තව ද බුදුන්ගේ කාරුණික කම හඟවන්ට එක්තරා උපාසක කෙනකුන් ගේ වස්තුව දක්වමු.
කෙසේ ද යත් -
එක් දවසක් බුදුහු දෙව්රම් වෙහෙර ගඳ කිළියේ වැඩ හිඳ ම අළුයම් වේලේ ලොව බලන සේක්- අළවු නුවර හිඳිනා එක් දුක්පත් කෙනකුන් නිවන් දැක්මෙහි නු දුක් පත් නියාව දැක පන් සියයක් දෙනා වහන්සේ පිරිවරා අළවු නුවරට වැඩි සේක. අළවු නුවර ඇත්තෝ ද බුදුන්ට ආරාධනා කළහ. ඒ දුක්පත් තැනැත්තෝ බුදුන් වැඩි නියාව අසා ‘බුදුන් ළඟට ගොසින් බණ අසමී’ සිතූහ. එ දවස් උන්ගේ ගොනෙක් දුරු බා පලා ගියේ ය. ඌ තුමූ ‘කුමක් දෝ? ගොනු සොයා යෙම් දෝ නොහොත් බණ අසා යෙම් දෝ හෝ’ යි සිතා ‘ගොනු සොයා ගෙනවුත් ගෙරි අතුරේ ලා පියා පසු ව බණ ඇසීම් නම් දෙකටයුත්ත ම වරදිනට නැතැ’ යි උදාසන ම ගොනු සොයන්ට ගෙන් නික්මුණාහ.
අළවු නුවර වැසියෝ ද බුදු පාමොක් සඞ්ඝයා වහන්සේ වඩා හිඳුවා දන් වළඳවා ලා බණට ආරාධනා කළහ. බුදුහු ත් ‘යමක්හු නිසා මම දොළොස් ගවුවක් මග ගෙවා අයිම් නම් ඌ තුමූ ගොනකු බලන්ට වලට ගියහ. උන් ආවොත් මුත් බණ නො කියමි’ සිතා මුයෙන් නොබැණ වැඩ හුන් සේක. ඒ දුක්පත් තැනැත්තෝ ද දාවල් කොට ගොනු දැක ගොනු ගෙරි අතුරට හැර පියා බඩ සාය බලවත් වුව ත් ගෙට ගොස් බතක් කන්ට නො සිතා වහා බුදුන් කරා ගොසින් බුදුන් වැඳ එකත්පස් ව සිටියහ. බුදුහු ද ඔවුන් වැඳ ලා සිටි කල්හි දවස මුළුල්ලෙහි කෙළි කෙළ විඩා ව පියා ආ පුතණු කෙනකුන්ට බත් උදවු වන තෙක් කැවුමක් පෙවුමක් දෙන මෑණි කෙනකුන් මෙන් සසර දුක් ගෙන විඩා තැනැත්තවුන්ට නිවන් රස ය දෙවා වදාරනු කැමැති ව වළඳවා ලා සිටියවුන් අතින් ‘වළඳා ඉතිරි බතෙක් මාළුවෙක් ඇද්දැ’යි විචාරා පන්සියයක් දෙනා වහන්සේට සපයා ලූ දෙය හෙයින් ‘කැමැත්තකට ඉතිරි වී ය’ යි කී කල්හි ‘එ සේ වී නම් තුලුන්ට බත් දෙව’ යි වදාළ සේක.
උයි ත් එ තැන ම හිඳුවා ලා කැඳ ත් බතුත් සුව සේ ම කවා ලූහ. උයි ත් බත් කාලා අත කට සෝධා පියා සිටියහ. තෙවළා බුදු වදන් මුළුල්ලම බැලුවත් බුදු රජුන් වහන්සේ අනික් කෙනකුන්ට බතක් දෙන්ට විධාන කළ තැනෙක් මෙ තැන විනා නො පෙනෙ යි. බත් කා බඩ පිරුණු කලට සිත ත් එකඟ වි ය. බුදුහු ඒ නියාව දැන පිළිවෙළ කථාව වදාරා චතුස්සත්‍යය ප්‍රකාශ කළ සේක. උපාසකයෝ ද බත් මත්තෙහි පැන් අනුභව කරන කලක් මෙන් සෝවාන් වීමෙන් නිවන් රස ත් අනුභව කළහ. ආමිෂ සංග්‍රහධර්‍ම සංග්‍රහ දෙක ම එක පැහැර ලැබීමෙන් දුක්පත් කම ත් අළහ. බුදුහු ත් අනුමෙවෙනි බණ වදාරා ලා වැඩ පී සේක. උපාසකවරුද බුදුන්ට පසු ගමන් කොට ලා නැවත පීහ.
