තව ද වාත පිත්තාදී තුන් දොස් රෝග එළවන්නා සේ රාග ද්වෙෂාදී තුන් දොස් සසර දුක් එළවන නියාව දක්වන්ට එක්තරා කුල දරුවාණ කෙනකුන් ගේ වස්තුව කියමු.
කෙසේ ද යත් -
ඒ කුල දරුවාණන්ගේ දෙමවුපියෝ පුතණුවන්ට සරණක් ගෙන්වා පාවා දී සරණ මඟුල් දවස එයිත් වෙනම මඟුලක් හෙයින් බුදුන්ට ත් ආරාධනා කළහ. බුදුහු ද භික්ෂු සඞ්ඝයා වහන්සේ පිරිවරා මඟුල් ගෙට වැඩ, වැඩ හුන් සේක. සරණ ගෙණා කුමාරිකාවෝ ද තමන් සැදෑ ඇති හෙයින් වහන්දෑට පැන් පරහා දීම් ආදි වූ මෙහෙවර කෙරෙමින් ඇවිදිති. රක්‍ෂා කළ කුල දරුවාණෝ ද දිවි හිමියෙනු ත් බලා රිසි නො යන බුදුන් නො බලා ම කුමාරිකාවන් බල බලා සිටියහ. සිනාසෙන්ට නියාලූ දත් දැක පිළිකුල් විසින් මෙනෙහි කළ තිස්ස තෙරුන් සේ නො ව ‘අත යහපත, පය යහපත, තනේ යහපත, නාසේ යහපත’ යනාදීන් සුභාකාරයෙන් බලනුවන්ට රා සිත් පහළ වි ය. ඌ තුමූ රා සිතින් මඬනා ලදු ව බුදුන්ට වේ ව’යි අසූ මහ සවුවන් වහන්සේට වේ ව’යි උපස්ථානයක් කට නුහුණු වූහ. සසර සිටිනා තෙක් මුළුල්ලෙහි නුපුරුදු හෙයින් ඒ කට නුහුණත් අනන්ත කාලයක් අභ්‍යාස ය ඇත්තා ඊට ම හෙයින් බුදු පාමොක් සඞ්ඝයා කෙරෙහි භයක් ලජ්ජාවක් නැති ව ඒ කුමාරිකාවන්ට සිද්ධ වන කුශලය නවතන්ට කරන්නාක් මෙන් උන් අත අල්වා ගන්ට සිතූහ.
බුදුහු උන්ගේ අදහස් දැන ලා ඒ කුමාරිකාවන් උන්ට නො පෙනෙන ලෙස කොට වදාළ සේක. උයි ත් කුමාරිකාවන් නොදැක අපවත් වූ වස්තුව නුදුටත් සඟවා ලූවන් දක්නා සේ බුදුන් බල බලා සිටියහ. බුදුහු ද තමන් වහන්සේ බල බලා සිටි කුමාරයන්ට ත් නො පෙනී සිටි කුමාරිකාවන්ට ත් බණ වදාරන සේක් ‘දුමක් වේ ව යි, අළු වේව යි, අඟුරු වේව යි’ දාරු වේ ව’ යි නොදක්වා ඇතුළත ම සිට දවා නිමවා ලිය හෙන ගින්නෙක් වේ නම් රාග නමැති ගින්නට වඩා නැත. යමෙක් මේ ලොව වරද වේ නම් ද්වේෂයට වඩා වරදකුත් නැත. රාග ය තමා ඇසුරු කළාහු මනස ත් මුත් අනුන් නසා ලිය නො හෙයි. ද්වේෂය තමා ඇසුරු කළවුනු ත් අනුනු ත් සෙසු තබා රටවල් දක්වා නසා ලයි.
මේ ලෙව්හි දුකෙක් වේ නම් රූපස්කන්ධාදී පඤ්චස්කන්ධයට වඩා නැත. උත්පත්ති කාරණ වූ තෘෂ්ණාව නම් දුඃඛ කාරණ හෙයින් මධුමෙහ ආදි මෙහ ඇත්තවුන්ට උපදනා දරුවන්ට ත් මෙහ ඇත්තා සේ උත්පත්ති කාරණ වූ තෘෂ්ණාවගේ වශයෙන් ස්කන්ධයෝ දුක් වෙති. මේ ලෙව්හි යමෙක් සැප වේ නම් නිවනට වඩනා දෙයක් නැතැ’යි රුවන් ගෙයක් කොට නිමවා ලා මැණිකින් කුළු ගන්නා සේ නිවනින් කුළු ගත් සේක. දේශනා කෙළවර කුමාරයෝ ත් කුමාරිකාවෝ ත් තරම් බරක් ඔසවන්නා සේ සෝවාන් වූහ. නිවන් දක්වා වදාළ සේම කුමාරයන්ට කුමාරිකාවනු ත් කුමාරිකාවන්ට කුමාරයනු ත් දක්වා වදාළ සේක.
එහෙයින් නුවණැත්තවුන් විසින් යම් භාවනාවෙක් රාග ප්‍රතිපක්‍ෂ වී නම් කා ගියා සී ආදි වූ ඒ ඒ භාවනාවෙහි යෙදී, යම් භාවනාවෙක් ද්වේෂ ප්‍රතිපක්‍ෂ නම් මෛත්‍රී ආදි වූ ඒ ඒ භාවනායෙහි හැසිර ආනාපාන සතියෙහි යෙදීමෙන් මෝහයත් දුර කොට භවක්‍ෂයට උත්සාහයක් ම කටයුතු.