160. යමාමහ පෙළහර වත

star_outline

තව ද බුදුන්ගේ බුද්ධානුභාව ය දක්වනු සඳහා යමා පෙළහර වත කියමු.

කෙ සේ ද යත් -

එක් සමයෙක රජගහ නුවර සිටාණෝ උපද්‍රවයෙන් මිදෙනු නිසා ගඟ උඩ ත් පාත ත් කෙවුළන්ගේ මහ දැල් බඳවා ලා දිය කෙළි කෙළිති. එ සේ උඩ ත් යටත් දැල් බැඳවූයේ හැයි ද යත් - දිය කෙළිමින් සිටිය දී ගැළවී වැටී ගිය ආභරණෙක් ඇත් නම් ඒ වැද ගෙන තිබෙනු නිසා ය. උඩතින් මහත් කඳන් අවුත් ඇඟ වැද ගනී නමුත් ය යි තව ද කිඹුලුන් දැති මෝරුන් ආදි වූ නො එක් උපද්‍රවයෙන් මිදෙනු නිසා ගඟ උඩ ත් යට ත් දැල් බැන්දවිය යුතු ම ය.

එකල එක් රත් සඳුන් ගසෙක් ගඟ උඩ ත ගඟ ගාවා සිටියේ වතුරු අවුත් මුල් සේදී වැටී ගොසින් හෑලිවල දී ගල්වල ගැසී විසිරිණ. ඉන් කළයක් විතර ගැටෙක් ගල් කැටවල ත් ඉළී රළ ගැස්මෙන් සිලුටු ව සෙවෙල් වසා පියා ගඟ හොස්සේ අවුත් ගඟ උඩත බැඳි දෑල ගැන්නිණ. සවස දැල් හකුළන කෙවුළෝ ද සිටාණන්ට පෑ වු ය. සිටාණෝ මේ කිම් දැ’යි විචාරා රුක් ගැටෙක යනු අසා අසවල් ගැටෙකැ යි දන්නා පිණිස වෑකන්නකින් සස්වා ලූහ. ඒ ඇසිල්ලෙහි ම අලතා පිඬක් සේ රත් පෑය පෙනී රත් සඳුන් නියා ව හැඟිණ. සිටාණන්ගේ ශාසන භක්ති ය ත් තීර්‍ථක භක්තිය ත් නැති ව මැදහත් තරමක් ම හෙයින් ‘අපගේ ගෙයි සඳුන් දඬු බොහෝව. මින් කුමක් කෙරෙම් දෝ හෝ’ යි සිතූහ.

එසේ සිතා ලා මෙ ලොව රහත් කමට ඇවිදිනෝ බොහෝය. මම ඉන් කවුරුත් රහත් බව ත් නො දනිමි. දඬු ලීම් දන්නා කෙනකුන් ගෙන්වා ගෙන බන්දකට නඟා ලා පාත්‍රයක් ලියවා පියා සාල්ලෙක තබා ලා හුණ දඬු ඊ ඊ තබා බන්දා සැට රියනක් චිතර ආසට පාත්‍ර ය නංවා ලා ‘ඉදින් මේ ලොව රහත් කෙනෙක් ඇත් නම් ආසින් අවුත් තෙල පාත්‍ර ය ගත මැනැවැ’යි කියමි. යම් කෙනෙක් එ ලෙසින් ඒ පාත්‍ර ය හැර ගත්තු නම් අඹුදරුවන් හා සමඟ උන් සරණ යම්හ’යි සිතූ හ, සිතා ලා සිතූ ලෙස ම පාත්‍ර ය උඩ නංවාලා ‘මේ ලොව රහත් කෙනෙක් ඇත්නම් ආසින් අවුත් තෙල පාත්‍ර ය ගත මැනැවැ’යි කිවු ය.

පූරණ කාශ්‍යපාදී ස දෙන ‘තෙල පාත්‍ර ය තරම් අපට ය. අනික් ගන්ට තරම් කෙනෙක් නැත. දුන මනා අපට මැ’යි කිවුය. ‘අපි තරමුම් හ’යි කියා ලූ පමණකින් තරම් නියාව අපට දැනෙන්නේ කෙසේ ද? තරම් අඟවතො ත් අහසින් අවුත් හැර ගත මැන වැ’යි කිවු ය. මෙ ලෙස කියා ත් පස් දවසක් විතර ම අහසින් අවුත් සඳුන් පාත්‍ර ය හැර ගන්නා කෙනකුන් නැති ව ස වෙනි දවස් නිගණ්ඨ නාථපුත්‍ර තමාගේ අතවැස්සන් බණවා ලා ‘යව, ගොසින් සිටාණන්ට ‘තෙල සඳුන් පාත්‍ර ය අපගේ ආචාරීන්ට ම තරම. නිස්සාර වූ පාත්‍රයක් නිසා අපගේ ආචාරීන්ගේ සාර ගුණ ය අහසින් ගමන් කරවා ප්‍රකාශ නො කරවුව මැන ව. සාර ගුණ හඟවන්ට ආසින් ගමන් බැරි නො වෙයි. පාත්‍ර ය ඔබට ම දුන මැනැවැ’යි කියව’යි කිවු ය. උයි ත් ගොසින් සිටාණන්ට එ පවත කියා ලූ ය. සිටාණෝ ‘මා එ සේ දෙන්නේ නැත. ඇර ගත හෙන කෙනකුන් ආසින් අවුත් හැර ගත මැනැවැ’යි කිවු ය.

නිගණ්ඨ නාථපුත්‍රයා සිටාණන් කරා තෙමේ යනු කැමති ව පෙරාතු කොට ම තමාගේ අතවැස්සන්ට උගන්වන්නේ ‘මම ඔබ ගිය කල එක් අතකු ත් එක් පයකු ත් ඔසවා ආසට නැඟෙන්ට ආරම්භයක් සේ කෙරෙමි. තෙපි එ විට ‘ආචාරීන් වහන්ස, නිකම් දඬු කඩක් නිසා සැඟවී තුබූ රහත් ගුණය බොහෝ දෙනාට නො පෑව මැනවැ’යි කියා ලා මා අතත් පයත් බඳත් අල්වා ගෙන ඇද බිම හෙලා ගනුව’යි උගන්වා ගෙන නාථපුත්‍රයා සිටාණන්ගේ ඔබ ගොසින් ‘මහ සිටාණෙනි, මේ පාත්‍ර ය අනික් කෙනකුන්ට තරම් නො වෙයි. තරම් අපට මය. නිකම් ලඝු කටයුත්තක් නිසා අප ගේ රහත් ගුණ ය ප්‍රකාශ නො කරව. පාත්‍රයදෙවා පිය ව’යි කිවු ය. සිටාණෝ ද කරන ලෙසින්ම ආසින් අවුත් පාත්‍රය හැරගන්ට උන් අශක්ති නියා ව දැන ලා ‘මේ කියා බොහෝ දෙඩීමෙන් කම් කිම් ද? පාත්‍ර ය තරම් වූවොත් ආසින් ආ ගමනින් ම තරම් නියා ව හඟවා ලා පාත්‍ර ය ගත මැනවැ’යි කිවුය.

එ කල නිගණ්ඨ නාථ පුත්‍ර ‘එසේ වී නම් ඇළව ව යි අතවැස්සන් ඇළකරවා ලා ‘අහසට නැඟෙමි’යි එක් අතක් ඔසවා ගත. කොතැන ගැසුව ත් බල්ලන් පයක් ඔසවා ගන්නා සේ එක් පයකුත් ඔසවා ගත. එකල අතවැස්සෝ ‘ආචාරීන් වහන්ස, දඬු ගැටකින් කළ පාත්‍රයක් තබා මැණික් පාත්‍රයක් වුව ත් සැඟ වී තුබූ රහත් ගුණ ය මුඹ වහන්සේ බොහෝ දෙනාට පෑමෙන් ප්‍රයෝජන කිම්දැ’යි නො පෑව මනා ලජ්ජා ස්ථාන ය ප්‍රකාශ කළාට බැණ නොනැග ත් අත ත් පය ත් අල්වා ගෙන ඇද බිම හෙළා ගත්හ. නිගණ්ඨ නාථපුත්‍ර ද ‘මහ සිට, මූ මා ආසට නැංග නො දෙති. මුන් හැම කටයුත්තෙක හෙළා මා නැංග නොදෙන කල මා කරන්නේ කිම්ද? උනු ත් කියන්නේ කටයුත්තෙක. පාත්‍ර ය දී පියව” යි තමන් යමක් දත නොහෙන්නා සේ උනු ත් දත නො හෙතී දෝ ඉල්වූහ. සිටාණෝ කරන ලෙසින් ම කරන්නා වඤ්චා වූ නියාව දැන ගෙන ‘ආසින් ගොසින්ම පාත්‍ර ය ගත මැනවැ’යි කිවුය.

මෙසේ පූරණ කාශ්‍යපාදීහු ස දවසක් මුළුල්ලෙහි යත්න කො ට ත් බල්ලන්ට පොල් නො පළා ලූවා සේ ආසින් ගමන් තමන්ට බැරි හෙයින් පාත්‍ර ය නො ලත්හ. සත්වන දවස් මුඟලන් මහ තෙරුන් වහන්සේ හා පිණ්ඩොල භාරද්වාජ මහ තෙරුන් වහන්සේ හා රජගහා නුවර සිඟම්හ’යි ගොසින් එක් ගල් පොත්තෙක වැඩ සිට සිවුරු ගැටවටු ගන්වන කල්හි ධූර්තයෝ එක් ව ගෙන ‘පින්වත්නි, පෙර පූරණ කාශ්‍යපාදී ස දෙන ‘අපි රහතුම් හ’යි කියා ඇවිද්දෝ ය. රජගහ නුවර සිටාණන් රහතුන් තෝරන්ට පාත්‍රයක් සැටරියනක් විතරට ආසට නංවා තුබූයේ අදට සත් දවසෙක. ‘ඉදින් රහත් කෙනෙක් ඇත් නම් ආසින් අවුත් හැර ගත මැනවැ’යි සිටාණන් කීව ත් ආසින් ආ කෙනෙක් නැත. මෙ ලොව රහතන් නැති නියා ව අද දතුම්හ’යි කථාවක් ඉපැද වූහ. ඒ කථාව අසා මුගලන් මහ තෙරුන් වහන්සේ පිණ්ඩොල භාරද්වාජ මහ තෙරුන් වහන්සේට ‘ඇවැත්නි, තුලුන් කියන බස් ඇසූයේ ඇත්තේ වේ ද? තුලූ තුමූ බුදු සස්නෙහි තරම් විමසන්නවුන් මෙන් කියති. තෙපි ත් මහානුභාව සම්පන්නයෝ ය. ආසින් ගොසින් තෙල පාත්‍ර ය ගත මැනවැ’යි කී සේක.

