161. ඒරකපත්ත නා රජ්ජුරුවන්ගේ වත

star_outline

තව ද ලඝු වූ ත් අකුශලයෙහි අනිෂ්ට විපාකය දක්වන්ට ඒරකපත්ත නා රජ්ජුරුවන් ගේ වත කියමු.

කෙසේද යත් -

ඒරකපත්ත නම් නා රජ්ජුරුවෝ පෙර කසුබ් බුදුන් සමයෙහි සසුන් වැද මහණ ව ගඟෙකින් හඟුළකට නැඟී ලා යන ගමනේ එරුපත්තක් අල්වා ගෙන හඟුලට නැඟී හඟුල යතත් පත්ත හැර පියන්ට නො වී ය. හඟුල යත් යත් එරුපත්ත කැඩිණ. මේ යන්තමෙක් වේ දැ’යි ආපත්තියක් නො දෙසා විසි දහසක් හවුරුදු මහණ ධම් කොට ත් මියන අවස්ථාවේදී එරුපත අවුත් කර එළී ගත්තාක් මෙන් ඇවැත් දෙසනු කැමැති ව ත් අනික් නමක් ලැබ ගත නො හී විපිළිසර බොහෝ ව ගොසින් මිය එක් දඬු හොරුවක් සා නාග රාජ ව සාපත්තික තැනට නරකය හෝ තිරිසන් අපාය නියම හෙයින් උපන්හ. ඒරකපත්ත ය යන නම නියම වී ය. ඌ උපන් ඇසිල්ලෙහි නාගාත්මභාව ය දැක ‘විසි දහසක් හවුරුදු මහණ ධර්‍ම කොට මඩුවන් ගණන් කන ලෙස නාඟ ව උපන්මි’යි මුසුප්පු වූ ය.

ඌ එක් දියණි කෙනකුන් ලදින් ගං මැද දිය පිට එණ ය. මහත්කොට මවා ගෙන දුවණියන් පෙණ ගබ හිඳුවා ගෙන ‘බුදු කෙනකුන් වහන්සේ ලොව උපන් සේක් වී නම් මේ උපදෙසින් දනිමි’යි පෙණ ගබ සිටි දුවණියන් ලවා ගීයක් කියව කියවා නටවති. මෙ ලෙස ප්‍රසිද්ධ කොට ලා ‘යම් කෙනෙක් මේ ගීයට පෙරළා ගීයක් කිවු නම් උන්ට මුන් සරණ දෙමී’ කියාත් කියති. මෙ ලෙසක් ප්‍රසිද්ධ වූ කලට නාග මානවිකාවෝ දෙ පෝ දවසින් දෙ පෝ දවසට පියාණන්ගේ පෙණ ගබ සිට -

“කිංසු ආධිපතී රාජා - කිංසු රාජා රජිස්සරො,

කථංසු විරජො හොති - කථං බාලොති වුච්චති”

යන මේ ගීය කියති. සියලු දඹ දිව වැස්සෝ ‘නා මෙනෙවිය නිල කොට ගනුම්හ’යි ගොසින් තම තමන්ගේ නුවණ ලෙසින් උන් කී ගීයට පෙරළා ගී කියති. නාග මානවිකාවෝ ඒ ගී නොගිවිසිති. මෙසේ නාගමානවිකාවන් දෙ පෝයෙන් දෙපෝයට පණ ගැබ සිට ගී කියන්නවුන්ට එක් බුද්ධාන්තරයෙක් ගියේ ය.

ඉක්බිත්තෙන් අපගේ බුදුහු ලොව ඉපැද එක් දවසක් අළුයම් වේලේ ලෝ වැඩ බලන සේක් එරුපත් නා රජුන් පටන් උත්තර නම් ලදරුවාණන් පටන් තමන් වහන්සේගේ නුවණ දැල බැඳුණවුන් දැක කුමක් දෝ හෝ යි සලකන සේක් ‘අද එරුපත් නා රජුන් දුවණියන් පණ ගැබ හිඳුවා ගෙන නටවන දවසය. උත්තර මානව ද උන්ට කී ලෙසට මා කියා ලූ ගාථාවක් අසමින් ම සෝවාන් ව ලා නා රජ්ජුරුවන් ළඟට යෙයි. ඔහු ඒ ගීය අසා මා උපන් නියාව දැන ලා මා ළඟට එති. මම උන් අවුත් බොහෝ දෙන රැස් වූ තැන දී ගාථාවක් කියමි. ගාථාව කෙළවර සුවාසූ දහසක් සත්‍වයෝ නිවන් දකිතී’ දුටු සේක.

