175. සක් දෙවිඳුහු ගේ වස්තුව

star_outline

තව ද ගිලන් තැනට පිරිසිදු අදහසින් උපස්ථාන කිරීමෙහි යහපත දක්වා උත්සාහ වඩනා නිසා සක් දෙවිඳු ගේ වත කියමු.

කෙ සේ ද යත් -

බුදුන් පිරිනිවන් පානා අවධියෙහි රක්තාතීසාර ය ඇති වූ නියාව දැන සක් දෙවිඳු තෙමේ ‘මම ගොසින් බුදුන්ට මෙහෙයක් කෙළෙම් නම් යහපතැ’යි සිතා සිතිවිලි මහත් හෙයින් අත්බැව කුඩා කරන්නා සේ තුන් ගවු පමණ අත් බැව් හැර මිනිස් ලොවට තරම් අත් බැවකින් යුක්ත ව බුදුන් කරා අවුත් වැඳ ලා පය මැඬ මැඬ හුන්හ. බුදුහු ත් නො දන්නාක් මෙන් ‘තොපි කවුරු දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, මම සක් දෙවිඳු ය’යි කිවු ය. ‘කුමක් නිසා අවුදැ’යි විචාළ කල්හි ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ ලෙඩ බලන්ට අයිමි’යි කිවු ය. ඒ අසා බුදුහු ‘හෙම්බා ශක්‍රයෙනි, දෙවියන්ට මිනිසුන්ගේ ශරීර ගන්‍ධ ය සාර සියයක් ගවුවේ පටන් කර බන් කුණක් මෙන් ඇසෙ යි. තොපි නැඟී යව. මට ගිලන් උවටා කම් කරන්නෝ ඇතැ’යි වදාළ සේක.

සක් දෙවිඳුහු ‘ස්වාමීනි, මම මෙ තැනට තුන් ලක්‍ෂ සතිස්දහසක් ගවු විතරේ සිටියෙමි. මුඹ වහන්සේගේ ගුණ සුවඳ අසා අත් පා මෙහෙයක් කිරීමෙන් පින් විලෙවුන් ගන්නා පිණිස අයිමි. සසර දුක් නමැති කුණු පැටි කොට පින් විලෙවුන් ගත දුන මැනව. ඊට බාධා නො කළ මැන වැ’යි කියා ලා අනික් කෙනකුන්ට අවසරයක් නො පෑ අනඳ මහ තෙරුන් වහන්සේ පමණකු ත් එ දවසට වැද්ද නොදී ශරීර කෘත්‍යයට වැඩි විල් හිස තබා ගෙන ගොසින් බානාහු මූණ හැකිළීම් පමණකුත් නො කළහ. සුවඳ පුරා ලූ කරඬුවක් හිස තබා ගෙන යන කෙනකුන් මෙන් වූහ. මෙලෙස පිළිපැද ලා බුදුන්ට ගුණ ව ගත් කල ම ගියහ.

වහන්දෑ ද ‘ඇවැත්නි, ශක්‍රයන්ගේ බුදුන් කෙරෙහි භක්තියක් බලව. මේ තරම් වූ ශක්‍රසම්පත් හැර අවුත් මූණ හැකිළීම් පමණකුත් නො කොට සුවඳ පිරූ කරඬුවක් හිස තබා ගෙන යන්නා සේ විල් බෑවූ ය’යි කථා ඉපැද වූ සේක. බුදුහු ඒ අසා වදාරා ‘මහණෙනි, කුමක් කියවු ද? ශක්‍රයන් මට ලෙන් ගතු වීම මා කළ තරමට විස්ම ය නො වෙයි. මුන් තමන් තුන් කෙළ සැට ලක්‍ෂයක් හවුරුදු පමණ ආයු ත් නිමා ගොසින් මරණ භයින් තැති ගෙන පඤ්චසිඛයන් පෙරාතු කොට ලා බොහෝ දෙවියන් පිරිවරා ඉඳුහල් ලෙනට ආවවුන්ට -