අපට වදාරන්නේ හැයි ද, මුඹ වහන්සේ ඍද්ධිමතුන්ට අග්‍ර ය යි ප්‍රසිද්ධ වුව. මුඹ වහන්සේ රහතන් ලොව ඇති නියාව හඟවා තෙල පාත්‍ර ය ගත මැනව. මුඹ වහන්සේ ඇර නො ගනිතො ත් මම ඇරගනිමී’ කී සේක. මුගලන් මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේ ගුණමකු නො වන බැවින් ඔබගේ ත් ආනුභාව ය හඟවනු නිසා තමන් ම හැර ගත මැනැවැ යි වදාළ සේක. එ සේ වදාළ කල්හි පිණ්ඩොල භාරද්වාජ මහ තෙරුන් වහන්සේ සෘද්ධීන් තුන්ගවුවක් විතර දිග පළල ඇති ගල්පොත්ත කබල්ලක් උපුරන කලක් මෙන් උපුටා පුලුන් පෙඳක් මෙන් නඟා රජ ගහා නුවරට උඩ ගල්ලෑල්ල පය අවුළුවාගෙන සත් විටක් සිසාරා ඇවිදි සේක. ඒ ගල්ලෑල්ල ත් නුවර ත් තුන් ගවු තුන් ගවු විතර හෙයින් සැළියකට විතර දාකණ මාලාවක් මෙන් වසාගෙන සිටි ය.

නුවර වැස්සෝ ද ‘තෙල ගල්ලෑල්ල අප මිරිකා ගෙන වැටී යේ නමුත් ය’යි භයින් තැති ගෙන කුලු ආදි ය ඉසට කොට ගෙන ඒ ඒ තැන සැඟවුණාහු ය. සත් වන වාරයේ දී තෙරුන් වහන්සේ ගලතල පළාගෙන නුවර වැස්සන්ට තමන් වහන්සේ පෙනුණු සේක. භයින් තැති ගත් මිනිස්සු ද තෙරුන්වහන්සේ දැක පිණ්ඩොල භාරද්වාජ ස්වාමිනි, තෙල මුඹ වහන්සේගේ ගලතල තර කොට අල්වා ගත මැනව. අප මෙ තෙක් දෙනා නො නැසුව මැනවැ’යි කිවු ය. තෙරුන් වහන්සේ ද ගල තල පයින් ඉවත් කළ සේක. එයි ත් ගොසින් තමා තුබුව මනා තන්හි තිබිණ. තෙරුන් වහන්සේ ද සිටාණන්ගේ ගෙට උඩ අහස සිටි සේක. සිටාණෝ ද ඔබ දැක බඩින් බැස හෙව වැඳ ලා ‘බැස වදාළ මැනව, ස්වාමීනි, කියා ලා ආසින් බට තෙරුන් වහන්සේ වඩා හිඳුවා ලා පාත්‍ර ය බාවාගෙන ශර්‍කරා ආදී වූ චතු මධුර ය පුරා ලා පාත්‍ර ය තෙරුන් වහන්සේට පිළිගැන් වූ ය. තෙරුන් වහන්සේ ද පාත්‍ර ය පිළිගෙන විහාරයට වඩනට නික්මුණු සේක.

වලට කොළට ගිය යම් කෙනෙක් ඔබගේ පෙළහර නුදුටු වූ නම් ඔහු රැස් ව ‘ස්වාමීනි, අපට ත් පෙළහර පෑ වදාළ මැනැවැ’යි පසු පස්සෙහි හී ගත්හ. තෙරුන් වහන්සේ ත් ඒ ඒ දෙනාට පෙළහර දක්වමින් විහාරයට වඩිනා සේක. බුදුහු බොහෝ දෙනාගේ කොලාහල අසා අනඳ මහ තෙරුන් වහන්සේ අතින් කුමන අරගලයෙක් දැ යි විචාරා ස්වාමීනි, පිණ්ඩොල භාරද්වාජ තෙරුන් වහන්සේ ආසින් අවුත් සඳුන් පාත්‍ර ය ලත් සේක. ඒ ආශ්චර්‍ය්‍යයට පැවැති කෝලාහල ය’ යි කී කල්හි භාරද්වාජ තෙරුන් වහන්සේ කැඳවා ලා ‘තොප මෙ ලෙස කෙළේ සැබෑ දැ’යි විචාළ සේක. ‘සැබැ’යි කී කල්හි ‘හැයි’ භාරද්වාජයෙනි, කුමක් නිසා තෙල ලෙස කළා දෑ’ යි වදාරා ඒ පාත්‍ර ය කැබැලි කැබැලි කොට බිඳුවා පියා වහන්දෑට අඳුන් ඝටන්ට දෙවා පියා විකුර්වණ සෘද්ධි ය නො කරන්ට වහන්දෑට සිඛ පද පැනවූ සේක.

තීර්‍ථකයෝ ද ‘මහණ ගොයුම් පාත්‍ර ය ත් රහත් ගුණ සඟවා ලත් හෙයින් බිඳුවා පියා මෙ වක් පටන් පෙළහර නොකරන්ට ත් තමාගේ සවුවන්ට සිඛ පද පැන වී ල. මහණ ගොයුම්හුගේ සවුවෝ ත් පනවා ලූ සිඛපද තමන් දිවි නසිතත් ඉක්ම නොපවත්ති. මහණ ගොයුමුත් තමාගේ සවුටන් නො කරන දෙය තෙමේ ත් නො කෙරෙයි. අපට වූයේ මහත් ඵලයෙකැ’යි නුවරට පලා ගොසින් ඒ ඒ තැන සිට ගෙන අපි අපගේ රහත් ගුණ රකින මෝ දඬු කඬක් නිසා අපගේ රහත් ගුණ නිධාන රක්නා සේ අප අප කෙරෙහි තබා රැකි බව මුත් අනුන්ට නො හැඟවූම්හ. මහණ ගොයුම්හුගේ සවුවෝ තමන් නිස්සාර හෙයින් බලවත් දෙයකු ත් නො ව දඬු කඬක් නිසා තමන්ගේ ගුණ ය බොහෝ දෙනාට හැඟවූ ය. මහණ ගොයුම්හු තමන් ගුණ කුම් වුව ත් නුවණැති හෙයින් ඒ පාත්‍ර ය බිදුවා සවුවන්ට කළ දෙය කළ ත් මතු නො කරන්ට සිඛ පද පැනවූ ය. මෙ වක් පටන් අපි මහණ ගොයුම් හා සමග පෙළහර කරම්හ. පසු නොබසුම්හ’යි කියා ඇවිදිති.

බිම්සර මහරජහු ඒ කථාව අසා බුදුන් ළඟට ගොසින් ‘ස්වාමීනි. මුඹ වහන්සේ සවුචන් වහන්සේට පෙළහර නො කරන ලෙසට කොට වදාළ සම්මත ඇද්දැ’ යි කී ය. ‘එ සේ ය’ යි වදාළ සේක. ‘දැන් තීර්‍ථකයෝ මුඹ වහන්සේ ලා එක්ව පෙළහර කරම්හ’යි කියති. කළ මනා කුමක්දැ යි කිවුය. ‘මහ රජ ඌ පෙළහර කෙරෙත් නම් අපි ත් කරම්හ’ යි වදාළ සේක. ‘හැයි, ස්වාමීනි. සිඛ පද පනවා වදාළේ ඇත්තේ වේද? එසේ වන්නා කෙ සේ දැ’ යි කිවුය.

මම, මහරජ, මට සිඛ පද නො පනවමි. මා පැන වූ සිඛ පද නම් මාගේ සවුවන්ට ම ය’යි වදාළ සේක. ‘මුඹ වහන්සේ හැර ත් පන වන සිඛ පද ඇද්දැ’යි විචාළහ. ‘එ සේ වී නම්, මහ රජ තොප විචාරම්භ.

‘මහරජ, තොපගේ රට අඹ දඹ ආදිය ඇති උයන් ඇද්දැ’යි විචාළ සේක. ‘ඇතැ’යි කිවු ය. ‘ඉදින්, මහ රජ තොපගේ උයන් වලින් බොහෝ දෙනා අවුත් අඹ ආදි ය කත් නම් කළ මනා කිම් දැ’යි විචාළ සේක. ‘අඹ ආදිය කෑවන්ට දඩ ඇත්තේ වේ දැ’යි කිවු ය. ‘උයන අඹ ආදිය තොපට ලැබේ ද, නො ලැබේ දැ’යි විචාළ සේක. ස්වාමීනි, මට දඩ නැත. මාගේ උයන්වල අඹ ආදිය මා අනුභව කරන කල වළකන්නෝ කවුරු දැ’ යි කිවුය. ‘මහ රජ තොප එක් දාස් දෙ සියයක් ගවු පමණ රටක් කරන තැනැත්තවුන් උයන්වල අඹ ආදි ය කන කල දඩ නැති කල සෙස්සන්ට දඩ ඇති කල මාගේ ආඥාව කෙළ ලක්‍ෂයක් සක් වල පවතු ත්, එ හෙයින් මාගේ විධාන ය අනුන්ට මුත් මට නැත. පෙළහර කෙරෙමී තොපගේ උයන්වල අඹ ආදි ය කෑ කල තොපට දඩ නැත්තා සේ ම අනුන් නො කරන්ට විධාන කළ දෙය මා කළැ යි වරද නැතැ’යි වදාළ සේක.

තීර්ථකයෝ ඒ කථාව අසා ආද්‍යන්තයක් සිතා කරන කියන දෙයක් නොවන බැවින් සඳුන් පාත්‍රයට තරමුම්හ යි කියාත් අපගේ ම නො තරම හැඟවූම්හ. දැනු ත් මහණ ගොයුම් හා සමග පෙළහර කරම්හ’යි කියා ත් වෙන ම වියවුලෙක් වද්දී. ආදි කුම් වුවත් මෙවක් පටන් නටුම්හ. මහණ ගොයුම්හු සිඛ පද පැනවූයේ සවුවන්ට ම ල. ඒ විධාන තමන්ට නැත් ල. තුමූ ම දැන් පෙළහර කෙරෙත් ල. කුමක් කරමෝ දැ’යි ඔවුනොවුන් හා කථා කළහ. බිම්සර මහ රජ ද බුදුන් කරා ගොස් ස්වාමීනි, පෙළහර කවර කලෙක වේ දැ’යි විචාළහ. ‘මෙ තැනට සාර මසක් ගිය කල ඇසළ මස පුර පසළොස්වකය’යි වදාළ සේක. ‘කොයි දී’යි ‘ස්වාමීනි’යි රජ්ජුරුවෝ විචාළහ. ‘මහ රජ, සැවැත් නුවරදී ය’යි වදාළ සේක. බුදුහු කුමක් නිසා මෙ සේ ම දුර දී පෙළහර කරන්ට සිතා වදාළ සේක්ද යත් - කවර ත් බුදු කෙනකුන් වහන්සේ තීර්‍ථක මථනය නිසා යමා මහ පෙළහර කරන සේක් වී නම් ඵතැන දීම හෙයිනුත් තව ද බොහෝ දෙනා රැස් වනු නිසා ත් දුරු බා නිල කළ සේක.

