ඉක්බිති කුසල්හි හැසිරෙන්නවුන්ට එහි අනුසස් දක්වන්නමෝ මහ අවුවේ ගමන් ගොසින් විඩා වූවන් පිපාසා නිවා වත් කරන පැනක් මෙන් දෙවදූත සූත්‍රාදිය එළවා නරක දුක් බොහෝ කොට කියා ලන්ට නු වූවත් එක දේශයකින් දක්වා ලූ දුක් අසා ලා බා ගියවුන් අස්වසන්ට ධම්මික උපාසකයන්ගේ වස්තුව දක්වා කුසල් පිහිටවමු.
කෙසේ ද? යත්:
සැවැත් නුවර දැහැමින් සෙමින් දවස් යවන උපාසකවරුන් පන් සියයක් ඇත. ඉන් එකි එකී දෙනාට පිරිවර ත් පන් සියය පන් සියය ඇත. ඒ නියායෙන් දෙ ලක්ෂ පනස් දහසක් විතර උපාසකවරු ය. උන් හැම දෙනාට ම මේ ධම්මික උපාසකයෝ ප්‍රධානයෝ ය. පින් කිරීමට මුල්හ. උන්ගේ පුත්තු සත් දෙනෙකුත් ඇත. දූ සත් දෙනෙකු ත් ඇත. මූ තුදුස්දෙන ත් සඳුන් ගසින් බට අරළුවල ත් එ බඳු ම යහපත ඇත්තා සේ යහපත්හ. අදහසුත් දෙමවු පියන්ගේ අදහස් තරමට ය. එ සේ හෙයින් උපාසකයන් හා උපාසිකාවන්ගෙනුත් දරු තුදුස ගෙනුත් එක් කොට සොළොස් දෙනාගෙන් නිරන්තර ව ළා බත් සොළසෙකු ත් ඇත. දඹ දිව ඇත්තවුන් ආදියෙන් සඳ දැක ත් බතක් දන් දෙන හෙයින් එ සේ වූ බත් සොළසෙකු ත් ඇත. මෙ සේ වූ සොළොස් දෙන ම රස බිම්හි ඇතිවූ ගසෙක බොහෝ සේ පලදාත් රසවන්නා සේ යහපත්හ. ඉක් බිත්තෙන් ඒ උපාසකයන්ට නිකැළල් ගසකට නරාවක් ඇතිවන්නා සේ රෝගයෙක් ඇති වි ය. රොග නැමැති පහන් වැටියේ ආයු තෙල ගෙවා පියා මරණ අඳුරට ආසන්න ව බණ අසනු කැමැති ව හෙවත් පිරිත් බණවනු නිසා බුදුන් කරා වහන්දෑ අට නමක් හෝ සොළොස් නමක් හෝ එවන්ට කියා යවු ය. බුදුහු ත් යවා වදාළ සේක. ගිය වහන් දෑ ද උපාසකයන් වැද හොත් හැඳ වට කොට වැඩ හුන් සේක.
මියන වේලෙහි සිත පහදවන්ට වට කොට සිටුවා ලූ රත් නෙළුම් මල් කලප් සේ වැඩ හුන් වහන්දෑ දැක ‘ස්වාමීනි. මෙ වක් පටන් දැකුම් පමණකු ත් බැරි වේ ද ? දක්නා දෑතුරෙහි අසන්ට එක් සූත්‍ර බණක් පිරුවා වදාළ මැනැවැ’යි කිවු ය. කවර සූත්‍ර බණෙක් දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, සියලු ම බුදුවරුන් වහන්සේට ආවෙණික වූ සිහිවටන් සූත්‍ර ය වී නම් යහපතැ’යි කිවු ය. වහන්දෑ ද උගේ රුචින් මහ සීවටන් සූත්‍ර ය පිරිවන්ට පටන් ගත් සේක. එ වෙලාවට ස දෙව් ලොවින් සියලු රථාලඞ්කාරයෙන් සැරහුණා වූ ඇඹුල පෙති හා සමාන සුදු අසුන් දහස දහස යෙදූ ස සීයක් ස සීයක් ගවු විතර දිග ඇති රථ සයෙක් අවුත් අහස සිටියේ ය. ඒ ඒ රථයෙහි සිටි දෙවියෝ ද ‘නිදුකාණෙනි, මැටි වළඳක් බිඳ රන් වළඳක් ලබන්නා සේ අප අපගේ දිව්‍ය ලෝකවල සම්පත් විදිනට අප අප ගෙනා රථවල උපන මැනැවැ’යි වෙන වෙන ම කිවු ය. උපාසකයෝ අසා ගෙන වැදහොත්තෝ බණට බාධා වෙයි යන අදහසින් දෙවියන්ට ‘තව ඉවසුව මැනැ ව’යි. ‘තව ඉවසුව මැනැව යි කිවු ය.
