තව ද අස්ථාන භජනයට ත් වඩා ස්ථාන භජනය ම සප්‍රයෝජන නියාව හඟවන්ට අග්ගිදත්ත නම් පෙරෙවි බමුණානන් ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
ඒ බමුණානෝ නම් මහ කොසොල් රජ්ජුරුවන්ගේ පුරෝහිතයාණෝ ය. මහ රජ්ජුරුවන් මළ පසු පසේනදී කොසොල් රජ්ජුරුවෝ ද පියාණන්ට ත් පුරෝහිතකම් කළ හෙයින් ගෞරවය ඇති ව එම තනතුරෙහි තබා තමන්ට රාජ සේවයට ආ කල පෙර ගමන් කොටත් යෙති. ‘ආචාරීනි, තිලී හුන මැනවැ’ යි කියා ලා සරි සරියේ ම හිඳිනට අවසරය ත් පතති. පුරෝහිතයෝ ද ‛මේ රජ්ජුරුවන් වහන්සේ මා කෙරෙහි ගෞරව බලවත්ව ඇති සේක. රජදරුවන් නම් සිත් ගත ත් නොහැක්ක. වයසින් බාලත් සේක. සිරි විඳිත ත් සරි වයස් ඇති රජ දරුවන් හා වී නම් යහපත. උපදවා ගත් සම්භාවනා නැති වූ නමුත් නපුර. මම ද වැළි ත් මාලු ව ගියෙමි. තුන් වයසින් එක් වයසක් වුව ත් සිස් වූ කලත් නපුර. ‘මහණ ව ගතිම් නම් යහපතැ’යි සිතා ලා රජ්ජුරුවන්ට කියා මහණ වීමට අනුදන්වා ගෙන නුවර බෙර ලවා යදි දිළිඳුන් රැස් කරවා නැතක් කලකින් උපයා රැස් කළ සම්පත මී බඳින්ට කල් යන බව මුත් බැඳි මී සලන්ට කල් නො යන්නා සේ සතියක් විතරින් දන් දී නිමවා පියා කුමක් කරමෝ ද සිතා ඉසි වෙස් ගෙන මහණ වූහ. උන් ප්‍රසිද්ධ තැනැත්තවුන් සෙයින් කැටි ව දස දහසක් මහණ වූහ.
අග්ගිදත්ත නම් තවුසාණෝ ද උන් හැම හා සමග මගධ රට ත් කුරු රටත් අතුර පන්සල් කොට ගෙන රඳා හිඳ තමන් තවුස් පිරිසට ‘දරුවනි, තපසට අවුත් යම් කෙනකුන්ට කෙලෙස් සිතෙක් ඇති වී නම් එකි එකී වැලි ගොටුවන් එක් තැනෙක ලා ලුව මැනවැ’යි අවවාද සෙයින් විධානයක් කළහ. උයි ත් යහපතැයි ගිවිස එසේ වූ සිතක් සිතුණ විට ම නිග්‍රහ නිසා වැලි ගොටුවක් ලති. කල් ගිය කලට මහවැලි ගොඩෙක් වි ය. ඒ වැලිගොඩ නා රජ්ජුරු කෙනෙක් පිහිටා ගත්හ. මගධ රට ඇත්තවුන් හා කුරු රට ඇත්තෝ ද ඒ නා රජ්ජුරුවන්ට මස් පතා මහ පෙරහර කෙරෙති. නා රජ්ජුරුවන්ට සත්කාර නිසා ගියවුන්ට අග්ගිදත්ත නම් තවුසාණෝ ලෙව්හි තුනුරුවන් නැත්තාසේ ‘මෙරු යුගන්ධරාදී පර්‍වත සරණ යව. හිම වු ආදි වනවල් සරණ යව. ගස් කොළ සරණ යව. එ සේ කොට දුකින් මිඳෙව’යි ඔවා දෙති.