තීර්‍ථකයෝ ඒ කථාව අසා “මේ තැනට සාර මසක් විතර ගිය කලට මහණ ගොයුම්හු සැවැත් නුවර දී පෙළහර කෙරෙත් ල. මේ වක් පටන් උන් අත් නොහැර ම ඇවිදුම්හ. බොහෝ දෙනා ත් අප දැක මේ කිම් දැ’යි විචාරති. අපි උන්ට කියන කල ‘මහණ ගොයුම්හු හා පෙළහරක් කරම්හ’යි බසක් කියා පූම්හ. ඌ අප කෙරෙහි භයින් පලා යෙති. උන් ලුහුබඳවා පියා අල්වන්ට යන නියා ය’යි කියම්හ. එයි ත් එක් මිනිසා වන් කමෙකැ’[1]යි කථා කොට ගත්හ. බුදුහු ත් රජගහ නුවර සිහා වළඳා ලා නික්මුණු සේක. තීර්‍ථකයෝ ත් පස්සේ නික්ම බුදුන් වැළඳු තැන තුමූ ලගිති. බුදුන් සැතපුණු තැන දී තුමූ බත් කති. දුටු දුටු කෙනකුන් මේ කිම් දැ’යි විචාළ කල තමන් ආදි කියා ගෙන හුන් ලෙස ම කියති. බොහෝ දෙනා ත් පෙළහරෙහි ස්වරූප තීර්ථකයන් ගෙන් ම ප්‍රසිද්ධ හෙයින් පෙළහර බලන්ට නික්මුණාවු ය.

බුදුහු සැවැත් නුවරට වැඩි සේක. තීර්‍ථකයෝ බුදුන් හා කැටිව ම ගොසින් තමන්ට උපාසක ව හිඳිනවුන් සමාදන් කරවා ගෙන මසු ලක්‍ෂයක් ලදීන් කපට කිහිරි කප ම ලවා මණ්ඩපයක් කරවා නිල් මහනෙල් මල් පෙත්තෙන් හොයවා ලා පෙළහර මෙ තැනදී ම කරම්හ’යි හුන්හ. පසේනදි කොසොල් රජ්ජුරුවෝ බුදුන් කරා ගොසින් ‘ස්වාමීනි, තීර්ථකයෝ තමන්ට පක්‍ෂ කෙනකුන් හැර ගෙන මසු ලක්‍ෂයක් දී ලා මණ්ඩපයක් කරවා ශත්හ. මම ද මුඹ වහන්සේට මණ්ඩපයක් කරවා දෙමි’ කීහ. ‘මහ රජ, නො කැමැත්තෙමි. අපට මණ්ඩප කරවන්නෝ ඇතැ’යි වදාළ සේක. මණ්ඩපයක් කරවා දී ලන්ට මා විනා අනික් ශක්ති ඇත්තෝ කවුරු දැ’යි කිවු ය. ‘මහ රජ, සක් දෙවිඳු ය’ යි වදාළ සේක. “ස්වාමිනි, පෙළහර කරන්නේ කො තැනක දී දැ’යි විචාළෝ ය. ‘මහරජ, ගණ්ඩම්බ නම් අඹගස මුලදීය යි වදාළ සේක. තීර්‍ථකයෝ අඹ ගසක් මුල දී බුදුන් පෙළහර කෙරෙතී’ පරම්පරා කථාවෙන් අසා තමන්ට පක්‍ෂ ව හිදිනවුන්ට කියා ලා සතර ගවුවක් ඇතුළත යටත් පිරිසෙයින් එ දවස් නැඟී අඹ පැළ දක්වා ත් උදුරුවා ගණ්ඩම්බ නම් අඹ ගස තෝරන්ට කළා සේ වලට දමාපූ ය.

බුදුහුත් ඇසළ මස මැදි පොහෝ දවස් ඇතුළු නුවරට සිඟා වන් සේක. රජ්ජුරුවන්ගේ ගණ්ඩම්බ නම් වූ උයන් ගොව් ද විළිකුන් අඹ එ වකට නිමලූ වත් දිමිති කැදැල්ලක් ඇතුලේ තිබී විළික්සුණු අඹයක් රස ලෝභයෙන් පිරිවරා හුන් පක්ෂීන්ගේ වශයෙන් දැක උන් නෙර පියා අඹ ය කඩා ගෙන රජ්ජුරුවන්ට දෙන්ට යන තැනැත්තෝ අතුරු මඟ දී බුදුන් දැක ‘රජ්ජුරුවන් වහන්සේ මේ අඹය මේ නිමවූ සේක් නම් සමාධි ව මට අට මස්සක් හෝ සොළොස් මස්සක් හෝ දෙවා වදාරන සේක. මාගේ දෛව එ පමණකට ම හෙයින් වඩා නැත. උන් වහන්සේ ගෙන් ලත් අට මස්සක් වුව ත්, සොළොස් මස්සක් වුව ත් මේ එක ජාතියේ පමණකු ත් මා රැක පිය නො හෙයි. ඉදින් මම මේ අඹ ය බුදුන්ට පිළිගන්වා පීම් නම් අනන්ත කාලයක් මුළුල්ලෙහි මට ලොවී සම්පත් සාදා දීලා එක ආම්‍ර ඵලයට ශ්‍රාමාණ්‍ය ඵල සතර වුව ත් සාදා දී ලයි’ සිතා ඌ ඒ අඹ ය බුදුන්ට පිළිගන්වන්ට ගෙන ගියහ. බුදුන් අනඳ මහ තෙරුන් වහන්සේ මූණ බලා වදාළ සේක. ඔබ වරම් රජුන් දුන්නා වූ මුං වන් සල ගල් පත්‍ර ය පිළිගන්වා ලූ සේක.

බුදුහු ත් පාත්‍ර ය පෑ ලා අඹ ය පිළිගෙන අඹ ය දුන් උයන් ගොවුවාණන්ට ලොවී ලොවුතුරා සැප ත් නිල කරවා එ තැන් හි දී ම අඹ ය වළඳනු කැමති ව වදාළ සේක. තෙරුන් වහන්සේ සඟළ සිවුර සතර පට කොට ලා පනවා ලූ සේක. එහි වැඩ හුන් කලට තෙරුන් වහන්සේ පැන් පරහා ගෙන අවුත් අඹ ය මැඬ අඹ පැන් කොට ලා දෙවා ලූ සේක. බුදුහු අඹ පැන් වළඳා ලා ගණ්ඩම්බයන්ට ‘තෙල, අඹ ඇටය නිකම් දමා නො පියා මෙතැනම පස් පීරා ලා හිඳුවා ලව’යි වදාළ සේක. උයි ත් එ ලෙස ම කළහ. බුදුහුත් හිඳුවා ලූ අඹ ඈට මත්තට අත සෝදා වදාළ සේක. බුදුන්ගේ ශ්‍රී හස්ත ය තෙමා ගෙන පැන් වැගිරෙන්නා ම අඹ කඳ නඟුලිසක් සා ව ලා උසින් පනස් රියන් ව පැන නැංගේ ය. සතර දිගට ගිය සතර කඳ ත් මුදුනට ගිය කඳත් පනස් පනස් රියන් පමණ ය.

එ හෙයින් ඒ අඹ ගස මුල පටන් අගට සියක් රියන් උස ය. නැගෙනහිර අතු අග පටන් බස්නාහිර අතු අගට සියක් රියන. දකුණු දිග අතු අග පටන් උතුරු දිග අතු අගට ත් සියක් රියන. සෙවන මඬුල්ල වට තුන් සියක් රියන. ඒ අඹ ගස ඒ ඇසිල්ලෙහි ම මල් පල්ලෙන් සැදී සිටි ය. විළිකුන් අඹ ත් පඬරු අඹ ත් මූ කළ අඹත් පැසී ලන තරම් අඹ ත් මැලැසි අඹ ත් ඇති වි ය. මාර්‍ග ඵල හා සමඟ ලබන අභිඥා සේ ම මල් කැනු ත් ඇති වි ය. බුදුන්ට පසුව ලා වඩිනා වහන්දෑ එ ගසින් විළිකුන් අඹ වළඳා ම වැඩි සේක. රජ්ජුරුවෝ ත් මෙ තරම් අඹ ගසක් ඇති වී ල, යනු අසා කපා නො පියන ලෙසට තර කොට රකවල් ලවා ලූහ.

ඒ අඹ ගස ත් ගණ්ඩම්බ නම් උයන් ගොව්වා හිඳුවා ලූ හෙයින් ගණ්ඩම්බ ය යි ප්‍රසිද්ධ වි ය. එ තැනට සම්භ වූ ධූර්ථයෝ ත් අඹ ගසට රකවල් මුත් විලික්සී වැගිරෙන අඹයට රකවල් නැති හෙයින් අවුළා කා පියා ‘කොල දුෂ්ට වූ නිවට කොල්ලෙනි, මහණ ගොයුම් ගණ්ඩම්බ නම් අඹ ගස මුළදී පෙළහර කරන්නේ ය’යි ඒ බොරු කරන්ට සතර ගවුවක් ඇතුළත එ දවස් නැඟී අඹ පැළ ත් උදුරා දම්මවා ඇවිද්දාවු ද? හෙම්බා, ඒ කියන ගණ්ඩම්බ ය නම් තෙළේ ය. තෙලේ ගණ්ඩම්බ වූයේ හුදෙක් ගණ්ඩම්බ නම් උයන් ගොව්වා ඇති කළ හෙයින් ම නො වෙයි. තෙල ලෙසිනු ත් ගණ්ඩම්බ වුව මැනවැ’යි කියන්නාක් මෙන් කා කාපු ඇට බා ල මරා තීර්ථකයන් ඇඟ ගඩු නංවා පූහ.

සක් දෙවිඳු ද වාතවලාහක දෙවි පුතුන්ට තීර්‍ථකයන් ඉදිකළ මණ්ඩපය සුළඟක් හමවා ලා, කසල ගොඩට දමවා පියව යි විධාන කොළෝ ය. උයි ත් එ ලෙස ම කළහ. සූර්‍ය්‍ය දිව්‍ය පුත්‍රයාණන්ට අවුව තද කරන්ට විධාන කළහ. උයි ත් අවුව තද කළහ. නැවත සක් දෙවිඳුහුගේ ම විධානයෙන් වාතවලාහකයෝ මහ සුළඟක් හමවා ලා අවුව තද ව ඩා වගුරුවා හුන් තීර්‍ථකයන් ඇඟට ධූලි නංවා පුරා ලූ ය. උන්ට පෙළහර නම් එම වන්නා සේ තුඹස් ගොඩවල් මෙන් වූහ. සක් දෙවිඳුහුගේ විධානයෙන් වස්සවලාහකයෝ ද දළ දළ කොට ලා පොද වස්වා ලූහ. එ කල තීර්‍ථකයෝ කබර ලා ගොන් මෙන් තිත් ගැසී ගියහ. ඌ තුමූ පෙළහර තබා බොහෝ විපිළිසරට පැමිණ තමන්ගේ ආසින් ගමන් නැත ත් දුක සේ කරවා ගත් මණ්ඩපය සුළඟේ ගිය හෙයිනු ත් තමන් තේජසක් නැත ත් හිරු තේජස මහත් ව අභිමාන ගුණ ය වැගිරෙන්නා සේ බොහෝ ඩා ත් වැගිර ගොසින් පෙරළා හමන සුළඟ ගිම් නිවන්ට ත් නො ව ධූලි ගෙනවුත් ඇඟ පුරා පී හෙයින් රඟමඬලකට කොමාලින් සේ ම ව ගොසින් පසු ගසන පොද බුඳ ත් ඝන ව වැස පිපාසා නිවා පැනක් බී පියන තරමට දිය හෙළා වැස පියන්ට ත් නො ව දළ දළ කොට ලා තුනී නො ව වැස පී හෙයින් කබර ලා ගොන් සේ ව පියා තමන් දන්නා පෙළහර නම් එ ම හෙයින් කිසි ත් පිහිටක් නැති ව ඉස් ලූ ලූ අත දිවන්ට වන්හ.

