173. පසේනදී කොසොල් රජ්ජුරුවන්ගේ වත

star_outline

තව ද ආරෝග්‍යතාව උතුම් ලාභ නියාව හඟවන්ට පසේනදී කොසොල් රජ්ජුරුවන් ගේ වත දක්වමු.

කෙ සේ ද යත් -

ආද්‍යවස්ථාවෙහි දී ඒ රජ්ජුරුවෝ මගධ නැළියෙන් සාල් සොළොස් නැළියක බත්, ඒ බත් කා පියන්ට සෑහෙන තරම් මාළුවෙන් යුක්ත කොට අනුභව කෙරෙති. ඒ රජ්ජුරුවෝ එක් දවසක් පෙරවරු බත මේ නිමවා ලා භුක්තාලස්‍ය ය හැර නො ලා බුදුන් ළඟට ගොසින් ආහාරානුභව ය බොහෝ හෙයින් මිරිකී පියා ඈත මෑත පෙරළෙමින් ඇසට නිඳි එත ත් ඉඳුරා නිදා පියා ත් නො හී එකත් පස් ව හුන්හ. බුදුහු ත් ඒ දැක වදාරා ‘කුමක් ද? මහ රජ, මදක් සැත පි නො පියා අවු දැ’යි වදාළ සේක. ‘එසේ ය. ‘ස්වාමීනි, බත් කෑ වේලේ පටන් දුක් බොහොම ය යි කිවු ය. බුදු රජුන් වහන්සේ ද, ‘මහරජ, ඇතැ යි කියා පමණ නො දැන බොහෝ කොට අනුභව කිරීම යහපත් නො වෙයි.

මනුජස්ස සදා සතීමතො - මත්තං ජාසතො ලද්ධභොජනෙ,

තනු තස්ස භවන්ති වෙදනා - සණිකං ජීරති ආයුපාලයං.

යනු හෙයින් ‘මහරජ, පමණ දැන අනුභව කිරීම යහපතැ’ යි වදාළ සේක. රජ්ජුරුවෝ අනුභවයෙහි පමණ නොදන්නා සේ ම වදාළ අවවාදය ත් දත නුහුණුවූ ය. ළඟ සිටි සුදසුන් නම් බෑනණුවන්ට ‘අවවාද විසින් වදාළ තෙලෙ ගාථාව සිත තබා ගනුව’යි කිවු ය. උයි ත් තමන් නුවණැති හෙයින් එකශ්‍රැතීන් ගාථාව ඉගෙන ගෙන ‘ස්වාමීනි, ඉනිබ්බ කුමක් කෙරෙම් දැ’යි බුදුන් විචාළේ ය. බුදුහු ත් ‘රජ්ජුරුවන් බත් කා නිමවා ගෙන ගොසින් කෙළවර ආලොප ය කට තබන කලට තෙලෙ ගාථාව කියව. ආදි එකට කියා ලූ හෙයින් අර්ථ ය නුහුනු ත් දෙ වෙනි ව අර්ථ සලකා පියා කෙළවර ආලොපය අතට ගත් වුවත් හැර පියති. ඒ ආලොපයෙහි හුළු ගැණ ලා රජ්ජුරුවන්ට බත් පිසන වේලේ දී හළ බත් ආලොපයෙහි උළු විවරට හාලැට හරවා ලව’යි වදාළ සේක. උයි ත් ‘යහපතැ’යි ගිවිස දවාලු ත් රෑත් රජ්ජුරුවන් බත් කන වේලේ දී කෙළවර ආලොප ය අතට ගත් වේලාට ඒ ගාථාව කියාලා හළ පිඬෙයි හුළු ගණනට දවසින් දවස සාලැට හරවති. රජ්ජුරුවෝ ද ගාථාව අසා බෑනණුවන්ට දහසක් දෙවා ලති. පසුව කල් යෑමක දී එක විට නොව ක්‍රම ක්‍රමයෙන් බොහෝ කොට කෑම හළ හෙයින් නිරායාසයෙන් ම අල්පාහාරීව සාල් නැළියෙක බත් පමණකින් යපෙනු ව බඩත් කුඩා ව ගොසින් සැහැල්ලු ව ගත්හ.

