තව ද ලඝු දෑ නිසා ත් සස්නෙහි උකට ලී වීමෙහි නපුර හඟවන්ට අනභිරත භික්ෂූන් වහන්සේ ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත් -
ඒ භික්ෂූන් වහන්සේ වැළි ත් සසුන් වැද මහණ ව උපසම්පදා ව ත් ලදින් ‘අසවල් තැනට ගොසින් හදාරා පිරිවාව’යි උපාද්ධ්‍යායයන් වහන්සේගෙන් විධාන ලදින් ඔබ ගිය සේක.
ඉක්බිත්තෙන් ඔබගේ පිය උපාසකයන්ට රෝගයෙක් ඇති වි ය. උන් පුතණුවන් වහන්සේ දක්නා කැමැති ව කැඳවා ගෙන එන්ට නිසි කෙනකුන් නොලදින් පුත්‍ර ප්‍රේම ය මුල් ව වියළී
ගොසින් ජරා දුර්‍වලව මියන්ට ආසන්න ව ගොසින් ‘මේ ම පුතණුවන් වහන්සේට කැප පිරිකරට මිල වුවත් යහපතැ’යි මසු සියයක් උන් වහන්සේගේ බාල මලණුවන් අතට පාවා දෙවා ලා මළෝ ය. මලණුවෝ ද උන් වහන්සේ වැඩි කල හඬා පියා වැලප පියා ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ පියාණන් වහන්සේ මුඹ වහන්සේ නො දැක ශෝකයෙන් නන් දොඩමින් මළ සේක. මියන ගමනේ මුඹ වහන්සේට කැප පිරිකර ක් ගෙන දෙන්ට මසු සියයක් දෙවාලූ සේක. ඉන් වුවමනා කුමක් දැ’යි විචාළහ. ‘ඒ මට හැ යි දැ’යි කියා පියා පසුව කලක දී ‘සිඟා කා ජීවත් වීමෙන් මට කම් කිම්ද? මසුරන් සිය ය මුල්ව ජීවත් විය හැක්ක, සිවුරු හරිමී’ අල්ප වූ භෝග රාශි ය හැර මහණ වන්ට සිතුව මනා තැන මඟුලට ගසන බෙර අවමඟුලට පෙරළා ගසන්නා සේ සිවුරු හරින්ට සිතා ගත්හ.
සිවුරු හැරීමට සිත නමා පියා යෙදී වසන කමටහනු ත් හැර සිතිවිලි නිසා පාණ්ඩුරෝග ඇත්තා සේ සුදු මැලි වූ සේක. යහළු මිත්‍ර වහන්දෑ ද ‘වෑරුනේ[1] කුමක් නිසා දැ’යි විචාරා උකටලී වූ නියාව කී කල්හි උන් වහන්සේගේ ගුරුවරයන් වහන්සේට කී සේක. ඒ වහන්දෑ ද බුදුන් කරා ගෙන ගොසින් බුදුන්ට කෙළෙස් සොරුන් හා එක් ව ගෙන උන්ගේ බසින් එක මසු සියයක් නිසා බොහෝ ගුණ බඩු නසා දෙසා පියා සස්නෙන් යන්ට සිටිනා නියාව කී සේක. බුදුහු ත් ‘සැබෑ දැ’යි විචාරා ‘සැබැව’ යි කී කල්හි කුමක් නිසා එසේ කෙරෙයි ද? එ සේ ගියත් ජීවත් වන උපාය ඇත් දැ’ යි විචාරා මසුරන් සියයක් ඇති නියාව කී කල්හි එ පමණකින් ජීවත් විය හැකි නියාව නො හැකි නියාව කියා ලූ පමණෙකින් තොපට නො හැඟුණු නමුත් පාලා ම හඟවා ලන ලෙසට එ ම රන් ගණනේ කිරිවාණා හකුරු අවුළා ගෙනෙව’ යි වදාළ සේක. උන් වහන්සේත් ගෙනා සේක.