නිවටුන් මෙ ලෙසින් නික්මුණු කලට පූරණ කාශ්‍යපයාට උපාසක ව හිඳිනා එකෙක් සීයක් සාමින් සිට ‘මේ අපගේ රහතන් පෙළහර කරන වේලා ය. සී පසුව ත් සාන්ට හැක්ක, පෙළහර බැලුව මැනවැ’යි සිතා සානා ගොන් උනා හැර පියා උදාසන උළුකැන් ගෙනා කළය ද රෑන බාන් ද හැර ගෙන එන තැනැත්තෝ පූරණ කාශ්‍යපයා තමා නො රහත් නියා ව හඟවන්නාක් මෙන් උපන් වනින් දුවන්නහු දැක ‘ස්වාමීනි, මම සානා සීත් අදට දමා පියා මුඹ වහන්සේලාගේ පෙළහර බලන්ට එමි. මුඹ වහන්සේ වඩන්නේ කොයට දැ’යි කිවු ය. තාගේ වළාම් පෙළහර තබා මට තෙල කළය ත් රෑණ ත් දී පියව’යි කියා ලා නො සිටිනා ගෙරි සරක් බැඳ ගෙන කිරි දෝනට යන එඬේරකු මෙන් කළයත් රෑණත් හැර ගෙන ගඟ බඩින් ගොසින් රෑණෙන් කළය බැඳ ලා තමා බොටුවේ බැඳ ගෙන දිය පිට පැන කිමිද කුඩමස්සන් අල්වන්ට බසිනා කෙවුළු කොල්ලෙකු මෙන් දියබුබුළු නංව නංවා ගිලී ගොසින් මිය ආයු පමණින් සිටිය ත් යන්නා ඔබ හෙයින් අවිචියෙහි උපන.

සක් දෙවිඳු ද ආස රුවන් සක්මනක් මැවූහ. ඒ සක්මන එක් කෙළවරක් නැගෙනහිරි සක්වළ ගල් මුව විට වි ය. එක් කෙළවරක් බස්නාහිර සක්වල ගල් මුව විට වි ය. බුදුහුත් පෙළහර බලන්ට බොහෝ දෙන අවුත් එක්සිය සැට ගවුවෙක විතර සැලසී සිටි කලට පස්වරු වේලේ දැන් පෙළහර පානා වේලා ය යි ගඳකිළි ඇතුලතින් නික්ම පෙරමාලේ වැඩසිටි සේක. එ කල ඝරණී නම් අනගැමි උපාසිකා කෙනෙක් තමන් බලවත් සෘද්ධි ඇති හෙයින් බුදුන් කරා අවුත් ‘ස්වාමීනි, දරුවන්ගේ ප්‍රයෝජන නම් මෙසේ වූ තැනට වේද? මා තරම් දුවක හින්ද දී මුඹ වහන්සේ ආයාස ගන්නේ හැයි ද, මුඹ වහන්සේ පෙළහර දක්වා වදාළ මනා එක අවධියේ අනිකුත් බුදු කෙනකුන් වහන්සේ ඇත්නම් ඔබ හා එක්ව වේ ද? බැලූවන්ට රිසියෙන්නෙ ත් එසේ ය. කාමරාග ව්‍යාපාද නිඃශෙෂයෙන් පැසුණු හෙයින් තෙල කොල්ලන් හා ස්පර්ධාවට මමත් තරම් නොවෙමි. එ තෙකුදු වුවත් මුඹ වහන්සේ රඳවන නිසා මම පෙළහර දක්වමි” කිවු ය.

බුදුහු ද උන් හා සිංහනාද කරවනු පිණිස ‘ඝරණීනි, පෙළහර කෙලෙස කරවු දැ’යි වදාළ සේක. එක් සක්වළෙක මහපොළොව මුහුදක් කොට මවා ලා මම දියකා වෙසක් මවා ගෙන කිබිස පියා නැඟෙනහිර සක්වල ගල කෙරෙන් හිස නඟා ලමි. එ තැනින් කිබිසි කල බස්නාහිර සක්වල ගල කෙරෙන් හිස නඟා ලමි. දකුණු දිග සක්වල ගල කෙරෙන් කිබිසි කල උතුරු දිග සක්වළ ගල කෙරෙන් හිස නඟමි. එ තැනින් කිබිසි කළ දකුණු දිග සක්වළ ගල කෙරෙන් ඉස නඟමී. වටින් කිබිසි කල මධ්‍යයෙන් හිස නඟමි. මධ්‍යයෙන් කිබිසි කල වටින් හිස නඟමි. තුලූ කවුරු දැ’යි විචාළ කල්හි ඝරණී නම් අනගැමි උපාසිකා කෙණෙකැ යි කියති. ගෑනු ව සිටි මුන්ගේ ආනුභාව ය. මෙ තරම් කල බුදුන්ගේ ආනුභාව කවර තරම් දැ’යි තීර්ථකයෝ මුඹ වහන්සේ නොදැක ම පලා යෙතී’ කීහ. බුදුහු ‘ඝරණීනි, තොප එ බඳු බල ඇති නියාව දනුම්හ. එ තකුදු වුවත් මේ තොප පිළිබඳ දෙයක් නොවෙ’යි වදාළ සේක.

ඉක්බිති අනගැමි වූ සුළු අනේපිඬු සිටාණෝ ‘මා වැනි අනගැමි උපාසකයෙකු ඉන්ද දී මුඹ වහන්සේ ආයාස ගන්නේ හැයි ද? මම පෙළහර දක්වමි’ කියා ලා කවර ලෙස පෙළහර කරවු දැ’යි විචාරා වදාළ කල්හි ‘මම, ස්වාමීනි, අට සාළිස් ගවුවක් විතර උස ඇති බඹ අත් බැවක් මවා ගෙන මේ සා මහත් පිරිසක් මැද මෙඝ නාදයක් වැනි වූ බ්‍රහ්මනාද පවත්වමින් අත් පොළසන් දෙමි. බොහෝ දෙන මේ කුමන කෝලාහලයෙක් දැයි විචාළ කල්හි සුළු අනේපිඬු සිටාණන් බඹ වෙස් මවා ගෙන අපොළන නියා ය යි කී කල්හි තීර්ථකයන්ට භය උපදවමින් ප්‍රශංසා කෙරෙති. තීර්ථකයෝ ද ‘මහණ ගොයුම් හට උපාසක ව සිටි සිටාණන්ගේ ආනුභාව මෙ තරම් කල මහණ ගොයුම්හුගේ ආනුභාවය කියනුම කිම් දැ’යි මුඹ වහන්සේ නොදැකම පලායෙතී’ කිවු ය. බුදුහු එයි ත් නො ගිවිසි කල්හි උයි ත් ඉවත්ව ලා සිටියහ.

ඉක්බිති ව චිරා නම් රහත් සාමණේරී කෙනෙක් ගුණෙන් මූ කුරා සිටියත් තුමූ සත් හැවිරිදි වූවාහු බුදුන් වැඳ ලා ‘මේ තීර්‍ථකයන් පමණකට මම පෙළහර කෙරෙමී’ කිවු ය. පෙළහර කරන්නේ කෙසේදැ යි විචාළ කල්හි ‘ස්වාමීනි, මම මහ මෙර ද සක්වළ ගල ද හිමාලය පර්වත ය ද මෙ තැනට ගෙනවුත් මෙ තැන පිළිවෙළින් තබාලා මම මෙහෙණිනි වෙස හැර ලා හංස ධේනු වෙසක් මවා ගෙන මහමෙර ත් සක් වල ගල ත් හිමාලය පර්‍වතය ත් තුන එක් කොට විද අවුණන්නා සේ මඳ පැකිලීමකුත් නැති ව විනිවිද ගෙන යෙමි. බොහෝ දෙන මා දැක මූ කවුරු දැ යි විචාරා මා නියාව දනිති. තීර්ථකයෝ ද සිත කණ වුවත් ඇස් නො කණ හෙයින් මේ පෙළහර දැක ‘මුන් මේ තරම් කල මහණ ගොයුම්හුගේ ආනුභාව බලවත් ම වේනු’ යි සිතා මුඹ වහන්සේ නො දැකම පලා යෙතී’ කීහ. බුදුහු එයි ත් නො ගිවිසි කල්හි තව ද පිළිසිඹියා පත් රහත් සත් හැවිරිදි චුන්‍ද නම් හෙරණ කෙනකුන්දෑ බුදුන් වැඳ ලා දෙමවුපියන්ට බාල දරුවන් කරන දෙය නම් සුරතලක් සේ වේද, මම පෙළහර කරමී’ කී සේක.

‘පෙළහර කරන්නේ කවර ලෙස දැ යි විචාළ කල්හි ‘මම ස්වාමීනි, දඹදිවට සලකුණු වූ මහ දඹ ගස අල්වා ගෙන සොල්වා මහ දිය කළ සා දඹ වගුරුවා ගෙන අවුත් ‘එක් සිය සිවු සාළිස් ගවුවෙක පැතිර සිටි පිරිසට බඩ පුරා කන පරිද්දෙන් දී ලමි. ඒ කා ලා සිටියවුන් පළඳනා ලෙසට තව්තිසා දෙව්ලොව ගොසින් පරසතු ගසින් මල් සලා වගුරුවා ගෙනවුත් දෙමී’ කී දෑ ය. බුදුහු එයි ත් නොගිවිසි හෙයින් උපුල්වන් මහා ස්ථවිරින්දෑ බුදුන් වැඳ ලා ‛ස්වාමීනි, මුඹ වහන්සේගේ ගෑනු දූ බව මුත් මුඹ වහන්සේගේ සෙසු ගෑනු දූන් ගෙන් මට වඩා සෘද්ධිමත් කෙනෙක් නැත. මා තරම් දුවක ඇති ව මුඹ වහන්සේ ආයාස ගන්නේ හැයිද, මම පෙළහර කෙරෙමී’ කී දෑ ය. ‘තොපි පෙළහර කවර ලෙස කරා දැ’යි විචාළ කල්හි ‘ස්වාමීනි, මෙ වක සක්විති කෙනෙක් නැත්තෝ වේ ද, දිගිනු ත් පළලිනු ත් අට සාළිස් ගවුවෙක පැතිර සිටි වටින් එක සිය සිවු සාළිස් ගවුවෙක පැතිර සිටි සක්විති පිරිස් ඇති ව සක් රුවනින් සමන්විත වූ සක්විති වෙසක් මවාගෙන අවුත් මුඹ වහන්සේ වඳිමි. බොහෝ දෙනා මා දැක විචාරති. විචාරා මා නියාව දනිති. තීර්ථකයෝ ද සියලු ලෙසින් දුර්‍වල ව සිටි ගෑනු පක්‍ෂයෙහි ආනුභාව මෙ තරම් කල මහණ ගොයුම්හුගේ ආනුභාව නම් කවර තරම් දැ’යි මුඹ වහන්සේට ලං නොවම යෙතී” කී දෑය.