“පුච්ඡ වාසව මං පඤ්හං - සං කිඤ්චි මනසිච්ඡසි,

තස්ස තස්සෙව පඤ්හස්ස - අහං අන්තං කරොමි තෙ”

යනාදීන් බණ කීමි. බණ කෙළවර තුදුස් කෙළක් දෙවියෝ නිවන් දුටහ. ශක්‍රයෝ ද සෝවාන් වීමෙන් සසර දුකු ත් ගෙවා තුන් කෙළ සැට ලක්‍ෂයක් හවුරුද්දට ආයු ලදින් ශක්‍ර සම්පත් තර කළහ. මෙ බඳු උපකාරයක් කළ මට මුන් මෙ පමණක් කිරීම විස්ම නොවෙයි. මා කළා සේ තව ත් පන්සාළිස් හවුරුද්දට ආයු ගෙන දී ලූ නම් ඒ විස්ම ය උන් කට නුහුණු කළ අත් පා මෙහෙ පමණක් කරන්ට බැරි කවරේ දැ’යි වදාරා බණ වදාරන සේක්- ‘මහණෙනි, බුද්ධාදී උත්තමයන්ගේ දැකීම් පමණකුත් යහපත. යහපත් නියාව අනික් පිණක් නැති ව දුටු පමණින් ම මට්ටකුණ්ඩලීන් ලත් ලොවී ලොවුතුරා සැපතින් දනුව. හුදෙක් දැකීම් පමණක් ම යහපත් නො වෙයි. ඒ සත් පුරුෂයන් හා එක් තැන් ව විසීමත් උන්ට උපස්ථාන කිරීමත් කැල ම යහපත. උත්තමයන්ගේ දැක්ම යහපත් සේ ම නුවණ නැත්තවුන්ගේ නො දැක්ම යහපත. දෙවදත්ත-කෝකාලිකාදීන් මෙන. යම් කෙනෙක් නුවණ නැත්තවුන් හා එක් වූ නම් එක් වූ පමණෙකින් බොහෝ දුකට මුළාවට පැමිණෙති. සතුරු ව සිටියවුන් හා එක්ව කරන වාසයක් මෙන් නුවණ නැත්තවුන් හා එක් ව විසීම ත් හැම දවස් ම දුක. හිත මිත්‍රයන් හා කරන ගොෂ්ඨියක් මෙන් නුවණැත්තවුන් හා එක්වීම මෙලෝ පරලෝ දෙකින් ම යහපත.

යම් හෙයකින් බාලයන් හා එක් වීමෙන් දුකක් මුත් සැපයෙක් නැත් ද, නුවණැත්තවුන් හා එක්වීමෙන් යහපතක් මුත් නපුරෙක් නැත් ද, එ හෙයින් අහස භජන ය කරන සඳ පරිද්දෙන් කායික චෛතසික වීර්‍ය්‍ය ඇති ලොවී ලොවුතුරා නුවණින් යුත් ආගම-අධිගම දෙකින් ම අඩුවක් නැති බොහෝ ඇසූ පිරිවූ තැන් ඇති ව අර්හත්‍ව ය දක්වා පමුණුවා ලන විවසුන් ධුරය උසුලන්නා වූ සිවු පිරිසුදු සිල්හි පිහිටි ත්‍රයොදශ ධුතඞ්ග පූරක වූ කෙලෙසුන් කෙරෙන් දුරු ව වසන සත් පුරුෂයන් භජන ය කරව’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් අකුසලින් දුරු වන්නා සේ අසත් පුරුෂයන් කෙරෙන් දුරුව කුසල්හි පිහිටන්නා සේ සත් පුරුෂයන් හා එක් ව උන්ගේ අවවාදයෙහි පිහිටා නිවන් සාදා ගත යුතු.