තව ද වසවත් මරහු ගේ පාපී වූ අලුව දක්වන්ට මාරයා ගේ වත කියමු.
කෙසේද යත් -
එක් දවසක් බුදුහු තමන් වහන්සේ එ දවස් එ ගමින් ලබන බතක් නැතත් කුමාරිකාවරුන් පන්සියයක් ලබන නිවන් රස සලකා අනුන්ට අමුතු බත් දෙන කලක් මෙන් පඤ්චසාල නම් බමුණු ගම රැඳුණු සේක. ඒ කුමාරිකාවරුන් පන්සියය ද එක් උත්සව දවසෙක ගඟට ගොසින් නා පියා ආභරණ ලා සැරහී ගෙන ගමට එන්ට නික්මුණාහ. බුදුහු දෙ තිසක් විතර මහා පුරුෂ ලක්‍ෂණ නමැති ආභරණ ලා සැරහී ගෙන ඒ ගමට සිඟාවන් සේක. වසවත් මර ද මිහිරි දියෙක පතළ වසක් මෙන් ගම්වැස්සන් මුළුල්ල ඇඟ ආවිෂ්ට ව බුදුහු යම් සේ බතක් නොලබන සේක් වී නම් එ දවස් එ ලෙසට කොට ලා තෙමේ අනන්ත කාලයක් බත් නොලබනු ව පාත්‍ර ය සෝධා පූ වන ම හැර ගෙන වඩනා බුදුන් ගම් දොරදී දැක ‘කිම්ද? මහණ, සිඟා බතක් ලදී දැ’යි නො හික්මුණු සැටියට විචාළහ. බුදුහු ඒ අසා කුමක් ද, මාර ය, තෝ මා බත් ලබන ලෙසක් කෙළෙහි දැ’යි වදාළ සේක. එ විට වස වත් මර ‘මාගේ බසින් පෙරළා ගමට වන්නු නම් ඇම දෙනා ඇඟ ආවිෂ්ට ව ලා සිඟු ගෙවල පෙරළා ත් සිඟන නියාවක් කියවා බත් නොලද ත් නින්දාවක් ලබ්බවමි’ සිතා ගෙන ‘ස්වාමීනි, ආදි වැඩි වේලාට බත් නොපිළිගැන් වූ නමුත් පෙරළා ත් සිඟා වැඩිය යහපතැ’යි කී ය. මාර්‍ග ඥාන ය එක විටක උපදු ත් මුත් දෙවිටෙක නූපදනා සේ සිඟා පී ගම එ දවස් පෙරළා සිඟීම නැති හෙයින් නො වැඩි සේක.
එ වේලාට කුමාරිකාවරු ද ගම් දොරට පැමිණ බුදුන් දැක වැඳ ලා එකත් පස් ව සිටියහ. වසවත් මර ද බුදුන්ට ‘කිමෙක් ද? ස්වාමීනි, බත් වළඳන්ට නුවු හෙයින් බඩ සාය ඇත්තේ වේ දැ’ යි බුදුහු ඒ අසා ‘මාර ය, අපි කුමක් නො ලද නමුත් ආභස්සර නම් බඹලොව බඹුන් පරිද්දෙන් ප්‍රීතිය අනුභව කොට ප්‍රීති සුවෙන්ම දවස් යවම්හ’යි වදාරා ‘රස තෘෂ්ණාව යම් කෙනකුන්ට ඇත්තේ වී නම් සා දුක් උන්ට ම වේනු යි අපට එ බන්දක් නැති හෙයින් මහා කපින් අට කපක් මුළුල්ලෙහි ප්‍රීතිය ම අනුභව කොට වසන ආභස්සර බඹුන් මෙන් බත් නොලබන්ට උපදෙස් කල තා කෙරෙහි රුෂ්ට අදහස් සඳුන් දණ්ඩෙහි පූති ගන්ධ ය නැත්තා සේ නැති බැවින් ප්‍රීති නමැති සුධා භොජන ය වළඳා මහා කරුණා සමාපත්ති ඵල සමාපත්ති නමැති පැනින් අඩු ව පුරා වළඳා දවස් යවම්හ’යි වදාළ සේක. දේශනා කෙළවර කුමාරිකාවරු පන්සිය ය වළඳන තැනට ගොසින් හළ බත් කා බඩ පුරවන්නවුන් මෙන් සෝවාන් ව නිවන් රස අනුභව කළහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් රස තෘෂ්ණාව නම් අකුශළ සන්නිශ්‍රීත හෙයින් ඒ හැර කරන ඇල්ම ත් නිවන් විෂයෙහි ම කොට භවක්‍ෂයට උත්සාහ කටයුතු.