බුදුහු එයි ත් නො ගිවිසි හෙයින් උපුල්වන් මහ ස්ථවිරීන් දෑත් ඉවත්වලා සිටි පස්සේ බුදුන්ට ඉක්බිති සෘද්ධිමත් මුඟලන් මහ තෙරුන් වහන්සේ බුදුන් වැඳ ලා ‘ස්වාමීනි, නන්‍දොපනන්‍ද දමනයෙහි නන්දෝපනන්‍ද නම් නා රජහු දරණ පට සතෙකින් මහ මෙර වෙළා ගෙන ඵණයෙන් මෙර මුදුන වසා අඳුරු කළ කල්හි උගේ සත් පටට තුදුස් පටක් ලා ලා ඵණය මත්තෙහි ඵණ ය තබා ගෙන මැඬ මිරිකා ඌට කළ දෙය දැක වදාළ මම පෙළහර දක්වමි’ කී සේක. ඒ වන්නා දුටුමෝ වේ ද? තව කවර ලෙස පෙළහර කරවුදැ’යි විචාළ සේක. ‘මම ස්වාමීනි, එක් ලක්‍ෂ අට සැට දහසක් යොදුන් උස ඇති සුවා සූ දහසක් යොදුන් ඝන ය ඇති මහ මෙර මාගේ දත් හස්සේ තබා ගෙන බැද පු උඳු පියල්ලක් මෙන් සපා කතත් පිළිවනැ’යි වදාළ සේක.

‘අනික් කුමක් පිළිවන් දැ’යි විචාළ කල්හි ‘ස්වාමීනි, දෙලක්‍ෂ සතළිස් දහසක් යොදුන් බොල් පොළොව පාන් කඩක්[2] සේ හකුළුවා ගෙන ඇඟිලි හස්සේ තබා ගනිමී’ කී සේක. අනික් කුමක් කරා දැ’යි විචාළ කල්හි මේ මහ පොළොව යට පිට උඩ ත් කොට පෙරළා ගෙන පොළොව රස ඕජා ව ගෙවලට ගොස් බත් පැන් අනුභව කරන තෙක් පෙළහර බලන්ට රඳා සිටිනා ලෙසට අනුභව කරවමී වදාළ සේක. ‘අනික් කුමක් කරා දැ’යි විචාළ කල්හි ‛මේ දඹදිව මාගේ වමත්ලෙහි තබා ගෙන දඹදිව් වැස්සන් අනික් දිවයිනෙක ලා පියමී’ වදාළ සේක. ‘අනික් කුමක් කරවු දැ’යි විචාළ කල්හි ‘මහ මෙර කුඩ දණ්ඩක් කොට ගෙන මහ පොළව කුඩ මැඬිල්ලක් සේ ඊ මත්තේ තබා ගෙන පත් කුඩයක් හැර ගෙන සක්මන් කරන භික්ෂු කෙනකුන් පරිද්දෙන් මෙර දඬු පොළෝ කුඩ ය හැර ගෙන ආස සක්මන් කෙරෙමී’ කී සේක. ‘තොපත් එ බඳු ආනුභාව ඇති නියාව දනුම්හ. සුළු අනේපිඬු සිටු ආදිනුත් තමන් තමන් කියා ලූ තරමේ පෙළහර දක්වන්ට බල ඇති නියාව දනුම්හ. එ තකුදු වුව ත් මේ තොප හැම දෙනා පිළිබඳ දෙයක් නො වෙ’යි වදාළ සේක. ‘අප හැම තැන් ගේ පෙළහරටත් වඩා බලවත් පෙළහරක් වුව මනා තැනක් නියා ය’යි සිතා ලා ඉවත් ව ලා සිටි සේක.

එ වේලෙහි බුදුහු මුඟලන් මහ තෙරුන් වහන්සේ බණවා ලා ‘එක් සිය සිවු සාළිස් ගවුවෙක පැතිර සිටි පිරිස් මධ්‍යයෙහි ‘තොප හැම දෙනාගේ ආනුභාව ප්‍රකාශ වන ලෙසට තොප හැම ලවා සිංහ නාද කරවන්ට මුත් බුදුවරුන්ට ම ආවේණික ව පැමිණි කටයුත්ත තොප හැම දෙනාට බැරිය. මම නම් කවුරුන් හා ත් සම නො වෙමි. මට පැමිණි බරක් මා ම උසුලා මුත් අනික් කෙතෙක් දෙනා ත් සොලවා ලිය නොහෙති. දැන් බුදු වූ අවස්ථාවේ තබා නන්‍දිවිසාල නම් වූ ගොන් ව උපන් කල ත් මා තනි ව ඇද ලූ ගැල් කෙ තෙක් දෙනා ත් ඇද ලිය නුහුණු වූ ය’යි වදාරා ලා-

“යතො යතො ගරූධුරං - යතො ගම්භීර වත්තනී,

තදස්ස කණ්හං යුඤ්ජන්ති - ස්වාස්සු තං වහතෙ ධුරං,

මනාපමෙව භාසෙය්‍ය - නාමනාපං කුදාචනං,

මනාපං භාසමානස්ස - ගරුං භාරං උදබ්බහි.

ධනඤ්ච නං අලබ්භෙසි - තෙන වත්තමනො අහු.”

යනාදීන් නන්‍දිවිසාල ජාතක ය විස්තර කොට වදාරා තමන් වහන්සේ කරන යමා මහ පෙළහර තමන් වහන්සේට මුත් ඔබකට බැරි නියාව සාදා ලා රුවන් සක්මනට නැඟි සේක. බුදුන්ට පෙරටු ව ත් පිරිස අට සාළිස් ගවුවෙක සිටියහ. පිටි පස්සෙත් අට සාළිස් ගවුවෙක ම සිටියහ. දකුණත් පස වම ත් පසත් එ සේ ම සිටියහ. එක් කොට දිගින් පළලින් සයානූ ගවුවෙක පැතිර සිටියහ. වටින් දෙ සිය අසූ ගවුවෙක පැතිර සිටියහ. බුදුහු මැද වැඩ සිට යමා මහ පෙළහර කරන සේක.

යමා මහ පෙළහර කෙළේ කවර ලෙස ද යත් - තේජො කසිණයට සම වැද ලා එයින් නැඟී පෙකිණියෙන් උඩ වූ ශරීර භාගයෙන් ගිනි කඳ පවත්වන සේක. ආපෝ කසිණයට සම වැද ලා එයින් නැඟී පෙකණියෙන් පාත ශරීර භාගයෙන් දිය කඳ පවත්වන සේක. පෙරළා දිය කඳ පැවැති අධඃ කයින් ගිනි කඳ පවත්වන සේක. ගිනි කඳ පැවැති ඌර්ධව කයින් දිය කඳ පවත්වන සේක. බඩදසාවේ ශරීර භාගයෙන් ගිනි කඳ පවත්වන සේක. පිට දසාවේ ශරීර භාගයෙන් දිය කඳ පවත්වන සේක. දිය කඳ පැවැති පිට දසාවෙන් ගිනි කඳ පවත්වන සේක. ගිනි කඳ පැවැති බඩ දසාවෙන් දිය කඳ පවත්වන සේක. තව ද දකුණු ඇසින් ගිනි කඳ පවත්වන සේක. වම් ඇසින් දිය කඳ පවත්වන සේක. පෙරළා වම් ඇසින් ගිනි කඳක් හා දකුණැසින් දිය කඳක් පවත්වන සේක. තව ද දකුණු කන් සිදුරෙන් ගිනි කඳක් හා වම් කන් සිදුරෙන් දිය කඳක් පවත්වන සේක. පෙරළා වම් කන් සිදුරෙන් ගිනි කඳක් හා දකුණු කන් සිදුරෙන් දිය කඳක් පවත්වන සේක. තව ද දකුණු නාසා සිදුරෙන් ගිනි කඳක් හා වම් නාසා සිදුරෙන් දිය කඳක් පවත්වන සේක. නැවත වම් නාසා සිදුරෙන් ගිනි කඳක් හා දකුණු නාසා සිදුරෙන් දිය කඳක් පවත්වන සේක.

තව ද දකුණු උරයෙන් ගිනි කඳක් හා වම් උරයෙන් දීය කඳක් පවත්වන සේක. පෙරළා වම් උරයෙන් ගිනි කඳක් හා දකුණු උරයෙන් දිය කඳක් පවත්වන සේක. තව ද දකුණු ශ්‍රී හස්තයෙන් ගිනි කඳක් හා වම් ශ්‍රී හස්තයෙන් දිය කඳක් පවත්වන සේක. පෙරළා වම් ශ්‍රී හස්තයෙන් ගිනි කඳක් හා දකුණු ශ්‍රී හස්තයෙන් දිය කඳක් පවත්වන සේක. තව ද දකුණු ඇළයෙන් ගිනි කඳක් හා වම් ඇළයෙන් දිය කඳක් පවත්වන සේක. පෙරළා වම් ඇළයෙන් ගිනි කඳක් හා දකුණු ඇළයෙන් දිය කඳක් පවත්වන සේක. තව ද දකුණු පයින් ගිනි කඳක් හා වම් පයින් දිය කඳක් පවත්වන සේක. පෙරළා වම් පයින් ගිනි කඳක් හා දකුණු පයින් දිය කඳක් පවත්වන සේක. තව ද අත ඇඟිලි දසයෙන් හා පය ඇඟිලි දසයෙන් හා ඇඟිලි විස්සෙන් ගිනි කඳ දසයක් හා දිය කඳ දසයක් පවත්වන සේක. අත ඇඟිලි හසු අටින් හා පය ඇඟිලි හසු අටින් හා ගිනි කඳ අටක් හා දිය කඳ අටක් හා සොළොසක් පවත්වන සේක. තව ද අනූනව දාසක් ලොමින් එකි එ කී ලොම් අගකින් ගිනි කඳක් හා ලොම් පිහිටි වළින් දිය කඳක් පවත්වන සේක. පෙරළා ලොම් අඟින් දිය කඳක් හා ලොම් පිහිටි වළින් ගිනි කඳක් පවත්වන සේක. ගිනි කඳ දිය කඳ පවත්වමින් සිට ම රන් විමනෙක රුවන් ගොනැස් උරවන කලක් මෙන් සවනක් රස් විහිදුවන සේක.

තව ද එක විටක හිරු දෙකක් පහළ වූවා සේ අනික් බුදු රුවක් මවා ලූ සේක. මවා ලා තමන් වහන්සේ සතර රියන් සක්මනක එ කෙළවරින් එ කෙළවරට නිමවා ගොස් මුත් අතුරෙක නො නවත්නා සේ සක්වළ දිගට මවා ලූ රුවන් සක්මන නිමවා ම සක්මන් කරන සේක. බුදුන් සක්මන් කරන කලට මවා ලූ බුදුහු සිටිනා සේක් හෝ හිඳිනා සේක් හෝ වැද හෝනා සේක් හෝ ය. බුදුන් වැඩ හුන් කලට මවා ලූ බුදුහු හිඳිනා ඉරියවුව හැර ලා අනික් තුන් ඉරියවුවෙන් දවස් යවන සේක. බුදුන් සිටි සේක් වී නම් මවා ලූ බුදුහු සිටිනා ඉරියවුව ඇර ලා අනික් තුන් ඉරියවුවෙන් දවස් යවන සේක. බුදුහු වැදහොත් සේක් වී නම් මවා ලූ බුදුහු වැද හෝනා ඉරියවුව ඇර ලා අනික් තුන් ඉරියවුවෙන් දවස් යවන සේක. සර්‍වඥවරයන්ගේ යමා මහ පෙළහර නම් මේ ය. බුදුහු වැළිත් මේ සියල්ල රුවන් සක්මන සක්මන් කෙරෙමින් සිට ම කළ සේක. මේ හැම නිසා සක්මන් අඩු නො කළ සේක.

