168. නෑයන් ගේ කලහය සංහිඳ වූ වස්තුව

star_outline

තව ද කලහයෙහි ආදීනව දක්වනු සඳහා බුදුන් තමන් වහන්සේ ගේ නෑයන් ගේ කලහ ය සන්සිඳ වූ වස්තුව කියමු.

කෙ සේ ද යත්-

ශාක්‍ය රජ දරුවන් හා එ ම පක්‍ෂයෙහි කෝලිය රජදරුවන් හා කිඹුල් වතට ත් කෝලිය නුවරට ත් අතුරෙහි රෝහිණී නම් ගඟ අවුණු බඳවා ලා වරුපෙත්වල ගොයම් කරවති. ඉක්බිත්තෙන් පොසොන් මස් ඉද්දෙහි නියන් තද ව ලා ගොයම් මියන්ට වන් කල්හි දෙ පක්‍ෂයේ රජ දරුවන්ගේ බත්ගම් පරිවාර රැස්ව ලා කෝලිය නුවර රජුන්ගේ ගොයම් කළ මිනිස්සු ශාක්‍ය රජදරුවන් ගේ ගොයම් කළවුන්ට ‘හෙම්බා, මේ ඇළ දිය දෙ භාගයේ වරු පෙතට එක් කොට නමතොත් තොපට ත් නො සෑහෙයි. අපට ත් නො සෑහෙයි. අපගේ ගොයම් එක පැන් මුරයකින් පැසෙ යි. තොපට ගෙන යන්ට නො සිතා අපට හරුව’යි කීහ. ශාක්‍ය රජ දරුවන්ගේ සී වැස්සෝ ‘තොප ගොයම් පැසවා ගෙන දා මිරිකා -අටු-කොටු පුරා ගත් කල අපි රත්රන් හැර ගෙන මලු පෙට්ටි හැර ගෙන තොපගේ ගෙවලට වී ඉල්වා එත නො හෙම්හ. අපගේ ගොයමු ත් එක පැන් මුරයකින් පැසෙයි. මේ පැන් මුර ය අපට දෙව’යි කීහ.

අපි එ සේ නො දෙම්හ’යි කී කල්හි තෙපි නොදෙවු නම් අපි ත් නො දෙම්හ’යි කියා කලහ වඩා ගෙන එකෙක් නැඟී සිට එකකුට පහරක් ගැසී ය. ඒ අනිකකුට ගැසීය යි ඔවුනොවුන් හා කලහ කොට ගෙන මුදළි ව සිටි රජ දරුවන්ට ත් බණන්ට පටන් ගත්හ. ඉන් කෝලිය රජ දරුවන්ගේ බත්ගම් වැස්සෝ කිඹුල්වත රජ දරුවන්ගේ මිනිසුන්ට ‘කොල, කිඹුල්වත රජ දරුවන් හැර ගෙන බෑවෙවු ද? තිරිසනුන් පරිද්දෙන් තමන් තමන්ගේ නඟුන් හා සමග වාස ය කර ත් අනුන් හා ඩබර කරන කල නම් එබඳු ගරු තරමක් ඇත මනා වේ ද? ඩබරට අවු නම් නපුරු අසා ගෙන යන බව වේ ද? උන්ගේ සිවුරඟ අපට කුමක් කෙරෙත් ද යනාදීන් දෙඩූහ.

ශාක්‍ය රජ දරුවන්ගේ මිනිස්සු ත් කොලිය ‘රජ දරුවන්ගේ මිනිසුන්ට ‘කිඹුල්වත ම බිසෝ කෙනකුන් ඇඟ කුෂ්ඨයක් ඇති වූ තැන කොළොම් ගස් බිලයෙක රඳා හිඳ සේරුවක් කරවා ලා ලවා ලූ තැන යම්කිසි ලෙසකින් කුෂ්ඨරෝග නැති වුව ත් කිඹුල්වතට යන්ට මැළිව කොළොම් ගස මුල ම නුවරක් කරවා ගෙන දරු මුනුබුරු පරම්පරාවෙන් රඳා හුන් පමණට එයි ත් කුලයක් කොට ගෙන තෙපි කුෂ්ඨ ඇත්තවුන්ගේ දරුවන් හැර ගෙන බෑ වෙවු ද? තිරිසනුන් පරිද්දෙන් ගමක් දිවෙලක් නැති ව කොළොම් ගස් බිලයේ හුන්හ. උන්ගේ සේනාව ත් උයි ත් අපට කුමක් කෙරෙත් ද? අවු නම් තමන්ගේ තරම් අසා ගෙන යන බව වේද යනාදීන් බිණූහ.

