තව ද විවෙක වාසයෙහි යහපත හඟවන්ට තිස්ස නම් තෙර කෙනකුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙසේද යත් -
තිලෝගුරු බුදු රජාණන් වහන්සේ සාර මසක් විතරින් පිරිනිවන් පාමියි වදාළ කල්හි ළඟ වැඩහුන් පුථුජ්ජන වහන්දෑගෙන් පන්සියයක් දෙනා වහන්සේ මුසුප්පු වූ සේක. රහතන් වහන්සේට භය නැති හෙයින් ප්‍රත්‍ය ය සමුප්පන්න ධර්‍ම විෂයෙහි භයාකාර ව උපදනා නුවණ උපන. පුථුජ්ජන වහන්දෑ හඬා පියා මුළු ව ගෙන කුමක් කරමෝ දැ’යි කථා කළ සේක. ඉන් තිස්ස නම් තෙරුන් වහන්සේ බුදුහු සාර මසක් විතරින් පිරිනිවන් පානා සේක් ල. මම ද වැළිත් භවක්‍ෂය කට නුහුණුයෙමි. සාර මසක් විතර හෙයින් බුදුන් ජීවත් වන අවධියේ ම රහත් වන්ට කලු ත් ඇත. මාගේ ප්‍රතිපත්ති සාර කම බුදුනුත් දත මනා වේ දැ’යි සතර ඉරියවුවෙන් එක් ඉරියවුවෙකත් ගණසඞ්ගනිකා නැතිව විවෙකවාසයට පටන් ගත් සේක. විවෙක වාසයට ම තර හෙයින් වහන්දෑ ළඟට ගමනෙක් වේව යි කථාවෙක් වේව යි නැත. වහන්දෑ ද මුන් වහන්සේ වෙන් ව ගෙන ඇවිදිනා හෙයින් කුමක් කොට ඇවිදිනා නියා දැ යි විචාරන සේක. වහන්දෑ කුමක් කීව ත් කථා කිරීම කරන භාවනාවට විබන්ධ හෙයින් බැණ නො නැඟෙන සේක.
වහන්දෑ ද එ පවත් බුදුන්ට දන්වා ලා ස්වාමීනි, තිස්ස තෙරුන් වහන්සේ මුඹ වහන්සේ කෙරෙහි මමායනයක් නැති සේ කැ’යි කී සේක. බුදුහු ත් උන් වහන්සේ කැඳවා ලා ‘කුමක් නිසා මෙ ලෙස කරවුදැ’යි විචාරා උන් වහන්සේ ත් තමන් වහන්සේගේ පවිත්‍ර වූ අදහස කී කල්හි තුන් විටක් විතර සාධුකාර දෙවා වදාරා ‘යම් කෙනෙක් මා කෙරෙහි ස්නේහ ඇත්තෝ වූ නම් තිස්සයෝ උන්ට පිටත් නො වෙති. සුවඳ මල් ආදියෙන් කරන තරමට පිළිවෙතින් කරන පූජාවම බලවතැ’යි වදාරා බණ වදාරන සේක්- ගණ සඞ්ගනිකාවෙන් වෙන දුක් හැර විවෙක වාස ය නිසා වන ඵාසුව දඑ ම මුල් ව ලබන නිවන් රස ය ද අනුභව කොට රහත් වූ මහණ රාගාදි පීඩා නැති ව එහෙයින් ම නිෂ්පාපී ව නව ලොවුතුරා දහම් ප්‍රීති රස ය විඳී’යි වදාළ සේක. දේශනා කෙළවර තිස්ස තෙරුන් වහන්සේ විවෙක වාස ය සාර්ථක කොට රහත්වූ සේක. මේ දේශනාව බොහෝ තැනට ත් සප්‍රයෝජන වි ය.
එ හෙයින් නුවණැත්තවුන් විසින් ගණසඞ්ගනිකාවෙන් දුරු ව විවේක වත් පුරා ලොව්තුරා සැප සිද්ධ කටයුතු.
_________