ඉක්බිත්තෙන් එක් දවසක් බුදුන් ළඟට ගොසින් බුදුන් වැඳ ලා ස්වාමීනි, දැන් මට ඉතා පහසුව. දුවාලියේ ලා ලූ අසුන් වත් ලුහුබඳවා ගෙන ගොසින් අල්වන්ට පිළිවන. පෙර දිවන්නා තබා බඩ මහත් හෙයින් සෙමින් සිට ගමන ත් බැරි ය. පෙර මාගේ බෑන අජාසත් රජ්ජුරුවන් හා ගමක් නිසා නීති සටන. දැන් මාගේ වජිර කුමාරි නම් දුවණියන් උන්ට පාවා දෙවා ලා ඒ ගමත් උන්ට දායාද කොට දෙවා ලීමෙන් සටනු ත් තිබී එලෙසිනුත් වූයේ පාසුව. සක් දෙවිඳු කුස රජ්ජුරුවන්ට දුන් අට තැනකින් වක් වූ මැණික රජ පරම්පරාවෙන් නැවත අවුත් මා සමයේ ආදි අපවත් ව තිබී ලා දැන් පවත්වි ය. එයි ත් එක් පාසුවෙක. මුඹ වහන්සේගේ සවුවන් වහන්සේ හා ගණ සම්බන්‍ධ ය නිසා මුඹ වහන්සේට නෑ ව සිටි වාසභඛත්තියාවනු ත් අගමෙහෙසුන් කෙළෙමි. හැමයට වඩා එයි ත් එක ඵාසුවකැ’යි කීහ.

බුදුහු ද උන් පදපරම වුව ත් උන්ට බණ වදාරන සේක් ‛යම් කෙනෙක් රෝගීහු වූ නම් උන්ගේ කෙතෙක් සම්පත් ඇතත් ඒ ප්‍රයෝජන විඳගන්ට නැති හෙයින් ඒ ලාභ ය අලාභයක් හා ම සරි ය. යම් කෙනෙක් නිරෝගීහු වූ නම් සෙසු සම්පත් ඊ ම ආ හෙයින් නිරෝගී බව උතුම් ලාභ ය. ගිහි කෙනෙක් වත් ශාසනික කෙනෙක් වත් යහපත් වුව ත් නපුරු වුව ත් ලද දෙයකින් සතුටු වෙත් නම් අනිකක් නොපතත් නම් ලොවී ලොවුතුරා සැපත් සාදා දී මෙහි එ තරම් වස්තුවක් නැති හෙයින් ඒ සන්තෝෂ ය උතුම් ධනයෙක. දෙමවුපිය නැදි මයිල් මල් බෑ නං ආදී වූ නෑයෝ හිත අදහස් නැත්තෝ වූ නම් ඌ නෑයෝ නම් නොවෙති. යම් කෙනෙක් නො නෑයන් වුවත් හිතයෝ වූ නම් ඌ අවශ්‍යයෝ නම් වෙති. තොප කියා ලූ සැප මුළුල්ලට ම නිවන් සම්පත් ඉතා සැප ය’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන්–සෙදැගැමි-අනැගැමි-රහත් වූහ.

එ හෙයින් සත්පුරුෂයන් විසින් ආරෝග්‍යතාව ම උතුම් ලාභ කොට සිතා ගෙන ලද දෙයකින් සතුටු වීම් ධනකොට සිතා ගෙන මේ ලෝ පර ලෝ වැඩ සාධා ලීමෙහි හිතයන් ම නෑයන් කොට සිතා ගෙන අකුසලින් දුරු ව කුසල්හි හැසිර නිවන් සාදන්ට උත්සාහ කටයුතු.