වහන්දෑ තමන් වහන්සේට කීව යි සිතා පිරිත් තබා පී සේක. උපාසකයන්ගේ දූ දරුවෝ ද ‘අපගේ පියාණන් වහන්සේ අප හැමට ත් වඩා බණට ඉතා ප්‍රිය සේක. වහන්දෑ ගෙන්වා ගෙන තමන් වහන්සේ ම පිරිතට පටන්ගන්වා ලා තමන් වහන්සේ ම නවතන සේක. මරණට නො බන කෙනෙක් නම් නැතැ’යි හැඬු ය. වහන්දෑ ත් පිරිතට අවස නැත්තේ වේ දැ’යි විහාරයට වැඩ පී සේක. උපාසකයෝ ද මඳක් කල් යවා පියා සිහි නුවණ ලදින් කුමකට හඬාදැ යි විචාළහ. පියාණන් වහන්ස, නුඹ වහන්සේ වහන්දෑ ගෙන්වා ලා පිරිත් බණවමින් සිට ලා අමාවක් බොමින් සිට පෙරළා ගෙන ගිය අමා නවතන්නා සේ බණන පිරිත් නැවතූ සේක. ඒ දැක මුන් වහන්සේ පවා මෙ සේ මරණයට බන කල නො බන කෙනෙක් නැතැ යි හැඬුම්හ’යි කිවු ය. ‘වහන්දෑ කොයි දෑ’යි උපාසකයන් විචාළ කල්හි වැඩ පී සේකැ’යි කිවු ය. ඒ අසා ‘වහන්දෑ වැඩ පියන්ට මා කීවා නැත. වැඩ පූයේ හැයිදැ’යි විචාළෝ ය. ‘තව ඉවසුව මැනැවැ’යි කියා ලූ බස අපි ත් ඇසුව. ඒ කාට කී නියා දැ’යි විචාළෝ ය.
“දෙවතාවෝ ස දෙව් ලොවින් එම දෙව්ලෝ ළං කොට ගෙනා වා සේ රථ සයක් සරහා ගෙනවුත් අහස රඳවා ලා තම තමන් ගේ දෙව් ලොවට යන්ට හඬ ගාති. බණ අසා පියන තෙක් තව ඉවසා පියව යි කීයේ මා උන්ට ය’යි කිවු ය. ‘ගෙනා රථ ඇත් නම් නුඹ වහන්සේට ම පෙනී ගිය නියා ද, අපට නො පෙනෙන්නේ ය’යි කිවුය. ඒ අසා ගති නිමිත්ත වශයෙන් පෙනුණු රථ සෙසු ලෙසකින් උන් හැමට දක්වා ලන්ට බැරි හෙයින් උප දෙසකින් දක්වනු නිසා ‘මා අත පාරවා පුදන්ට ගෙතූ මල් දම් ඇද්දැ’යි විචාරා ඇතැ’යි කී කල්හි ස දෙව් ලොවින් කවර දෙව් ලොව සිත්කලු දෑ’යි විචාළෝ ය.
‘පියාණන් වහන්ස, තුසී පුර ය නම් පැරුම් පුරා නිම වූ සියලු බෝසතුනුත් උන්ගේ දෙ මවු පියනු ත් වසන තැන ය. ඒ දෙව් ලොව යහපත. මෙතේ බෝසතුන්ගේ බණත් ඇසිය හැක් කැ’යි කිවු ය. ‘එ සේ වී නම් තිලින් මල් දමක් හැර ගෙන ඒ රථයේ එලෙන්ට කියා ලා දමව’යි විධාන කොළෝ ය. ඔහු ත් එ ලෙස ම කියා ලා දැමූහ. මල් දම ගොසින් රථ හිස එලී ගෙන රථ ශෝභාව වමාරන කලක් මෙන් එලෙන්නේ ය. බොහෝ දෙනා රථ නො දක්නා පමණ මුත් එලෙන මල් දම දකිති.