ශරීරයෙන් නිකුත් ගිනි කඳ බුදුන්ගේ අදහස් සේ මොළොක් ව සීලස වුව ත් දිය කඳ හා මුසු නො වෙයි. දිය කඳ ගිනි කඳ හා මුසුත් නොවෙයි. වෙන් වෙන්ව පවතිතත් බලා සිටිනවුන්ට එක්ව පවත්නා සේ තිබෙ යි. දැනෙ යි. සෙසු තැනට අවසර නො දෙවුයේ මේ අවිෂය හෙයින. ශරීරයෙන් නිකුත් ගිනි කඳ හා දිය කඳත් බඹ ලොව දක්වා නැඟී ලා සක් වළ ගල් මුව විට වැගිරෙයි. ශරීරයෙන් නිකුත් රසු ත් යන්ත්‍රවලින් මැඬ නැඟුවාක් මෙන් විහිදලා බඹ ලොව දක්වා නැඟී ලා සක්වළ ගල්මුව විට බස්සී. එ දවසට මේ සක් වළ ගබ මුළුල්ලම රුවන් ගොනැස් උරවා කළ බෝධි ගෙයක් මෙන් ඉතා ශෝභාවත් වි ය.

එදවස් බුදුහු යමා මහ පෙළහර දක්වමින් රැස්වූවන්ට අතරතුරෙහි බණත් වදාරන සේක. වදාරන කල ත් දෙව් මිනිසුන් කුසී නො කරවා අවසර පෑ පෑ බණ වදාරන සේක. එ වේලාට බොහෝ දෙන ත් සාධු කාර දෙති. උන් හැම සාධු කාර දෙන වේලේ දී බුදුහු ඒ සා මහත් පිරිසෙක සිත් හසර බලන සේක. එ කි එකී දෙනාගේ සිත් සොළොස් සැටියෙකින් බලන සේක. සර්‍වඥවරයන්ගේ සිත් නම් මෙ සේ ලඝු ව පෙරළෙයි. යම් යම් කෙනෙක් යම් යම් ධර්‍මයෙක, යම් යම් පෙළහරෙක පහදි ත් නම් උන් උන්ගේ අදහස් ලෙසට බණ ත් වදාරන සේක. පෙළහරත් පානා සේක. මෙසේ වදාරන බණත් අසා පෙළහරත් දැක බොහෝ දෙන නිවන් දුටහ.

බුදුහු ඒ සමාගමයෙහි තමන් වහන්සේගේ අදහස් ලෙසට ප්‍රශ්න විචාළ හෙන තැනක් නැති නියාව දැන බුදු කෙනකුන් වහන්සේ මවාලූ සේක. ඔබ විචාළ ප්‍රශ්න තමන් වහන්සේ විසඳන සේක. තමන් වහන්සේ විචාළ ප්‍රශ්න ඔබ විසඳන සේක. මෙ සේ කොට වදාරන බුදු රජුන් වහන්සේගේ පෙළහර දැක බණ ත් අසා ඒ සමාගමයෙහි විසි කෙළක් නිවන් දුටහ.

බුදුහු පෙළහර කරන සේක්ම යට ගිය දවස බුදුවරු මේ පෙළහර කොට ලා වස් කොයි විසූ දෝ යි බලා තව්තිසා දෙව්ලොව වස් වැස මාතෘ දිව්‍ය පුත්‍ර ප්‍රමුඛ දෙවියන්ට විදම්[3] පිටක ය දෙසතී දැක ඔබ වඩනට ය’යි සිතා සිතූ ඇසිල්ලෙහි ම නැමී අවුත් ළං වූ දෙ සාළිස් දහසක් යොදුන් උස ඇති යුගඳුරු මුදුනෙහි දකුණු පය ඔබා වම් ශ්‍රී පාදය එ තැනට නැමී ළං වූ දෙ සාළිස් දහසක් යොදුන් පමණ මහ මෙර මුදුනෙහි තබා වදාරා එක් පියවරින් පඬු ඇඹුල් සල හස්න කරා වැඩි සේක. රුවන් සක්මන පටන් සුවාසූ දහසක් යොදුන් පමණ තැන් තුන් අඩියකින් වැඩි සේක. අඩි අතුරු දෙකක් ම වි ය. සක් දෙවිඳු ද බුදුන් දැක ‘බුදුන් මේ වස් තුන් මස පඬුඇඹුල් සල හස්නේ වසන ලෙස ය. බොහෝ දෙවියන්ට වැඩ ය. බුදුන් මෙහි විසූ කලට සෙසු කෙනකුන් මී හිඳිනා තබා අත් බාලන්ට ත් බැරි ය. මේ පඬු ඇඹුල් හස්න ත් දිගින් දෙ සිය සතළිස් ගවුවෙක පළලීන් ගවු දෙසියයෙක.

‘බුදුහු වඩු රියනින් දොළොස් රියන් සේක. බ්‍යාම ප්‍රභාව සතර රියනෙක. කේතු මාලාව දෙරියනෙක. එක් කොට අටළොස් රියන් බුදුන් වැඩ හුන් කලට මේ භස්න සිස් සේ තිබෙයි’ සිතූහ. බුදුහු උන්ගේ අදහස දැන තමන් වහන්සේගේ වියතින් නව වියත් දිග සවියත් පළලසඟළ සිවුර සල හස්නෙහි හෙළා ලූ සේක. කුඩා පුටුවෙක මහ දෙ පත් වයිනක් හෙළා ලූ වා සේ හැම වසා ගිය සක් දෙවිඳු ඒ දැක ‘සඟලින් කෙ සේ වැසුන ත් තමන් වහන්සේ වැඬ හිඳිනේ මඳ තැනෙක වේ දැ’යි සිතූ ය. බුදුහු ඒ අදහසත් දැන ඒ සා මහත් ආසනය දණ මඬුළු හස්සේ ම සැඟවෙන ලෙසට තමන් වහන්සේත් මහත් නො ව ආසනය ත් කුඩා නො කොට වැඩහුන් සේක.

පෙළහර බලන්ට රැස් වූ මිනිස්සු ද රුවන් සක්මන බුදුන් නො දැක මහ මුසුප්පු වූහ. හිර ගල හුණු කලක් මෙන් ද, සඳ ගල හුණු කලක් මෙන් ද, දස දහසක් සක්වළ එක පැහැර අඳුරු වී ය. බොහෝ දෙන ද -

‘ගතො නු චිත්තකූටං වා - කෙලාසං වා යුගන්ධරං,

න නො දක්ඛෙම සම්බුද්ධං - ලොකජෙට්ඨං නරාසභං’

යනු හෙයින් බුදුහු සිතු කුළු පව්වට වැඩි සේක් දෝ නො හොත් කෙලෙස් කුළට වැඩි සේක් දෝ යුගඳුරු පව්වට වැඩි සේක් දෝ-

පවිවෙකරතො ධීරො - නයිමං ලොකං පුනෙහීති,

න නො දක්ඛෙම සම්බුද්ධං - ලොක ජෙට්ඨං නරාසභං

යනු හෙයින් බුදුහු නම් පව්වෙක වාසයෙහි ඇලී වසන සේක. මේ සා පිරිස් මැදක මෙ වෙනි පෙළහරක් කෙළෙමී’ ලජ්ජාවෙන් අනික් රටකට වැඩ පී නියා ය’ යි කිය කියා හඬමින් වලපමින් මුගලන් මහ තෙරුන් වහන්සේ කරා ගොසින් ‘ස්වාමීනි, බුදුන් කොයි දැ’යි විචාළහ. ඔබ බුදුන් වැඩ පී තැන් තමන් වහන්සේදනි ත ත් අනුන්ගේ ත් ගුණ පහළ වුව මැනව යන අදහසින් අනුරුද්ධ මහ තෙරුන් විචාරව’යි වදාළ සේක. උයිත් ඔබ කරා ගොසින් විචාළහ. ‘තව්තිසා දෙව්ලොව පඬු ඇඹුල් සල හස්සෙහි වස් වැස මාතෘ දිව්‍යපුත්‍ර ප්‍රමුඛ දෙවියන්ට විදම් පිටක ය දෙසන සේකැ’යි කී සේක. ‘වඩනේ කවර කල දැ’යි විචාළහ. ‘වස් තුන් මස වීදම් දෙසා වදාරා වස් පවරන දවස ය’යි කී සේක. එකි එකී අතින් අටසාළිස් අටසාළිස් ගවුවේ හා වටින් එක් සිය සූ සාළිස් ගවුවෙක පැතිර සිටි පෙළහර බලන්ට ආ පිරිස් බුදුන් දැක මුත් නොයම්හ’යි එහිම කඳවුරු බැඳ ගත්හ. නිකම් සිස් අහසම උන්ට ගෙවල් විය.

ඒ අහස රෑ දවසට රන් තරු රිදී තරු සහිත නිල් වියනක් මෙන් සිට්ටි දුරු ව තිබෙන පමණක් විනා සක්වළ ගලම භිත්තිව සිට්ටි. මේ සා මහත් පිරිසක් හුන් තැන පොළොව විවර ව ලා ගියත් මුත් කිස මුවා පසක් පෙනෙන්ට නැත. පොළෝ තලය හැම ම අති පවිත්‍රව තිබෙයි. බුදුහු පළමු කොට මුගලන් මහ තෙරුන් වහන්සේට ‘තෙල පිරිසට තොපි බණ කියව. සුළු අනේ පිඬුසිටාණෝ බත් දෙතී’ වදාළ සේක. එ හෙයින් ඒ සිටාණෝ මේ සා මහත් පිරිසට බත්-බුලත්-සුවඳ-විලවුන් ආදි ය පසිඳිති. මුගලන් මහ තෙරුන් වහන්සේ බණ වදාරන සේක. පෙළහර දකින්ට ආ ආවුන් විචාළ ප්‍රශ්න ත් විසඳන සේක.

තාවතිංසෙ යදා බුද්ධො - සිලායං පණ්ඩුකම්බලෙ,

පාරිච්ඡත්තක මූලස්මිං - විහාසි පුරිසුත්තමො

චක්කවාල සහස්සෙසු - දසස්වපි ච දෙවතා,

පයිරුපාසන්ති සම්බුද්ධං - වසන්තං නගමුද්ධනි[4].

