165. අනඳ මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව

star_outline

තව ද සර්‍වඥවරයන් ගේ පහළ වීම අරුම නියාව හඟවන්ට අනඳ මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

අනඳ මහ තෙරුන් වහන්සේ එක් දවසක් ‘ආජානීය හස්තීහු සදැත් කුලෙහි හෝ පෞෂථ කුලෙහි හෝ උපදිති. අශ්වයෝ වලාහක කුලෙහි උපදිති. ආජානීය වෘෂභයෝ දකුණු දිග්භාගයේ උපදිති’ යනාදීන් වදාරන බුදුහු ආජානිය හස්ති ආදීන්ගේ උත්පත්ති ස්ථාන ම දක්වා වදාළ සේක. පුරුෂොත්තමයන් උපදනා ස්ථාන කවර දෝ හෝ යි’ සිතා බුදුන් කරා එළඹ බුදුන් විචාළ සේක. බුදුහු ‘ආනන්‍දයෙනි, පුරුෂොත්තමයෝ සෙස්සවුන් සේ හැම තැන උපදනෝ නො වෙති. නැගෙන හිරින් කජංගලා නම් නියම් ගමින් එ පිට සල්ගස හා අග්නි කොණයෙන් සලලවතී නම් ගඟ හා දකුණු දිගින් ශ්වේතකර්ණික නම් නියම් ගම හා බස්නාහිරින් ථූන නම් බමුණු ගම හා උතුරු දිගින් උසීරධ්වජ පර්වත ය හිම් කොට දිගින් තුන් සියයක් පමණ වූ පළලින් දෙසිය පනස් යොදුන් පමණ වූ වටින් නවසියක් යොදුන් පමණ වූ මධ්‍ය මණ්ඩලයෙහි ම පුරුෂොත්තම වන ජාතියෙහි උපදිති. උපදනා බුදු පසේ බුදු සවුවන්ගෙන් බුදුවරහු එසේ මෙ සේ කුලයෙක නූපදිති.

රජ මහසල් කුලෙහි හෝ බමුණු මහසල් කුලෙහි හෝ උපදිතී’ වදාරා ලා බණ වදාරන සේක් ‘පුරුෂොත්තමයන් පුරුෂොත්තම වන ජාතියෙහි ප්‍රත්‍යන්තවල නූපදනා හෙයින් හා බුද්ධ බෝධිසත්‍වයන් බුදු වන ජාතියෙහි රජ ව බමුණු ව විනා අනික් තරමෙක නූපදනා හෙයින් පුරුෂොත්තමයෝ ඉතා දුර්ලභයහ. යථොක්ත ලෙසින් හැම කල උපදනෝ ත් නො වෙති. හැම තැන උපදනෝ ත් නො වෙති. සර්‍වඥවරයෝ යම් කුලයක උපන්නු නම් ආජානීය අශ්වයන් මවුන්ගේ දකුණු ඇලය පළාගෙන උපදනා සේ නොව; මවු කුස උපදනා දවස් සුදු ඇත් පැටවකු ලෙසින් හෙළ පියුමක් හොඬින් හැර ගෙන මහාමායා බිසවුන් දකුණු ඇලය පලා ගෙන කුසය ඇතුලට වන් ලෙසින් සීන ය ලෙසට ත් නො ව සීනයේ අර්ථය ලෙසට ඒ කුසලයට ත් බොහෝ වැඩය’යි වදාළ සේක. දේශනා කෙලවර බොහෝ දෙන සෝවාන් ඵලා දියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් දුර්ලභ ව උපදනා පුරුෂොත්තමයන් මෙන් දුර්ලභව පහළ වන සීල සමෘධ්‍යාදි ගුණයෙහි පිහිටා නිවන් සාදා ගන්ට උත්සාහ කටයුතු.

________