එ වකට බුදුහු දෙව්රම වසන සේක් අළුයම් වේලේ ලොව බලා අතවැසි දස දහස හා සමග අග්ගිදත්ත තවුසන් තමන් වහන්සේගේ නුවණ දැළ බැඳුණවුන් දැක ‘මූ හැම දෙන කළ ඇතුළේ ඇවිළෙන පහන් මෙන් රහත් වන පින් ඇත්තෝ ය’යි දැන සවස් වේලේ දී මුගලන් මහ තෙරුන් වහන්සේට ‘මෞද්ගල්‍යානයෙනි, අග්ගිදත්තයන් ඇතුළු වූ බොහෝ දෙන සම්‍යක්ප්‍රතිපදා නමැති තොට තිබියදී විරුද්ධ කල්පනා නමැති ගඟ හොස්සේ සසර නමැති මුහුදට වදනවුන් නො දකුද? තොපගේ අවවාද නමැති නැව පෑ ලා ඊට නංවා ගෙන නිවන් පරතෙරට පමුණුවා නොලා නැ’යි වදාළ සේක. ස්වාමීනි, මුඹ වහන්සේ ත් සහාය වුවො ත් පිළිවනැ’යි වදාළ සේක. තොපට ම කිය ලා මම වැදහිඳීම් ද ? මමත් එමි. මා එන නියා ව කියන්ට යන්නාක් මෙන් තොපි පෙරාතු යව’යි වදාළ සේක.
මහ තෙරුන් වහන්සේ ද වඩනා සේක් ‘මූ බොහෝ දෙන ය. බලී කමුත් ඇත්තෝ ය. ඉදින් හැම දෙනා එක් තැන් ව හුන් තැන දී යමක් කියාලීම් නම් හැම දෙනා එක් ව ගෙන දොඩන්ට පැන හෙති. බුදුන්ගේ මෙහෙවරින් තබා මා ම අව ත් එ තරම් නො වන්නේ වේ දැ’යි හැම දෙනා වෙන් කරණු නිසා දළ දළ පොද ඇති කොට වැස්සක් වස්වා ලූ සේක. ඌ හැම දෙන ත් පොද ගසත් ගසත් නැඟි නැඟී සිට ත් තමන් තමන්ගේ පන්සල්වලට වන්හ. මහ තෙරුන් වහන්සේ අග්ගිදත්ත තවුසන්ගේ පන්සල් දොරකඩ සිට ‘අග්ගිදත්තයෙනි’යි වදාළ සේක. ඌ ඒ අසා මෙලොව මට තෙල ලෙස කියා හඬ ගානා කෙනෙක් නැත. එ ලෙස කීවෝ කවුරු දෝ හෝ යි මනින් තදව ලා ‘කවුරු දැ’යි කිවුය. බමුණානෙනි, අපි ය’යි වදාළ සේක. ‘බැණවූයේ හැයි දැ’යි විචාරා ‘අද එක රෑ සැතපී යන්ට අවසරයක් ඉල් වූ නියා ය’යි කී කල්හි මේ පන්සල එක් කෙනකුන් මුත් දෙන්නකු වැද හෝනට අවසර නැත. එ සේ වන්නා අවසර දෙන්නේ කෙසේ දැ’යි මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේ නිරවකාශයා සේ ම අවසර දෙන්ට මැළි වූහ.