න කොචි දෙවො වණ්ණෙන - සම්බුද්ධස්ස විරොචති,

සබ්බෙ දෙවෙ අධිග්ගය්හ - සම්බුද්ධො ව විරොචති,

යනු හෙයින් බුදුන් යමා මහ පෙළහර කොට ලා විදම් බණ දෙසනු නිසා තව්තිසා දෙව් ලොවට වැඩ පඬු ඇඹුල් සල හස්නේ වස් විසූ කලට දස දහසක් සක්වල දෙවි බඹහු පිරිවැරූහ. රැස් වූ දෙවි බඹුන්ගෙන් කිසි කෙනකුත් ශරීර ශෝභාවකින් බුදුන්ට වඩනෝ නැත. තරු හොබවා නැඟී සඳක් මෙන් බුදුහු ම වඬනා සේක.

මෙ සේ බුදුහු විදම් බණ දෙසන්ට දස දහසක් සක් වළ දෙවි බඹුන් පිරිවරා සුවාසූ දහසක් මැණික් මැඳ සක්විත්තන්ගේ කුශලානුභාවයෙන් උපන් වඩු රියනින් සතර රියන් පමණ චින්තා මාණික්‍ය ය තබා ලූ වා සේ වැඩ හුන් කලට දිව්‍ය පුත්‍ර ව උපන් මෑණියන් දෑ ද තුසී විමනින් අවුත් බුදුන්ට දකුණත් පස හුන්හ. ඉන්‍දක නම් දෙවි පුත් ද අවුත් දකුණු පස හුන. අඞ්කුර නම් දෙවි පුත් අවුත් වම ත් පස හුන. එ සේ ත් අඞ්කුර නම් දෙවි පුත් මහානුභාව සම්පන්න දෙවියන් රැස් වත් වත් පසු බස්නේ ඇතුළත පොහොසත් දෙවියන් සැලහුණු හෙයින් අට සාළිස් ගවුවෙකින් ඔබ්බෙහි හිඳිනට අවසර ලද ඉන්‍දක නම් දෙවිපුත් කෙතෙක් පොහොසත් දෙවියන් රැස් වුවත් පසු නො බැස හුන.

බුදුහු ද -

‘ඔලොකෙත්‍වාන සම්බුද්ධො - අඞ්කුරඤ්චාපි ඉන්දකං

දක්ඛිණෙය්‍යං පහාවෙන්තො - ඉදං වචනමබ්‍රැවී

මහා දානං තයා දින්නං - අඞ්කුර දීඝමන්තරෙ,

සුවිදූරෙ නිසින්නොසි - ආගච්ඡ මම සන්තිකං’

යනු හෙයින් උන් දෙන්නාම බලා පියා තමන් වහන්සේගේ ශාසනයෙහි සිල්වත් තැනට දී ලූ දෙයෙහි විපාක බලවත් නියාව හඟවන්ට ‘අඞ්කුරයෙනි, තෙපි දස දහසක් හවුරුදු මුළුල්ලෙහි දනට බත් මාළු පිසන්ට අට සාළිස් ගවුවක් විතරේ ලිප් බඳවා ගෙන මහදන් දුන්නුව. එ සේ වූ තෙපි අවුත් මා ළඟ හිඳ ලා පසු බැස ගොසින් අට සාළිස් ගවුයෙකින් පිටත හිඳිනට අවසර ලදුව. මේ ඉන්‍දක නම් දෙවි පුත් කවුරුන් ආව ත් නො ඉගිළී තමා හුන් තැන ම හුන. ඌ නො ඉගිළී හිඳින්ටත් තොප ඉගිළෙන්ටත් කාරණ කිම් දැ’යි විචාළ සේක.

එ සේ විචාළ බුදුන්ට අඞ්කුර නම් දෙවි පුත් -

‘උජ්ජඞ්ගලෙ යථා ඛෙත්තෙ - බීජං බහුකම්පි රොපිතං,

න විපුලං ඵලං හොති - න පි තොසෙති කස්සකං.

තථෙව දානං බහුකං - දුස්සීලෙසු පතිට්ඨිතං,

න විපුලං ඵලං හොති න පි තොසෙති දායකං’

යනු හෙයින් ‘ස්වාමීනි, යම්සේ නිසරු කුඹුරෙක බොහෝ බිජු වට වපුළත් කුඹුර නිස්සාර හෙයින් හසු පැවත නපුරු ද, කුඹුර වපුල තැනැත්ත වු සතුටු කරවා ලිය නොහේ ද, එ මෙන් දෙන කලත් බුද්ධෝත්පාද කාලයක් නො ව දුශ්ශීලයන්ටම දුන් හෙයින් කවර බලවත් විපාකයක් දී මා සතුටු කරවා දැ’යි කිවු ය.

උන් එ සේ කී කල්හි බුදුහු ඉන්‍දක නම් දෙවි පුත් බණවා ලා ‘ඉන්‍දකයෙනි, තොප අවුත් මට දකුණ ත් පස් ව හිඳ මහේශාඛ්‍ය දෙවියන් කෙතෙක් දෙනා ආවත් පසු නො බැස හින්ට කාරණ කිම් දැ’යි විචාළ සේක. එ කල ඉන්‍දක නම් දෙව් පුත් ‘ස්වාමීනි, යම් සේ සරු කෙතෙක ගොවිකමුත් දන්නා කෙනෙක් මඳ බිජුවටකුත් වපුට ලා හසු පැවත යහපත් වීමෙන් වපුල තැනැත්තෝ සතුටු වෙත් ද, එ පරිද්දෙන් එක් බත් සැන්දක් වුවත් මුඹ වහන්සේගේ ශාසනයෙහි දිවැස් ඇති තැනට අග පත් වූ අනුරුද්ධ මහ තෙරුන් වහන්සේට දන් දුන් පමණකින් සිල් වත් තැනට පවිත්‍ර අදහසින් දී ලූ දනෙහි මෙ බඳු තරමක් ඇති හෙයින් පසු නො බටු වෙමි’ කිවු ය. ඉන්‍දක නම් දෙවි පුත්හු මෙ ලෙස කී කල්හි බුදුහු අඞ්කුර නම් දෙවි පුතුන්ට “දනක් නම් දීලන කල පිළි ගන්ට නිසි ගුණ ඇත්තවුන් සලකා ලා දිය යුතු ය. එසේ දුන් කලට සරු කෙතෙක මඳ කොට ත් ගොවිකම් දැන වපුල බිජුවටක් මෙන් හෙවත් ඊ ශස්‍ය ඵලය බලවත් මෙන් අනුසස් මහත් වෙයි. තෙපි තොපගේ සම්පත් මහත් බැවින් දී ගිය බව මුත් නිසි තැන් සලකා නුදුනු ව. එ හෙයින් විපාක ය මහත් නො වීය”යි වදාළ සේක. දේශනා කෙළවර ඉන්‍දක අඞ්කුර දෙන්න සෝවාන් වූහ. මිනිස් ලොවට ත් අස්වා වදාළ බණ හෙයින් සෙසුත් බොහෝ දෙන නිවන් දුටහ.

ඉක්බිත්තෙන් බුදුහු දෙව් පිරිස් මැද වැඩ හිඳ මෑණියන්දෑ මුල් ව විදම් පිටක ය දෙසනට පටන් ගත් සේක. මෙ සේ මිනිස් ලොව ආයු ගණනින් තුන් මසක් විතර හා දෙව්ලොව ආයු ගණනින් මස් විතරට ත් දවස් විතරට ත් පෑ විතරට ත් මඳ හෙයින් නව විනාඩි ගාවක් විතර හිඳ බණ දෙසන සේක් සිඟා වඩනා වේලේ දී තුන් මසට අනූ වාරයක් සිඟා වැඩිය මනා හෙයින් තව් තිසා දෙව්ලොවින් නව විනාඩි ගාවට ම අනූ විටක් සිඟා ගිය කලට සිස්ව තිබීම ඉතා අනුචිත හෙයින් ‘මා වළඳා ලා එන තෙක් බණ කියත්වයි අනික් බුදු කෙනකුන් වහන්සේ මවා ලා තමන් වහන්සේ හිම වතට ගොසින් නාලිය දැවිටි වළඳා පැරහුව මැනවැ’යි නැති හෙයින් අනවතප්ත විලින් කට සෝධා උතුරු කුරු දිවයින සිඟා බත් ගෙනවුත් මහ විසල් මළුයෙහි හිඳ වළඳන සේක.

සැරියුත් මහ තෙරුන් වහන්සේ එතැනට වැඩ වළඳන බුදුන් ට කළ මනාවත් කරන සේක. බුදුහු වළඳා නිමවා ලා ‘ශාරිපුත්‍රයෙනි, අද මම මෙ තෙක් බණ කීමි. ඒ බණ තොප අත වැසි පන්සියයක් භික්ෂූන්ට කියව’යි යමා මහ පෙළහරෙහි පැහැද සැරියුත් මහ තෙරුන් වහන්සේ කෙරෙහි මහණ වූ වහන්දෑ පන්සිය ය නිසා බුදුහු වදාළ සේක. එසේ වදාරා ලා දෙව් ලොවට වැඩ මවා ලූ බුදුන් දෙසූ තැන් පටන් අඩු ව තමන් වහන්සේ දෙසන සේක. සැරියුත් මහ තෙරුන් වහන්සේ ද තමන් වහන්සේට බුදුන් වදාළ බණ තමන් වහන්සේගේ අතවැසි පන්සියයට වදාරන සේක. ඒ පන්සියය ද බුදුන් දෙව්ලොව වැඩ ඉන්ද දී ම ප්‍රකරණ සත ධරා ගත් සේක. ප්‍රකරණ දැරීමෙන් ම විදම් පිටක ය ප්‍රගුණ ය.

එ ලෙස ප්‍රගුණ වන්ට කළ පින් කවරේ ද යත් - ඒ වහන්දෑ කසුබ් බුදුන් සමයෙහි පන්සියයක් කිරි වවුලන් ව ඉපැද එක් කටාර නැති ලෙන තල්ලෙක එ ලෙනාහු එ ම ගල් ලෙන වසන තෙර දෙදෙනකුන් වහන්සේ විදම් බණින් සප්ත ප්‍රකරණ මාතෘකා පමණක් පිරුවාණා ගමනේ මේ බණෙක යන සිතිවිලි පමණක් ඇතිව වස් තුන් මස ඇසූහ. අත්‍ථි නො දත ත් ශබ්ද පමණක් ඇසූ පමණකින් එයින් සැව දෙව්ලොව ඉපැද විසි දහසක් අවුරුදු ක්‍රම ක්‍රමයෙන් පිරිහී දස අවුරුද්දට බැස දස අවුරුද්දේ පටන් කුශල ධර්‍ම ය සමාදාන වශයෙන් අවුරුදු වැඩී අසඞ්ඛ්‍යය දක්වා ගොසින් ලා එ තැන පටන් අකුශල ධර්‍ම සමාදාන වශයෙන් හවුරුදු සියයකට ආයු එන තෙක් දිව සැපත් වළඳා මේ බුදුන් සමයෙහි සැවැත් නුවර කුලගෙවල ඉපැද යමා මහ පෙළහරෙහි පැහැද සැරියුත් මහ තෙරුන් වහන්සේ ළඟ මහණ ව මිනිසුන් ගෙන් හැම තැනට පළමු ව විදම් පිටක ය දැරූ සේක.