එසේ දැක වදාරා බරණැසට නුදුරු තැනෙක මහරි ගස් සතෙක් ඇත. ඉන් එක් ගසක් මුල වැඩ හුන් සේක. දඹ දිව වැස්සෝ ද ගීයට පෙරළා ගී හැර ගෙන අවුත් රැස් වූහ. බුදුහු ත් ලඟින් යන උත්තර නම් ළදරුවාණන් දැක ‘උත්තරයෙනි’ වදාළ සේක. ‘කුමක්ද, ස්වාමීනි’යි කී කල්හි ‘මෙසේ එව’යි වදාළ සේක. ගොසින් වැඳලා සිටියවුන්ට ‘කොයි යවු දැ’යි විචාරා එරුපත් නා රජුන්ගේ දුවණියන් ගී කියන තැනට ය’ යි කී කල්හි කියා ලූ ගීයට පෙරළා කියන ගී දනු දැ’යි විචාරා ‘දනිමි’ කී කල්හි ‛කියා බලග’යි වදාළ සේක. උන් තමන් දත් සැටියේ කී කල උත්තරයෙනි, තෙල ගීය උන් ගීයට ගීයෙක් නො වෙයි. තොප උත්තර නම් වූවා සේ ම තෙල ගීයටත් උත්තර ඇත. මම තොපට නිරුත්තර ගීයක් උගන්වා ලමී. ඒ ගීය ඉගෙන යවු දැ’යි විචාළ සේක. ‘යහපත, ස්වාමීනි’යි කිවු ය. බුදුහු උන්ට උත්තරයෙනි, තොපි නාග මානවිකාව ඒ ගීය කී කලට -

ජද්වාරාධිපති රාජා - රජ්ජමානො රජිස්සරො,

අරජ්ජරං විරජො හොති - රජ්ජං බාලොති වුච්චති.

යන මේ ගීය කියා ලව’යි වදාළ සේක.

නාග මානවිකාවන්ගේ ගීයේ අර්ථ ය නම් කුමකට අධිපති කෙනෙක් රජ වෙත් ද? කුමක් විෂයෙහි රජ ඉසුරු කෙරෙත්ද? කවර ලෙසින් විරජ නම් වෙත් ද? කවර ලෙසින් බාල නම් වෙත් දැ’ යි යනු ය. උත්තර මානවකයන් බුදුන් ගෙන් ඉගෙන කී ගීයට පෙරළා කියන ගීයෙහි අර්ථ නම් ‘යම් කෙනෙක් චක්ෂුරාදී ස දොරට හමු වූ රූපාදී ෂඩාලම්බනයට යටත් නො වෙත් නම් ඌ රජ නම් වෙති. යම් කෙනෙක් රූපා දී සාරමුණ එළෙත් නම් ඌ රජ ඉසුරු නම් වෙති. ඊ නො ඇලෙන්නෝ විරජ නම් වෙති. එහි ඇලෙන්නෝ බාල නම් වෙති’ යනු ය.

මෙ සේ බුදුහු උත්තරයන් මේ ගීය උගන්වා ලා ‘උත්තරයෙනි, තොප මේ ගීය කී කලට නාග මානවිකා තොමෝ -

කෙනස්සු වුය්හති බාලො - කංථ නුදති පණ්ඩිතො,

යොගක්ඛෙමි කථං හොති තං මෙ අක්ඛාහි පුච්ඡිතො.

යන ගීය කිය යි. ඒ ගීයෙහි අර්ථ ය නම් - ‘නුවණ නැත්තෝ සසර නමැති මුහුදට කුමකින් ගෙනයනු ලැබෙත් ද? නුවණැත්තෝ කවර ලෙසින් ඒ දුරු කෙරෙත් ද? කවර ලෙසින් නිරුපද්‍රව වෙත්ද? මා විසින් විචාරන ලද්දේ එය කියව’ යනු ය. ඒ කී කලට තොපි -

“ඔඝෙන වුය්හති බාලො - යොගා නුදති පණ්ඩිතො,

සබ්බ යාගවිසංයුත්තො - යොගක්ඛෙමිති වුච්චති”

යන ගීය කියාලව. ඒ ගීයෙහි අර්ථය නම්- ‘නුවණ නැත්තෝ කාමොඝාදී කෙලෙස් වතුරෙන් සසර මහ මුහුදට ගෙන යනු ලබති. නුවණැත්තෝ සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍ය නමැති නැවෙන් කෙලෙස් වතුරෙන් එතෙර ව නිවන් පර තෙරට පැමිණෙති. කාම යොගාදි චතුර්විධ යෝගයෙන් යම් කෙනෙක් වෙන්වූ නම් උන්ට කවර ත් උපද්‍රව නැතැ’යි යනු ය.