මහ තෙරුන් වහන්සේද ‘අග්ගිදත්තයෙනි, මිනිස්සු මිනිසුන් ළඟට යෙති. ගෙරි සරක් ගෙරි සරක් ළඟට යෙති. පැවිදිවරු පැවිදිවරුන් ළඟට යෙති. අපිත් ගිහීන් කරා යන්නට බැරි බැවින් තොප කරා ආම්හ. එක රැයක් පමණට වුව ත් සැතපෙන තැනක් දෙව’යි වදාළ සේක. එ කල අග්ගිදත්තයෝ කුමක් ද? තෙපි පැවිදි කෙනෙක් දැ’යි විචාරා එ සේ ය’යි කී කල්හි ‘තෙපි පැවිදි කෙනෙක් වූ නම් වල් කලා සිවුරු ආදි ය කොයි දැ’යි විචාළහ. ‘පිරිකර ඇත. වෙන වෙන හැර ගෙන ඇවිදින්ට තරම් නො වන හෙයින් සිරුරු අබතුරෙහි ම ලා ගෙන ඇවිදුම්භ. බමුණාණෙනි’ වදාළ සේක. බමුණානෝ ඒ අසා ගුණෙන් වැඩියුරු තරමක් හඟවා ලූ හෙයින් කෝප කළහ. මුගලන් මහ තෙරුන් වහන්සේ ‘අග්ගිදත්තයෙනි, උරණ නො ව සැතපෙන තැනක් දෙව’යි වදාළ සේක. පෙරළාත් එතැන වසන තැන් නැතැ යි කිවු ය. තෙල වැලිගොඩ වසන්නෝ කවුරු දැ’යි විචාරා ‘නා රජ්ජුරු කෙනෙකැ’යි කී කල්හි ‘එ තැන දෙව’යි වදාළ සේක. ‘ඒ නා රජ්ජුරුවෝ යහපත් කෙනෙක් නො වෙති. දෙන්ට බැරි ය’යි කිවු ය. ‘උන් යහපත් වත් කිම. නපුරු වත් කිම. එ තැන දෙව, යි වදාළ සේක. ‘එ සේ වී නම් තොපි ම දනුව’යි කී ය. මහ තෙරුන් වහන්සේ වැලිගොඩ කරා නික්මුණු සේක.
නා රජ්ජුරුවෝ ත් ඔබ වඩනා දැක ‘මේ මහණ මෙ තැනට එයි. මාගේ තරම නොදන්නා වනැ’යි දුම් කඳක් විහිදුවමින් මොහු මරමී’යි දුමා ගියේය. මහ තෙරුන් වහන්සේ ද තමන් වහන්සේට ත් පිළිවන් හෙයින් දුමා ගිය සේක. දෙ තැන ඇඟින් ම නිකුත් දුම් කඳ බඹ ලොව දක්වා නැංගේ ය. දෙදුම් එක් ව ලා නයාණන්ට ම පීඩා කෙරෙයි. මහ තෙරුන් වහන්සේට කිසි ත් පීඩා නැත. නා රජ්ජුරුවෝ ද දුම් දැඩි කලට ගිනි දල්වන්නා සේ ගිනි ගෙන දිලිහුණුවු ය. මහ තෙරුන් වහන්සේ ත් සෘද්ධීන් ගිනිගෙන දිලිහුණු සේක. දෙපක්‍ෂයෙන් ම නැඟි ගිනිදැල් බඹ ලොව දක්වා නැංග. දෙ තැනින් ම නැඟි ගිනි දැල් එකොළොස් ගින්න නිවා සිටි මහ තෙරුන් වහන්සේට කුමකු ත් කොට නො හී නයාණන්ට ම පීඩා කෙරෙයි. දස දහසක් පමණ තවුසෝ ද ඒ දැක ‘නා රජ්ජුරුවෝ මහණහු දවති. යහපත් මහණ ය. අප හැම කීවා නො කොට නටහ’යි සිතූහ. නයිට ම පීඩා වූ නියාව නොදත්හ. මහ තෙරුන් වහන්සේත් නන්‍දොපනන්‍දයන් මෙන් මුනු ත් හික්මවා ගෙන වැළි ගොඩ මත්තෙහි වැඩ හුන් සේක.