වහන්දෑ ද බුදුන් හා කැටි ව වඩනා සේක් ‘ඇවැත්නි, බුදුන්ගේ කටයුත්තක් බැලුව මැනව. මෙතෙක් දවස් මෙබන්දක් නැත. අද දුක්පත් එකකු දැක කැඳ බත් දෙවූ සේක. කුමක් නිසා එ ලෙස කොට වදාළ සේක් දැ’ යි නො සතුටු ලෙස කථා ඉපැදවූ සේක. සියල්ල දන්නා වූ බුදුන් දැන වදාළ දෙයට තෙල ලෙස නො සතුටු වන කල සෙස්සවුන් දැන ත් නො දැන ත් කළ දෙයට නො සතුටු වීම විස්ම නො වෙයි. බුදුහු ත් රඳා වැඩ සිට කථා බොහෝ නො වන තෙක් ‘මහණෙනි, කුමක් කියවු දැ’යි විචාරා වදාරා එ පවත අසා ‘එ සේ ය, මහණෙනි, මම වැළි ත් දොළොස් ගවුවක් ගෙවා එන්නෙම් හේතු සම්පන්න තැනැත්තවුන් හෙයින් උන් ම මුල් කොට අයිමී. උනු ත් වැළි ත් උදාසන පටන් ගොනකු සොයා ඇවිද ගෙට ගොසින් බතක් කන්ට නුවූ හෙයින් බඩ සාය ත් උන්ට බලවති.
‘බඩ සාය බලවත් තැන දී කෙතෙක් බණ කීව ත් නිදන් වරදවා කරන පිළියම් සේ ඒ බණින් උන්ට ප්‍රයෝජනත් මඳ. එ හෙයින් මෙ ලෙසක් කෙළෙමි’ වදාරා බණ වදාරන සේක් ‘මහණෙනි, සෙසු ලෙඩට යහපත් එක බෙහෙදෙක් සම්භ වී නම් ඒ එක බෙහෙදින් ම සන්හිඳෙයි. එක් තරම් බෙහෙත් වී නම් බෙහෙත් කළ කල හෝ සන්හිඳෙයි. නිරන්තර ව සේල් වෙති නැත. මේ ක්ෂුත් දුඃඛ ලෙඩට ත් අත් නො හැර නිරන්තර ව ම පිළියම් කටයුතු ය. අත් හැරී ගිය පමණකින් අසාධ්‍ය බවට පැමිණෙයි. එ හෙයින් මේ ක්ෂුත් දුඃඛ ය නම් බලවත් වූ ලෙඩක. කෙලෙස් පිළියමට ත් ඒ පිළියම නැති ව බැරි ය. ප්‍රත්‍යය සමුත්පන්න ධර්‍මයෝ නම් ප්‍රත්‍යයායත්ත ව පවත්නා හෙයින් ඉතා දුක්හ. ක්ෂුත් දුඃඛ ය බලවත් රෝග නියා ත් පස් කඳ පිරිමැසීම ඉතා දුක් නියා ත් දැන ප්‍රත්‍ය ය සමුත්පන්න නො වන හෙයින් හා ස්කන්ධයෙහි අන්තර්‍ගත නො වන හෙයින් නිවන් නම් උතුම් සැපෙකැ යි නුවණැත්තෝ ඒ සිද්ධ කරන්ට උත්සාහ කෙරෙතී වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් -
“චත්තාරො පඤ්ච ආලොපෙ - අභුත්‍වා උදකං පිවෙ,
අලං ඵාසු විහාරය - පහිතත්තස්ස භික්ඛුනො”
යන අනුශාසනා ලෙසින් සතරපස් ආලොපයකට අඩු ව තබා ඒ අඩු ව පැණින් පුරා නොහොත් ප්‍රාණ ය රැකෙන පමණකට සතර පස් ආලොපයක් වුව ත් වළඳා අඩු ව පුරා පැන් වළඳා මහණ ධම් කොට නිවන් සිද්ධ කටයුතු.