බුදුහු තෙල මසු සියය ගණනේ ගෙන හකුරෙන් සරි බලනු නිසා ‘පනසක් සාල් හැර ගන්නානිසා තබාලව. අනික් පනසෙක් තුබුයේ වේ ද, ඉන් සූ විස්සකින් සානා ගොන් ගෙයක් හැර ගන්ට තබා ලව, තව ස විස්සක් තුබූයේ වේද, ඉන් භාගයක් සානා කුඹුරට බීජුවට හැරගන්ට තබා ලව. තමා වඩු කම් නොදන්නා බැවින් භාගයක් නඟුල් විය දඬු හැර ගන්ට තබා ලව. හුදැල්ලකුත් අවශ්‍යයෙන් ඇත මනා බැවින් හුදැල්ලකට භාගයක් නිල කොට තබව. නඟුල කෙටි වූ කලට වක නිසි දණ්ඩක් කපා ගන්ට පොරවකු ත් ඇත මැනව. ඒ සැස ගන්ට වෑයකු ත් ඇත මැනව. විද අවුණා ගන්ට නියනකු ත් ඇත මැනව. ඊට භාගයක් තබව’ යනාදීන් වදාරන කලට ඒ සිය ය තබා තව සිය ගණනකු ත් මඳ ව පෙනිණ.
බුදුහු ‘මහණ තාගේ මසු සියය කෙතෙක් කුමක් හෙයින් රන අඩුව තෘෂ්ණාවෙන් පුසී ද? තෝ එක මසු සිය ය ඇති තැනැත්තවු තබා මහා මන්ධාතු සක්විත්තෝ ආස බලා අත් පිඩි ගසා ලූ පමණකින් අට සාළිස් ගවුවක් විතරේ සත් රුවන් වස්වන තරම් පිනැති ව ත් මිනිස් සම්පතට ශක්‍ර සම්පත් බලවත් නියාව අසා තව් තිසා දෙව් ලොවට ගොසින් ශක්‍රවරුන් ස තිස් දෙනකු පරමායු තුන් කෙළ සැට ලක්‍ෂ, තුන් කෙළ සැට ලක්‍ෂ ම නිමවා පියන තෙක් ශක්‍ර සම්පත් වළඳා මියන අවස්ථාවෙහි තෘෂ්ණාව පුරා ගත නොහි ම මළෝ ය’යි වදාරා ඒ කෙසේ දැ යි විචාළ වහන්දෑට -
යාවතා චන්දිම සුරියා -
පරිහරන්ති දිසා භන්ති විරොචනා,
සබ්බෙ දාසා මන්ධාතා -
යෙ පාණා පඨවිනිස්සිතා.
යනාදීන් මහා මන්ධාතු ජාතක ය විස්තර කොට වදාරා ඉක්බිති ව සෙසු තබා සත් රුවන් වැසි වැස පූවත්පැන් උනන තැනින් ඉතිර යන ත් උනා යෑමෙහි නියමයක් නැත්තා සේ මෙ තෙක් ඇත්තේ වේ දැයි යන තෘෂ්ණාව නිවාරණයෙක් නැත. තත්‍ව ලෙසින් සැලකූ කලට සම්පතු ත් තත් විෂය වූ තෘෂ්ණාව ත් සීනෙන් විඳින දෙයක් මෙන් ආශ්වාදයකුත් මඳ අඥානව කෙසේ සිතතත් ඊ සැපයකු ත් නැත. එසේ කලට පිළිපන් මනා කෙසේ ද? දිව්‍ය සැපත් වුවත් අමෙද්ධ්‍යයක් මෙන් සිතා ඊ ඇලුම් හැර අර්හත්‍ව ය ම සාධා ගන්ට සිත ත් නම් වුවමනා එ ම ය’යි වදාළ සේක. දේශනා කෙළවර මසු සියයක් නිසා ශාසනාභිරතිය වරනට වන් භික්ෂූන් වහන්සේ ලක්‍ෂ ගණන් වුව ත් එහි නොඇලී සෝවාන් නිවන්හි ඇලුණු සේක. තව ත් බොහෝ දෙන නිවන් දුටහ. ලොවී සැපත් ලද්දවුන් කියනු ම කිම් ද?
එ හෙයින් නුවණැත්තවුන් විසින් නිස්සාර දෙයෙහි කරන ඇලුම් හැර සියලු ලෙසින්ම සාර වූ නිවන්හි ම ඇලුම තර කටයුතු.
-
වාරිනේ- ↑