166. බොහෝ භික්ෂුන් වහන්සේ ගේ වස්තුව

star_outline

තව ද මේ ලෙව්හි යමෙක් ඉතා සුව වී නම් ඒ දක්වනු පිණිස බොහෝ භික්ෂූන් වහන්සේ ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත් -

එක් දවසක් පන් සියයක් විතර වහන්දෑ රැස් ව හිඳ ‘ඇවැත්නි, මේ ලොව සුව නම් කවරේ දැ’යි කථාව ඉපැද වූ සේක. ඉන් රජ කුලෙන් මහණ වූ තැන් ‘රජ සුව තරම් සැපයෙක් නැතැ’යි කී සේක. ගිහි අවස්ථාවෙහි ඔළමොළ ව ඇවිදි තැන් ‘ලෝකාස්වාද රතියට වඩනා තරම් සැපයක් නැතැ’යි කී සේක. කිසි කෙනෙක් මසවුළෙන් යුක්ත බත් ආදි ය අනුභව කළ කල සැපය’යි යනාදීන් සැප නො වන දෙයම සැප ය’යි කී සේක. බුදුහු ඒ වහන්දෑ වැඩහුන් තැනට අවුත් කෙරෙමින් හුන් කථාව විචාරා ඒ නියාව දැන ‘මහණෙනි, තොප සැප’ යි සිතට නැඟු දෙය වෘත්ත දුඃඛයෙහි අන්තර්ගත හෙයින් දුක ම ය. එ සේ කල සැප නම් කවරේ ද යත් - යම් කලෙක බුදු කෙනෙක් ලොව උපන්නු නම් සතුන් දුකින් මුදන හෙයින් බුදුන්ගේ ඉපදීමත්, බුදුන් උපන් පමණෙකින් නොව බණ අසා ම සතුන් දුකින් මිදෙන හෙයින් බණ දෙසීම ත් සැප කාරණ හෙයින් සැප ය.

යම් හෙයකින් බුදු වදන් උගනුත ත් ධුතඞ්ග පූරණාදි වූ මහණ ධම් කරත ත් සමඟ ව මුත් බැරිද, එහෙයින් සඞ්ඝයා සමඟ වූ නම් උන්ගේ තපසු ත් සැප ය. විරුද්ධ වූ අදහස් නො ව ගඞ්ගොදක ය හා යමුනොදකය සේ සම අදහස් ඇති වීම ත් සැප ය’යි වදාළ සේක. දේශනා කෙළවර නො සැප සැප ය’යි සිතා ගෙන හුන් පන්සියයක් දෙනා වහන්සේ රහත් ව නිවන් සැප විඳගත් සේක. දේශනාව ත් බොහෝ දෙනාහට සප්‍රයෝජන වි ය.

එ හෙයින් සත් පුරුෂ තැන් විසින් දිවි පමණින් භික්ෂූහු සමඟ ව රැස්වෙත්ද, සමඟ ව නැඟෙත් ද, සඞ්ඝකරණියත් සමඟ ව කෙරෙත්ද, උන්ට අභිවෘද්ධියක් මුත් හානියක් නැත, යන අනුශාසනා ලෙසට පිළිපැද නිවන් දහම් පසක් කට යුතු