162. අනඳ මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව

star_outline

තව ද සර්‍වඥානුශාසනා සැකෙවින් දක්වනු නිසා අනඳ මහ තෙරුන් වහන්සේ ප්‍රශ්න විචාළ වස්තුව කියමු.

කෙසේද යත් -

එක් දවසක් අනඳ මහ තෙරුන් වහන්සේ ‘තිලෝගුරු බුදුහු විදර්ශී ආදි වූ සත් බුදුන්ගේ දෙමවුපියන් ද ආයුපරිච්ඡෙද ය ද බෝධි ද ශ්‍රාවක සන්නිපාත ද අග සවු තැන් ද උපස්ථායික තැන් දැ’යි සියල්ල ම වදාළ සේක. පොහෝ කිරීම වදාළේ නැත. කුමක් දෝ ඒ බුදුවරුන් වහන්සේට ත් පොහොය මෙ ම දෝ නොහොත් අනිකක් දෝ හෝ’යි සිතා බුදුන් කරා ගොසින් විචාළ සේක. යම් හෙයකින් ඒ බුදුවරුන් වහන්සේට ත් කාල විශේෂයක් විනා පාමොක් උසුරුවන ගාථාවල වෙනස නැද්ද- එසේ මැයි. විපස්සී බුදුහු සත් හවුරුද්දෙන් සත් හවුරුද්දෙන් පොහොය කරන සේක. එක් දවසෙක කළ අවවාදය ම සත් හවුරුද්දට ම පිරිමැස්ම යහපත් හෙයින් සෑහෙ යි. සිඛි බුදුහු හා වෙස්සභූ බුදුහු ස වන ස වන හවුරුදු පොහොය කරන සේක. එක දා කළ අවවාද ය සාවුරුද්දට සෑහෙයි. කකුසඳ-කෝණාගමන දෙ දෙනා වහන්සේ හවුරුද්දකට එක් දවසක් පොහෝ කරන සේක. ඒ අවුරුද්දට ඒ අවවාද ම සෑහෙයි. කසුබ් බුදුහු ස මසින් ස මසට පොහොය කරන සේක.

එකදා කළ පොහොය ස මසට සෑහෙයි. එ හෙයින් අපගේ බුදුහු තමන් වහන්සේට ඒ සේ වූ කාල විභාගයක් නැති හෙයින් පර්‍ෂද අශුද්ධියක් දැක තමන් වහන්සේ පොහෝ කිරීම් හැර දෙ පෝයෙන් දෙ පෝයේ ම බණ පිරිවා පොහෝ කරන්ට වහන්දෑට ම අනුදත් හෙයිනුත් ඒ ඒ බුදුවරුන් වහන්සේගේ කාල විභාගයත් වදාරා කවර ත් බුදුවරුන් වහන්සේගේ අවවාද ගාථා එ ම නියාව ම වදාරා ඊ ස්වරූපය, වදාරන බුදුහු තුන් දොරින් සිද්ධ වන සියලු අකුසල්හි නොහැසිරීම ද, අගාරික වුව ත් අනගාරික වුවත් ආපාණ කොටික ව කුසල්හි හැසිරීම ද පස් නීවරණයන් දුරු කිරීමෙන් තම සිත් සතන් නිර්‍මල කිරීම ද හෙවත් මෙ ලෙස කිරීමට සර්වඥවරයන්ගේ අනුශාසනාව ය. තව ද ක්‍ෂමාව නම් මේ බුදු සස්නෙහි උතුම් වූ තපසෙක. බුදු පසේ බුදු බුදු සවුවෝ සියල්ලකට ත් වඩා නිවන් ම උතුමැ’ යි කියති. පැවිදි ව සිටි යම් කෙනෙක් අනුන්ට පීඩා කෙරෙත් නම් වෙස් ධරන පමණක් මුත් ඌ මහණහු නම් නොවෙති. යම් කෙනෙක් අනුන්ට උපවාද විසින් නොදොඩත් ද, අනර්ථාවහයක් නො කෙරෙත් ද, ප්‍රාතිමොක්‍ෂ සංවර ශීලයෙහි හා ඉන්ද්‍රිය සංවර ශීලයෙහි පිහිටියෝ ද, තවද ආජීව පාරිශුද්ධි ශීලයෙහි හා ප්‍රත්‍යය සන්නිශ්‍රිත ශීලයෙහි ත් තර ව පිහිටියෝ ද ප්‍රාණවධාදී ත්‍රිවිධකාය දුශ්චරිතයෙන් වැළකීම් වශයෙන් කායික වූ සීලයෙන් හා මුසාවාදාදී වූ චතුර්විධ වාක් දුශ්චරිතයෙන් වැලකීම් වශයෙන් වාචසික සීලය ත් පුරත්ද විවෙක වාස ය ඇති වීමෙන් ත්‍රි විධ ශික්‍ෂායෙහි හැසිරෙත් ද, සර්‍වඥවරයන්ගේ අනුශාසනාව කළා නම් වෙතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ කුඹුරට ගොඩ වානවාරි වුවො ත් මුත් ඇළ අමුණු ඇති ව තිබේ ද? එ මෙන් කුසල් කෙතට සැදෑ ඇළ ඇති ව, තව ද යම් සේ කෙතෙක් ලූ ලූ දිය රඳවන මියර ඇති ව තිබේ ද, එ මෙන් සිල් නමැති මියර ඇතිව, තව ද යම් සේ කෙ තෙක් තෙමේ ආද්‍යවස්ථාවේ නිස්සාර වී නමුත් කොට ගන්නා ලෙසින් සරුවේ ද, එ මෙන් සාර ගුණෙයි පිහිටා ගෙන අධිමුක්ති වූ ලෙසින් ත්‍රිවිධ බෝධීන් අතුරෙන් එක් බෝධියකට පැමිණිය යුතු.