාරයට ගොසින් මහණ වූ නියා දෝ හෝ” යි තුමූ ත් විහාරයට ගොසින් සැදෑයෙකින් නොව රට සරියට වුවත් මහණ වූ දෙ පුතු පියන් දැක ‘මුන් දෙන්න මහණ වූ කල මා ගිහි ව රැඳීමෙන් ප්‍රයෝජන කිම් දැ’ යි තුමූත් මෙහෙණවරට ගොසින් මෙහෙණිනි වූහ. ගෙවල් දොරවල් හැර මහණ වූ බව මුත් ඔවුනොවුන් කෙරෙහි ප්‍රේම ය අවශ්‍යයෙන් හළ මනා වූවා හැර ගත නො හී වෙහෙර වුවත් මෙහෙණවර වුවත් එක් ව හිඳ කථා කෙරෙමින් දවස් යවති. භික්ෂු-භික්ෂුණී දෙපක්‍ෂයට ම මුන් තුන් පක්‍ෂයේ තරම් නිසා මහා අට්ටල.

එක් දවසක් වහන්දෑ ඉවසා ගත නො හී මුන්ගේ මේ කටයුත්ත බුදුන්ට දැන්වූ සේක. බුදුහු ත් ඒ තුන් පක්‍ෂය ගෙන්වා ලා ‘සැබෑ ද? තෙපි මෙ ලෙස කරවු දෑ’ යි විචාරා සැබැවැ යි කී කල්හි ‘තෙල ලෙස කුමට කරවුද? මහණ සරුප් නො වෙ’යි වදාළ සේක. ස්වාමීනි, වෙන් ව වැස පිය නො හෙම්හ. මහණ වූයේත් විවේක ව වසන්ට නොවෙයි. වෙන් ව විසිය නොහී ය’ යි කී කල්හි ‘ගිහි අවස්ථාවෙහි කෙලෙස වුව ත් මහණ වූවන්ට තෙලෙ සරුප් නො වෙයි’ වදාරා උන් තුන් පක්‍ෂයට කුමක් වුවත් සම්ප්‍රාප්ත පර්‍ෂදට ප්‍රයෝජන සඳහා බණ වදාරන සේක් ‘යම් කෙනෙක් තුමූ මහණ සරුප් නො වන දෙයෙහි යෙදී වෙසෙත් ද, යෙදුණ මනා සමථ විදර්ශනාදියෙහි නො යෙදෙත් ද, මහණ වූ තැන් පටන් ත්‍රිවිධ ශික්‍ෂා පූරණ ය හැර පියා පස්කම් ගුණ සෙවුණාහු තමන්ගේ ඒ දුෂ්ට ප්‍රතිපත්තීන් ශාසනයෙන් පිරිහී පියා ශාසනිකව මහණ ධම් සකසා කොට දෙවි මිනිසුන්ගෙන් ලාභසත්කාර ලබන තැන් දැක ආඳා යවා ලා වල් පත ඇල්ලුවා සේ ‘අපි ත් මෙ බඳු වූ මෝ නම් යහපතැ’ යි නො එක් ලෙසින් පිරිහී ලා සිට එ බන්දක් කැමැති වෙති. එ හෙයින් කිසි කලෙක ත් ප්‍රිය අප්‍රිය දෙ පක්‍ෂ ය හා එක් නො වව.

කාරණ කිම් ද යත්-ප්‍රිය විප්‍රයෝගය ත් දුක. අප්‍රිය සම්ප්‍රයෝගයත් දුක. යම් හෙයකින් මේ දෙකම දුක් ද, එසේ හෙයින් කිසිවෙකත් ප්‍රේම කටයුතු නොවෙයි. ප්‍රිය විප්‍රයෝගය නිසා වන දුකුත් අප්‍රි ය සම්ප්‍රයෝග ය නිසා වන දුකු ත් ලාමක ය. ඒ නපුරු හෙයින් කාරණ වූ ප්‍රියවිප්‍රයෝග අප්‍රිය සම්ප්‍රයෝග දෙක ත් ලාමක ය. යම් කෙනකුන්ට කිසිවෙක ත් ප්‍රේම නැත් නම් උන්ට අභිධ්‍යා කාය ග්‍රන්ථ ය ප්‍රහීණ ය. යම් කෙනකුන්ට සත්‍ව සංස්කාර දෙකෙහිම අප්‍රියතාව නැත් නම් ව්‍යාපාද කාය ග්‍රන්ථ ය උන්ට නැත. මේ දෙක යම් කෙනකුන්ට නැත් නම් ලක්‍ෂණ භාර නයින් අනික් කාය ග්‍රන්ථ දෙකත් උන්ට නැත. එහෙයින් අනුනය ප්‍රතිඝ දෙක කළමනා දෙයෙක් නො වෙ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

අර මූ තුන් පිය පුතු මවු ද එ තෙක් බණ වදාළ ත් ගල තල වට වැස්සෙන් ප්‍රයෝජන නැත්තා සේ එ බණින් ප්‍රයෝජන නැති ව වෙන් ව වැස ගත නො හී සිවුරු හැර පියා භූරිදත්ත ජාතකයෙහි වැදි බමුණා නාග සම්පත්තීන් පිරිහී කළු දෑකඩ ම හන් සේ දුඃඛ ජීවිකාවකට පැමිණියහ.

එ හෙයින් සත්පුරුෂයන් විසින් නො කළ මනා දෙය විෂ ඝොර සර්පයන් මෙන් දුරු කොට කළ මනා දෙය අධිගත ගුණ මෙන් අත් නො හැර මනා පිළිවෙත හැසිර නිවන් දහම් පසක් කට යුතු.