උපාසකයෝ ‛තෙල එලෙන මල් දම් තුසී පුරෙන් ආ රථ හිස එලෙයි. මම මෙයින් සැව තුසී පුර යෙමි. ගිය තෙන හානි ඇත් නම් වේ ද තොප හැම මුසුප්පු වුව මනා. මුසුප්පු ත් නො ව මා ළඟ උපදනට පතා මා කළ ලෙසින් ම පින් කරව’යි කියා ලා මිය ගොසින් ඒ රථයෙහි උපන්හ. උපන් ඇසිල්ලෙහි සැට ගැළක් පමණ ආභරණින් සැදුණු තුන් ගවු පමණ උස ඇති දිව අත් බැව් පහළ වි ය. දහසක් පමණ දෙවඟනෝත් පිරිවැරූහ. උසින් සියයක් ගවු පමණ වූ රුවන් විමනකු ත් පහළ විය. සක් දෙවිඳු ලෙසින් ධම්මික නම් දෙවි පුත් තෙමේ කුසල් නමැති වඩුවා විසින් මනහර කොට කරණ ලද රුවන් විමනට ගොසින් වන.
බුදුහු ද වෙහෙරට ගිය වහන්දෑ අතින් පිරිත් බැණ අවුදැයි විචාරා ‘එසේය ස්වාමීනි, මහ සීවටන් සුත පිරිවන්ට පටන් ගතුම්හ. පිරිවා නො නිමන තෙක් ම නැවතුව. හැම දෙනා හඬන්ට පටන් ගත් හෙයින් අප හඬක් හා බණක් හා දෙකක් හැයි දැ යි පලා ආම්හ’යි කී සේක. ‘හෙම්බා මහණෙනි. උන් තොප හා කථා කෙළේ නැත. දෙවියෝ සදෙව් ලොවින් රථ සයක් ගෙනවුත් තමන්ගේ රථවලට නැඟෙන්ට කි වු ය. අසා ගෙන.වැද හොත් බණට බාධා වේදෝ හෝ යි යන අදහසින් මඳක් ඉවසව යි දෙවියන් හා කථා කොළෝ ය’යි වදාළ කල්හි ‘ස්වාමීනි, ඌ දැන් කොයි උපන්නු දැ’යි විවාළ සේක.
“තුසී පුරයෙහි උපන්හ’යි වදාරා ‘මහණෙනි, යම් කෙනෙක් පින්කම නො පමා වූ නම් පින් කරන්නාත් සතුටු සිතින් හෙයින් මෙ ලොව පින් කරණ අවස්ථාවෙහිත් සතුටු වෙති. පරලොව දී කුශලානුභාවයෙන් අනන්ත වූ සම්පත් ලදින් සම්පත් දැක ත් සතුටු වෙති. එ හෙයින් පින් කරන්නාහු මෙලෝ පරලෝ දෙක ම කළා වූ පින් සළකා ත් පින් කම් මහිමයෙන් ලත් සම්පත් බලා ත් ධම්මික නම් දෙව් පුතු පරිද්දෙන් සතුටු වෙති’යි පිරිත් බැණ ආයාස ගත් වහන්දෑට සදහම් නමැති පාන වර්‍ග දී[1] නිවන් රස අනුභව කරවා කෙලෙස් විඩා සන්හිඳ වූ සේක.
මේ දේශනාවද කල්ප වෘක්‍ෂ – කල්ප ලතා – භද්‍ර ඝටාදියක් මෙන් බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වි ය. එසේ හෙයින් කුසල්හි හැසිරෙන්නවුන් විසින් වී බත් කැමති වූවන් සම
බොරළුවක් ලදින් අමු තෝරා හැර වී ම භාර ගන්නා සේ අකු සල් තෝරා හැර කුසල් ම හැර ගෙන කුසල් නමැති බිජුවට තුනුරුවන් කෙත වපුට ලොවී සැප ත් නමැති ධාන්‍ය හා ලොව්තුරා සැප ත් නමැති ධන රැස් කට යුතු.
-
පූප වර්‍ගාදි ↑