තුමූ දෙ පක්‍ෂ ය ඩබර කොට ලා නික්ම උන් රජදරුවන්ට බැණ දොඩා තමන් තමන්ට විධාන කොට සිටි ඇමතිවරුන්ට ගොසින් පැමිණියහ. ඌ ගොසින් රජදරුවන්ට කීහ. ශාක්‍ය රජ දරුවෝ ත් නඟුන් රක්‍ෂා කළවුන්ගේ බල දක්වම්හ’යි සටන් සරහා නික්මුණහ. කෝලිය රජ දරුවෝ ත් ගස් බිලයේ උපන් නවුන්ගේ බල පාම්හ’යි සටන් සරහා නික්මුණහ. බුදුහු ත් අළුයම් වේලේ ලොව බලන සේක් දෙපක්‍ෂ ව හිඳිනා-නෑයන් හා සටන් සරහා නික්මුණන් දැක ‘මම ඔබ නො ගියෙම් නම් මූ හැම නසිති. මුන් හැම දෙනාගේ අකුශල කර්‍ම ය මූකුරා නො යන තෙක් මුන් නස්නට කාරණ කිම් ද? මා ඔබ ගිය මනා වේ දැ’යි සිතා තනිව ම අහසින් වැඩ රෝහිණී ගං මැද අහස පලක් බැඳ ගෙන වැඩ හුන් සේක.

සටනට ආ නෑ රජ දරුවෝ බුදුන් දැක ආයුධ දමා පියා වැඳලා සිටියහ. බුදුහු නො දත් බඳු ව ලා ‘රජ දරුවෙනි, මේ කුමන ඩබරෙක් දැ’යි විචාළ සේක. තමන් නොදත් හෙයින් ‘නො දනුම්හ’යි කිවු ය. ‘දන්නෝ කවුරු දැ’යි විචාරා ‘සෙනෙවි රද්දා දනිති’ කී කල්හි උන් විචාරා වදාරා උන් ‘යුව රජ්ජුරුවන් දනිති’ කී කල්හි උනු ත් විචාරා මෙම ලෙසින් පරම්පරාවෙන් ඩබර කළ කොල්ලන් අතින් විචාළ සේක. ඌ තුමූ ‘ස්වාමීනි, දිය ඩබරෙකැ’යි කිවු ය. එ වේලෙහි බුදුහු රජ දරුවන් බණවා ලා ‘රජ දරුවෙනි, තොපගේ ඩබර මුල් වූ පැන් කෙතෙක් වටී දැ’යි විචාළ සේක. “මිලයකට ගනිතොත් වේ ද මිල දැනෙන්නේ, එතකුදු වුවත් ඒ කුමක් වටී ද, ඉදින් වටී නමුත් මඳක් මුත් බොහෝ දෙයක් නො වන්නේ වේ දැ’යි කිවුය. ‘තොප හැම දෙනාගෙන් එක් කෙනෙක් කෙතෙක් වටු දැ’යි විචාළ සේක. ‘රජදරුවන්ට අග ය නැත්තේ වේදැ’යි කී කල්හි ඉදින් අග ය කරතොත් මඳ වුව ත් අග ය ඇති පැනිත්තක් නිසා අගයක් නැති තොප හැම දෙනා නස්නට කාරණ ඇද්දැ’යි විචාළ කල්හි මුවෙන් නොබැණ සිටියහ.

ඉක් බිත්තෙන් රජ දරුවන් බණවා ලා ‘රජ දරුවෙනි, කුමක් නිසා මෙ ලෙසක් කරවූ ද, ඉදින් මා නො ආවොතින් මේ ගඟ ලේ ගඟක් ව ගියේ ය’යි වදාරා බණ වදාරන සේක් “යම් ගිහි කෙනෙක් වත්, පැවිදි කෙනෙක් වත් පාපී ව වසන්නාහු ‘සුව සේ ජීවත් වම්හ’ යි කියා ඉඳි ත් නම් උන්ගේ ඒ සිතිවිලි පමණෙක. අප නිෂ්පාපී හෙයින් අපි සුව සේ ජීවත් වම්හ. යම් කෙනෙක් කෙලෙස් ලෙඩින් ලෙඩ ව හිඳ ත් කන්නට බොන්නට ඇති හෙයින් ‘අපි සුව සේ ජීවත් වම්හ’යි සිතා හිඳි ත් නමුත් ඒ උන් ගේ සිතිවිලි පමණෙක. අපි ඇම නිකෙලෙස් හෙයින් සුව සේ ජීවත් වම්හ. යම් කෙනෙක් ගිහි කම්කටුල් කෙසේ දුක් වුව ත් ‘සුව විඳුම්හ’ යි සිත ත් නම් කපුරු හා තැඹිලි පැන් අනුභව කරන කල විරස නැත ත් පසුව දුක් වන්නා සේ, තෙල් හුරු මස් හා කිරි අනුභව කරන කල මීර වුව ත් පසු ව දුක්වන්නා සේ උන්ට සැප නැත්ම ය. අපට ගිහි කම්කටුලේ උත්සාහ නැති හෙයින් සුව සේ ජීවත් වම්හ”යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පව්හි නො හැසිරීමෙන් නිෂ්පාපී ව කෙළෙසුන් නැසීමෙන් කෙලෙස් ලෙඩ නැතිව කුසල් විෂයට කරන උත්සාහයක් මුත් පාපොත්සාහයක් නැති ව පිළිපැද භවක්‍ෂයට උත්සාහ කටයුතු.