තව ද තුනුරුවන් විෂයෙහි කළ පූජාවෙහි විපාක මහත් නියාව හඟවන්ට තොදෙය්‍ය බ්‍රාහ්මණ වස්තුව දක්වමු.
කෙ සේ ද යත්-
බුදුහු සැවැත් නුවරින් නික්ම ගම් නියම් ගම් වල සැරිසරා බරණැසට වඩනා සේක් අතුරු මග තෝදෙය්‍ය නම් බමුණු ගමට ළඟ බොහෝ වහන්දෑ පිරිවරා එක්තරා දෙවොලක් බඩට වැඩ එ තැන වැඩ හිඳ දහම් බඬ ගැරි අනඳ මහ තෙරුන් වහන්සේ යවා නුදුරු තැනෙක සී සාමින් සිටි බමුණු කෙනකුන්ගේ අදහස් නමැති කෙතට සැදෑ නමැති බිජුවට දෙවනු නිසා සාන සී පමා කරවා ත් ගෙන්වා වදාළ සේක. බමුණානෝ ද අවුත් බුදුන් නො වැඳ එ ම දෙවොල වැඳ ලා සිටියහ. බුදුහු ‘අප හින්ද දී තෙලෙ තැන කුමක් නිසා වැන්දෙයි දැ’යි විචාළ සේක. ‘අපගේ පරම්පරාවෙහි වැඳ පුදා ආ දෙවොලක් හෙයින් මම ත් ඒ පනත නො පිරිහෙළා වැඳිමි’යි කිවු ය. ‘බමුණ, තා තෙලෙ තැනට වඳිනා බව යහපතැ’යි බුදුහු සතුටු වූ සේක.
වහන්දෑ ද ඒ අසා ‘තෙල තැන වැඳීමට සතුටු වන්ට කාරණ කිම් දැ’යි කාරණයෙහි සැක වූ සේක. බුදුහු ද ඒ වහන්දෑගේ සැකය හරවනු නිසා මැදුම් සඟිය ඝටීකාර සූත්‍රය ත් වදාරා තමන් වහන්සේගේ ආනුභාවයෙන් කසුප් බුදුන්ගේ ධාතුපරිනිර්වාණය වුවත් පොළොව සැඟ වී සිටි සතර ගවුවක් උස රන් දාගැබ රන් පර්‍වතයක් මෙන් අහස රඳවා බොහෝ දෙනාට දක්වා ලා ‘බමුණ, පූජාවට නිසි වූ මෙබඳුවන්ට වැඳීම්–පිදීම් කළමනා දෙයෙකැ’යි වදාරා දික් සඟි ය මහාපරිනිර්‍වාණ සූත්‍රයෙහි වදාළ ලෙසින් ම බුද්ධාදී වූ පිදිය යුතු තැන් වදාරා ලා ශරීර ධාතු වඩා කළ දා ගබ් ද නැවත ශරීර ධාතු ද, උද්දෙසික ධාතු ද, පාත්‍ර ධාතු ආදි වූ පාරිභෝගික ධාතු දැ යි චෛත්‍ය තුනක් වෙනසක් නැති කොට වදාරා බණ වදාරන සේක්- ‘යම් කෙනෙක් ආමිස පූජා ත් ප්‍රතිපත්ති පූජා ත් විඳින්ට නිසි බුදු පසේ බුදු මහ රහතන්ට තමන්ගේ බල පමණින් පූජා කෙරෙත් නම් පූජා කළවුන්ට සිද්ධ වන කුශලය මෙතෙකැයි ලාසෙකින් නැළියෙකින් මැන පමණ දැන ගත හැක්කක් නොවන හෙයින් එසේ වේව’යි තරාදි ආදීන් කිරා ගත හැක්කක් නො වන හෙයින් එ සේ වේ වයි මේ මෙතෙක් වුව මැනව’යි අනුමානයකින් වේව යි, මේ මෙ තෙක, වඩා නැතැ’යි ගණන් කරන්ට දිව්‍ය බ්‍රහ්මාදීන් අතුරෙන් කිසි කෙනකුන්ට ත් බැරිය. අනන්ත ය යන නියමය විනා සඞ්ඛ්‍යාවටත් බැරිය’යි වදාළ සේක.
දේශනා කෙළවර දෙවොල වැඳ ආ බමුණෝ නො දැන වැන්ද ත් වැන්ද මනා ම ස්ථානයක් හෙයින් සෝවාන් වූහ. සතර ගවුවක් උස රන් දා ගබ ත් සතියක් මුළුල්ලෙහි ම ආස ම රඳා සිටිය. බොහෝ දෙන ත් රැස් ව සතියක් මුළුල්ලෙහි මහ පුද කළහ. දෘෂ්ටි ගතිකයන්ගේ මිථ්‍යා දෘෂ්ටිය ත් හැරිණ. සති කෙළවර බුදුන්ගේ ආනුභාවයෙන් ඒ දා ගබත් ආදී තුබූ තැනම පිහිටා සිටි ය. ඒ රන් දා ගබ පිහිටි තැන මුදුනෙහි එ වේ ලේ ම මාරුවක් ලා ලා ගියා සේ ගල් දා ගබෙක් වී ය. ඒ බණ අසා සුවාසූ දහසක් දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින්-
“තිට්ඨන්තෙ නිබ්බුතෙ චාපි – සමෙ චිත්තෙ සමං ඵලං,[1]
චෙතොපසාද හෙතුම්හි - සත්තා ගච්ඡන්ති සුග්ගතිං”.
යනු හෙයින් බුදු පසේ බුදු මහ රහතන් ඇත ත් පිරිනිවීය ත් අදහස සරි වී නම් විපාක ත් සරි වෙ යි-යනු සිත්හි තබා දැනුත් පූජා සත්කාර කිරීමෙහි නිරුත්සාහ නො ව භව සැප ත් වළඳා නිවන් සම්පතු ත් අත් කට යුතු.
_______
-
සමං චිත්තං. ↑