උත්තර නම් ළදරුවාණෝ පෙරළා කියන්ට දෙවනුව උගන්වන ගීය අසා සෝවාන් වූහ. ඌ සෝවාන් ව ලා ඒ ගී දෙකත් හැර ගෙන ගොසින් නාග මානවිකාවන් කියන ගීයට ගීයක් ඉගෙන අයිමි. මට අවසර දෙව’යි කියා ලා ගහණව සිටි බොහෝ දෙන පීරා ගෙන ගියහ. නාග මානවිකාවද පියාණන්ගේ පණ ගැබ සිට නටන්නී ආදි කියන ගීය කියයි. උත්තරයෝ ‘ඡද්වාරාධි පතී රාජා” යනාදීන් කිවු ය. නැවත නාග මානවිකාවෝ ‘කෙනස්සු වුය්හතී බාලො’ යනාදී ගීය කිවුය. ඊට පෙර ළා ගීය කියන උත්තරයෝ ‘ඔඝෙන වුය්හතී බාලො’ යනාදී ගීය කිවු ය. නා රජ්ජුරුවෝ ඒ අසා බුදුන් උපන් නියාව දැන බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මෙ සේ වූ පදයක් නොඇසූ විරීමි. බුදුන් ලොව උපන් නියා වේ ද’යි සතුටු ව නගුටෙන් දියට ගැසූහ. මහ රළ නඟා ලා දෙ තෙර ම ඉවුරු බිඳිණ. එ තෙරින් එක් සිය සතළිස් රියනෙක හා මෙ තෙරින් එක් සිය සතළිස් රියනෙක මිනිස්සු ගැලෙන්ට වන්හ. නා රජ්ජුරුවෝ ද දිය බී මියන බොහෝ දෙනා පෙනෙ ගබ හිඳුවා ගෙන ගොඩ ලා පියා උත්තරයන් කරා ගොසින් ‘ස්වාමීනි, බුදුහු කොහි දැ’යි විචාළෝ ය. තෙල මහරි ගස මුල ය’යි කීහ. ‘යහපත එ සේ වී නම් අව මැනැවැ’යි උත්තරයන් කැඳවා ගෙන බුදුන් කරා නික්මුණාහ. බොහෝ දෙන ත් උන් හා කැටිව ම නික්මුණාහ.

නා රජ්ජුරුවෝ ගොසින් සවනක් බුදු රස් හස්සට වැදලා බුදුන් වැඳගෙන හඬ හඬා සිටියහ. බුදුහු ‘නා රජ්ජුරුවෙනි, හඬානැ’යි වදාළ සේක. ‘ස්වාමීනි, මම මුඹ වහන්සේ වැනි බුදු කෙනකුන් වහන්සේට බුදු සවුව විසි දහසක් හවුරුදු මහණ ධම් කෙළෙමි. එතෙක් කල් කළ මහණ ධර්‍ම නිශ්ප්‍රයෝජන වි ය. එරුපත් කැඩී ගිය පමණකට අහේතුක ව ඉපැද බඩ ගා ඇවිදිනා තැන උපනිමි. බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මිනිසත් බවකුත් නො ලද්දෙමි. අද විනා බුදු කෙනකුන් වහන්සේ නුදුටුයෙමි. බණ ඇසීමකුත් නොවී ය. ඒ නිසා හඬමී ‘ කිවු ය. බුදුහු උන්ගේ කථාව අසා බණ වදාරන සේක් ‘පින් කම් කොට බොහෝ උත්සාහයෙන් ලද මනා හෙයින් මිනිසත් බව ත් දුක සේ මුත් නො ලැබෙයි. සත්‍වයන්ගේ ජීවත් වීම ත් කොපමණ කලක් සිටිත ත් දුකසේම මුත් ජීවත් වීම බැරි හෙයින් දුක. නො එක් කප් ගණනෙත් ධර්‍ම දේශක කෙනකුන් නො ලද හැකි හෙයින් බණ අසා ගැන්මත් බැරිය. කප් අසඞ්ඛ්‍යයකත් සර්‍වඥයන් පහළ නො වන හෙයින් සර්වඥවරයන්ගේ පහළ වීම ත් දුකැ’යි වදාළ සේක. දේශනා කෙළවර සුවාසූ දහසක් දෙන නිවන් දුටහ.

නා රජ්ජුරුවෝ ද එ දවසට ත්‍රි හේතුක වූ නම් සෝවාන් වෙති. තිරිසන් යෝනියෙහි උපන් හෙයින් නිවන් සම්භව නො වීය. නාග ව උපන් කල පිළිසිඳ ගන්නා කලත්, සැව ගලවන කලත්, තර ව නිඳන කල ත්, සජාතීන් හා මෙවුන් ධමෙහි ත්, චුත වන කලත් ය’ යි මේ පස් තැනේදී නයි නාග ශරීර ය පහළ වන හෙයින් ගහට විඳිති. මූ තුමූ ඉන් ගහට විඳීම් නැතිව ලදරු වෙසින් ම ඇවිදිති.

එ හෙයින් නුවණැත්තවුන් විසින් නො ලැබ්බ හැකි මිනිසත් බවත් ලත් පසු එ ම තරම් ම බුදුහමුව ත් ලත් බැවින් ජීවිකාව කෙසේ වත් කිම. පින් කම් කිරීමට හේතුව සිටිනා බණ අසා ඒ වූ පරිද්දෙන් පිළිපැද ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කටයුතු.

_________