නා රජ්ජුරුවෝ ද මහ තෙරුන් වහන්සේගේ බරින් වැලි ගොඩ විසිරෙන මුත් නො විසිරෙන්ට ගල් වැටියකින් තර කරන්නාක් මෙන් වැලි ගොඩ සිසාරා දරණ වෙළා ගෙන කුළු ගෙයක් සා විතර ඵණයක් මවාගෙන තෙරුන් වහන්සේ ඉසට කළහ. තවුසෝ හැම ත් උදාසන ම ‘මහණහු මළ නො මළ නියාව දනුම්හ’ යි වැළි ගොඩ කරා අවුත් බලා වැළි ගොඩ මත්තෙහි වැඩ හුන්නා දැක දොහොත් මුදුනේ තබා ගෙන ස්තුති කෙරෙමින් ‘කුමක් ද? නා රජ්ජුරුවන් ගෙන් පීඩාවෙක් නොවී දැ’ යි විචාළහ. ‘මා විචාරන්නේ හැයි ද? නා රජ්ජුරුවන් මා හිසට ඵණ ය කොට ගෙන සිටි නියාව නුදුටු දැ’යි විචාළ සේක. ඌ හැම ත් බලා සමාධි ව ‘මෙ සේ වූ නයින් පවා මෙ තරමකට පමුණුවා ගත් කල ආනුභාව ය කියනු ව කිම්දැ’යි මහ තෙරුන් වහන්සේ පිරිවරා ගෙන සිටියහ.
ඒ වේලාට බුදුහු ත් වැඩි සේක. මහ තෙරුන් වහන්සේ බුදුන් දැක නැඟී සිට අවුත් වැඳි සේක. තවුසෝ ඒ දැක ‘මුන්දෑ මුඹට ත් වඩනා නියා දැ’යි විචාළහ. එ සේ විචාළවුන්ට ‘හෙම්බා මුන් වහන්සේ බුදුහුය. මම ඔබට වම ත් සවුව සිටියෙමි’ වදාළ සේක. බුදුහු ත් යොධයන් සාධා ලූ රටෙක රජ්ජුරු කෙනකුන් ගොසින් හිඳිනා සේ වැලි ගොඩ මත්තෙහි වැඩ හුන් සේක. අග්ගිදත්ත ප්‍රමුඛ දස දහසක් තවුසෝ ද ‘අග සවු නමගේ ආනුභාව මේ තරම් කලට බුදුන්ගේ ආනුභාව කවර තරම් දෝ හෝ’ යි දොහොත් මුඳුනේ බැඳ ගෙන බුදුන් වැඳ වැඳ සිටියහ. බුදුහු ත් අග්ගිදත්ත නම් තවුසාණන් බණවා ලා ‘අග්ගිදත්තයෙනි, තොපි තොපගේ තවුස් පිරිසට ත් උපාසක වරුන්ට ත් අවවාද කරන කල කවර ලෙසක කරවු දැ’යි විචාළ සේක. “මම ස්වාමීනි, පර්‍වත වන ආදි ය සරණ යව. එ ලෙසින් දුකින් මිදෙව යි මෙ ලෙස අනුශාසනා කෙරෙමි” යි කිවු ය.
