තව ද යුද්ධ ප්‍රයෝගයෙන් කෙලෙස් සතුරන් හා යුද්ධකොට උන් පරදවා තමා ජය ලැබීම් යහපත් නියාව හඟවන්ට කොසොල් රජ්ජුරුවන් ගේ පරාජය වත කියමු.
කෙ සේ ද යත් -
ඒ රජ්ජුරුවෝ ගම් පමුණක් නිසා නැඟණියන්ගේ පුත් වූ අජාසත් රජ්ජුරුවන් හා සටන් කොට තුන් වරෙක පැරද තුන් වැනි මුරයේ දී ‘මම වැඩියුරුව සිටත් බාල සුඟා පමණකුත් පරදවා ගත නුහුණුයෙමි. උන්ට පැරද පියා හිඳිනා බලා ත් මිය යෑම යහපත’යි කෑම්-පීම් හැර පියා මියන්ට ම නියැළි වැද හොත්හ. ඒ උන්ගේ පවත සියලු මුළු නුවර ත් පැතිර පැවැත්ත. වහන්දෑත් බුදුන් කරා ගොසින් බුදුන්ට එ පවත් දැන්වූ සේක. බුදුහු ඒ අසා බණ වදාරන සේක් ‘මහණෙනි, කෙලෙස් සතුරන් පරදවා ලබන ජය හැර සෙසු ලෙසින් ජය ලබන්නාහු සියලු ම ප්‍රයෝග නපුරු හෙයින් අකුසල් රැස් කෙරෙති. අනුන් විසින් පරදවන ලද්දෝ සතුරන් සමුච්ඡේද වශයෙන් පැරැද්දවුන් සියලු ලෙසින් තමන් නට හෙයින් කිසිවක් කට නොහෙත ත් කවර විටෙක මුන්ට කුමක් කොට පියමෝ දෝ හෝ” යි සිතා දුක් ගනිති. යම් කෙණෙක් සව් කෙලෙසුන් නසා සිටියෝ වූ නම් අනුන් පරදවා සිද්ධ වන අකුසලු ත් නැති හෙයින් තමා පරදවන දුකු ත් නැති හෙයින් ඌ තුමූ සතර ඉරියව්වෙන් සුව සේ දවස් යවතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් ජයක් නිසා අකුසල් සිද්ධවේ නම් එයිත් හැර කර්මානුරූපව සෙස්සෝ කෙසේ [1]පරදත් නමුත් කෙළෙසුන්ට පැරදීමෙන් වන දෙයකුත් වැද්ද නො දී අති මධුර වූ නිවන් රස වළඳා ජාති දුක් ආදි ය නසන්ට උත්සාහ කටයුතු.
-
සෙස්සෝ කවර විටෙක ත් ↑