බුදුහු ඒ අසා ‘අග්ගිදත්තයෙනි, තෙල දුකින් මිදෙන්ට නො වෙයි. උපදෙස් නම් මේ ය’ යි වදාරන බුදුහු ‘හෙම්බා අග්ගිදත්තයෙනි, බොහෝ දෙන තමන්ට පැමිණි භයෙක් ඇත් නම් ඉන් මිදෙනු නිසා ත් පුත්‍ර ප්‍රතිලාභාදි ය නිසා ත් ඉසිගිලි වෙඵුල්ල වෙභාරාදි පර්‍වතයන් ද මහා වන ගොසිඞ්ග සාලවනාදි වන ද වෙළුවන ජීවක අම්බවනාදී වූ ආරාම ද උදෙන චෛත්‍ය ගොතමක චෛත්‍යාදි චෛත්‍ය වෘක්‍ෂ ද තම තමන්ට රක්‍ෂා ස්ථාන ය යි සිතති. කෙ සේ සිතා කළ ත් ඒ තෙමේ රක්‍ෂා ස්ථාන ත් නො වෙයි. නිරුපද්‍රව කාරණ ත් නො වෙයි. සත්‍වයෝ ඒ පර්‍වතාදිය නිසා ජාති ජරා මරණින් මිදෙන්නෝ ත් නො වෙති. යම් කෙනෙක් නව අරහාදී බුදු ගුණ සලකා බුත් සරණ යෙත් ද, ස්වාක්ඛාතතාදී ධර්‍ම ගුණ සලකා දහම් සරණ යෙත් ද, සුප්‍රතිපන්නතාදී සඞ්ඝ ගුණ සලකා සඟ සරණ යෙත් ද, තීර්ථක භජනාදි ය නිසා පෘථග්ජන ව සරණ යෑමට හානි වේ මුත් මාර්‍ග ගත සරණ සීල ය නිශ්චල හෙයින් මාර්‍ග භාවනා කොට සත්‍ය ප්‍රතිවෙධ ය කිරීමෙන් සෝවාන් පමණකු ත් වීමට උත්සාහ කෙරෙත් ද, එලෙසින් මාර්‍ග ගත ව සම්භ වූ සරණ යෑමෙක් ඇත් නම් ඒ නිරුපද්‍රව ය. ඒ උතුම ඒ සරණ යෑම නිසා සත්‍වයෝ ජාති දුඃඛාදියෙන් මිදෙතී’ වදාළ සේක.
දේශනා කෙළවර අග්ගිදත්ත ප්‍රමුඛ දස දහසක් තවුසෝ පිළිසිඹියා පත් රහත් ව මහණ කරන්ට ආරාධනා කළහ, බුදුහු ත් රත් වලා ගැබකින් නිකුත් වන විදුලියක් මෙන් දකුණු ශ්‍රී හස්ත ය දික් කොට ලා ‘මෙසේ එව, මහණෙනි’ වදාළ සේක. ඒ හැම තැන් අට පිරිකර ධරා සිය වස් ගිය මහ තෙරුන් වහන්සේ මෙන් ආකල්ප සම්පන්න වූ සේක. එ දවස ද වැළි ත් දෙ රට ඇත්තවුන් පූජා භාණ්ඩ ගෙන්වා ගෙන නා රජ්ජුරුවන් ළඟට එන දවස ය. උයි ත් සත්කාර නිසා ආවා වූ තවුසන් හැම මහණ වූවා දැක කුමක් දෝ අපගේ අග්ගිදත්තයන් වහන්සේ බලවත් සේක් දෝ හෝ නො හොත් බුදුහු බලවත් සේක් දෝ හෝ’ යි සිතා ‘බුදුන් හුන් තැනට අග්ගිදත්තයන් වහන්සේ නො ගොසින් බුදුන් ම මොබ ආ හෙයින් අග්ගිදත්තයන් වහන්සේ ම බලවත් සේකැ’යි සිතා ගත්හ. බුදුහු ත් උන්ගේ අදහස දැන ‘අග්ගිදත්තයෙනි, තොපගේ උපාසකවරුන්ට ඇති වූ සැක ය හරවා ලව’ යි වදාළ සේක. උන් වහන්සේ ත් ‘මම ද එ ලෙසක් ම සිත සිතා හුන්නෙමි’ වදාරා ලා ඍද්ධීන් අහසට සත් විටෙකින් සත් තල් විතර පැන නැඟී ලා සත් විටක් ම බැස බට බට විට ම බුදුන් වැඳ ලා ‛ස්වාමීනි මුඹ වහන්සේ මට තබා තුන් ලෝ වැස්සන් මුළුල්ලට ම වඩනා සේක. මුඹ වහන්සේ බුදු සේක. මම බුදු සවු වෙමි” කියා රැස් වූවන්ට උපන් සැක ය හරවා ලූ සේක.
එ සේ හෙයින් නුවණැත්තවුන් විසින් කරන යම් භජනයක් තුනුරුවන්ට ම කොට දුකින් මිදෙන්ට උත්සාහ කටයුතු.
__________