බුදුහු ත් ඒ වස් තුන් මස විදම් බණ දෙවියන්ට දෙසූ සේක. දේශනා කෙළවර අසූ කෙළක් දෙවියෝ නිවන් දුටහ. මා දෙවි[5] පුත් ද සෝවාන් වූහ දිගින් පළලින් සයානූ ගවුවෙක හා වටින් එක්සිය සිවු සාළිස් ගවුවෙක පැතිර සිටි පිරිස් වස් පවරන්ට සතියක් තිබැදී ම මුගලන් මහ තෙරුන් වහන්සේ කරා ගොසින් ‘ස්වාමීනි, බුදුන් දෙව් ලොවින් බස්නා දවස් දන්ට වුව මැනැව. බුදුන් නො දැක නො යම්හ’යි කීහ. මුගලන් මහ තෙරුන් වහන්සේද එ පවත් අසා එ තැනින්ම පොළොව කිමිද මෙර පල්ලට ගොසින් ‘මෙර ඇතුලතින් මා නැඟෙන නියාව රැස්ව සිටියෝ දකිත්ව’යි ඉටා ලා මැණිකෙක අවුණන නිල් පලස් හුයක් මෙන් හැම දෙනාට ම පෙනෙමින් මහ මෙර මැදින් නැඟෙන සේක. මිනිස්සු ද ‘සතර ගවුවක් විතර නැඟි සේක. අට ගවුවක් විතර නැඟි සේක’ යනාදීන් බල බලා සිටියහ.

මහ තෙරුන් වහන්සේ ත් බුදුන්ගේ ශ්‍රී පාදය ඉසින් ඔසවන්නාක් මෙන් මහ මෙර මුදුනට නැඟී ලා බුදුන් වැඳ ‘ස්වාමීනි, පෙළහර බලන්ට රැස් ව සිටි පිරිස් මුඹ වහන්සේ දැක මුත් නො යම්හ’යි තරයෝ ය. මිනිස් ලොවට බැස වදාරන්නේ කවර දා දැ’යි විචාළ සේක. ‘තොපගේ වැඩි මාලු බෑණෝ සැරියුත් මහ තෙරහු දැන් කොයි දැ’යි විචාළ සේක. ‘ස්වාමීනි, සකස් පුර නුවර වස් විසූ සේකැ’යි කී කල්හි ‘එ සේ වී නම් මම මෙ තැනට සත් වන දවස් සකස් පුර නුවරට බස්මි. මා දක්නා කැමති කෙනෙක් එ තැනට එන්ට කියව’යි වදාළ සේක. එ සේ වදාරා ලා සැවැත් නුවර සිට සකස් පුර නුවර එක් සිය විසි ගවුවෙක. මෙ තෙක් තැන් යන ගමනේ කිසි කෙනකුන් හට ගෙන යන බත් සාල් නැතිව උදාසන පෙහෙව ලා ළඟ විහාරයකට බණ අසන්ට යන්නවුන් මෙන් එන්ට කියව” යි වදාළ සේක. මහ තෙරුන් වහන්සේ ත් ගොසින් එපවත් පිරිසට වදාළ සේක.

බුදුහු වස් වැස පවරා ලා සක් දෙවිඳු හට ‘ශක්‍රයෙනි, මිනිස් ලොවට යම්හ’යි වදාළ සේක. ශක්‍රයෝ ද බුදුන් බසින්ට මැණික් හිණක් මධ්‍යයේ මවාලා දෙවියන් බසින්ට රන් හිණක් හා බඹුන් බසින්ට රිදී හිණක් දෙ පස මැවූහ. ඒ හිණිවල හිණි පා මුල් සකස් පුර නුවර පිහිටා සිටි ය. හිණි හිස් මෙර මුදුන්හි පිහිටිණ. ඉන් දකුණත් පස රන් හිණ දෙවියන් බස්නට ය. වමත් පස රිදී හිණ බඹුන් බස්නට ය. මධ්‍යයෙහි මැණික් හිණ බුදුන්ට නියම ය. බුදුහු ත් මෙර මුදුනේ වැඩ සිට දෙවොරෝහණ පෙළහර කරන සේක් එතැන් පටන් උඩ බලා වදාළ සේක. බඹලෝ නවය එකාඞ්ගණ විය. පාත බලා වදාළ සේක. අවීචි ය දක්වා එකාඞ්ගණ විය. සරස බලා වදාළ සේක.

නො එක් දහස් ගණන් සක් වළවල් එකාඞ්ගණ වි ය. දෙව් බඹහු මිනිසුන් දකිති. මිනිස්සු දෙවි බඹුන් දකිති. එ දවස් ඒ බුදු සිරි බලා බුදු වන්ට නොපැතූ කෙනෙක් නැත. රන් හිණින් දෙවියෝ බසිති. රිදී හිණින් බඹහු බසිති. මැණික් හිණින් බුදුන් ම බස්නා සේක. පඤ්චසිඛ නම් දෙවි පුත් බෙළුව නම් වූ වීණාව ගාමින් දකුණත් පසින් බුදුන්ට පූජා කරමින් බස්නේ ය. සහම්පතී නම් මහ බඹු වමත් පසින් බුදුන් සිරසට කුඩයක් කොට ගෙන බස්සී. සුයාම නම් දෙවි පුත් වල් විදුනාව සලමින් බස්සී. බුදුහු මහ පිරිවරින් බැස සකස් පුර නුවර පිහිටි සේක. සැරියුත් මහ තෙරුන් වහන්සේද අවුත් බුදුන් වැඳ ලා-

“න මෙ දිට්ඨො ඉතො පුබ්බෙ - නස්සුතො උදකස්සචි,

එවං වග්ගුවදො සත්‍ථා - තුසිතා ගණිමාගතො”

යනු හෙයින් මෙ තරම් බුද්ධානුභාවයක් පෙර මා දුටු විරූ නැත. දක්නා තබා ඇසූ විරූ ත් නැත යනාදීන් තමන් වහන්සේට උපන් සමාධි ය හඟවා ලා ‘ස්වාමීනි, අද සියලු ම දෙවි මිනිස්සු ආවෙණිකයක්ව මුඹ වහන්සේගේ දර්ශන ය පතති. කැමැති වෙතී” වදාළ සේක. එ කල බුදුහු ‘ශාරිපුත්‍රයෙනි, මෙ බඳු තරම් ඇති බුදු වරහු දෙව් මිනිසුන්ට ප්‍රිය වෙති’ වදාරා ලා බණ වදාරණ සේක්. ලක්ෂණූපනිධ්‍යානය ආරම්මණූපනිධ්‍යානය යන ද්වි ප්‍රකාර වූ ධ්‍යානයෙහි හෙවත් විදර්ශනාවෙහි හා සමථයෙහි ආවර්ජනාදි වශයෙන් යෙදී වෙසෙත් ද, මහා කරුණා සමාපත්තියට අරමුණු වෙන් වුවත් ඵල සමවතට අරමුණු කිරීම් වශයෙන් නිවන්හි ඇලුම් ඇත්තෝ ද, සිහිමත් ඒ සර්‍වඥවරයන් නො කැමැති වන්නෝ කවුරුද? දෙවියෝ ත් මිනිස්සුත් කැමැති වෙති’ වදාළ සේක.

දේශනා කෙළවර තිස් කෙළක් ප්‍රාණීහු සැවැත් නුවරින් සකස් පුර නුවරට අවු ත් ඊ සිට ලා නිවන් පුර වන්හ. මෙ සේ යමා මහ පෙළහර දැක විසි කෙළක් හා විදම්බණ අසා දෙවි බඹුන්ගෙන් අසූ කෙළක් හා දෙවොරෝහණයෙන් තිස් කෙළක් හා එක් කොට එක් සිය තිස් කෙළක් විතර සත්‍වයෝ යමා මහ පෙළහර මුල් ව නිවන් දුටහ. ධම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේගේ සද්ධිවිහාරික පන්සියක් දෙනා වහන්සේ වවුල් ව ඇසූ විදම් බණින් දෙව් සැප ත් වළඳා බුදුන් වදාළ බණ අසා රහත් වීමෙන් නිවන් සැප ත් ලත් සේක.

හැම බුදුවරුන් වහන්සේ ම යමා මහ පෙළහර කොට ලා තව්තිසා දෙව් ලොව වස් වැස සකස් පුර නුවරට බස්නා සේක. එ හෙයින් බෝ මැඬත්, ධම් සක් පැවතුන් සූත්‍රය දෙසන තැන ත්, දෙව්රම් වෙහෙර හැඳ පළ ත්, සකස් පුරනුවරට දෙව් ලොවින් බට තැන ත්, සෙසු තැන් නියම නැත ත් මේ සතර තැන නියමය, දකුණු පත්ල පිහිටි තැන නිසල මහ සෑ නම් වෙයි. බුදුහු එ තැන සිටි සේක්-පුහුදුන් ආදින්ට විෂය වූ පැන විචාළ සේක. පුහුදුන්හු තමන්ට විෂය වූ පැන ය විසඳා ලා සෝවානුන්ට විෂය පැන විසඳා ගත නුහුණු වූ ය. සෝවාන්හු තමන්ට විෂ ය පැන විසඳා ලා සෙදැ ගැමියන්ට විෂ ය පැන විසඳා ගත නුහුණු වු ය. සෙදගැමියෝ තමන්ට විෂ ය පැන විසඳා ලා අනගැමියන්ට් විෂ ය පැන විසඳා ගත නුහුණු වු ය. අනගැමියෝ තමන්ට විෂ ය පැන විසඳා ලා රහතන්ට විෂ ය පැන විසඳා ගත නුහුණු වු ය. රහතන් වහන්සේගෙනු ත් මහ සවුවන් වහන්සේ තමන් වහන්සේ විෂය පැන විසඳා ලා අග සවු දෙ නමට විෂ ය දෙය විසඳා ගත නුහුණු සේක. අග සවු දෙ නමෙනුත් මුගලන් මහ තෙරුන් වහන්සේ තමන් වහන්සේට විෂය පැන විසඳා ලා සැරියුත් මහ තෙරුන් වහන්සේට විෂ ය දෙය විසඳා ගත නුහුණු සේක.

සැරියුත් මහ තෙරුන් වහන්සේ ද තමන් වහන්සේට විෂ ය ප්‍රශ්න විසඳා ලා බුදුන්ට විෂය දෙය විසඳා ගත නුහුණු සේක. විසඳා ගත නො හී දස දිග බලා දස දිගින් බුදුන් විනා ඒ විසඳා ලියහෙන්නවුන් නැති ව බුදුන් ගෙන් ම නය ලදින් විසඳා වදාළ සේක. සැරියුත් මහ තෙරුන් වහන්සේට විෂය ප්‍රශ්නය බුදු කෙනකුන් වහන්සේ මුත් අනික් කෙනෙක් කියා ලිය නො හෙන සේක. එ හෙයින් ම මහ තෙරුන් වහන්සේ එක් දවසක් බුදුන් ඉදිරියේ සිට ‘ලෝකස්වාමි වූ බුදුරජුන් වහන්ස, මා එක ප්‍රශ්නයක් විසඳූ කළ ගං පත්ලෙන් වැලි ඇටක් වේව’යි මුහුදින් පැන් බින්‍දුවක් හෝ පොළොවින් වැලි ඇටක් සා පස් සුඟක් හෝ ගණන්ට නො තබා ප්‍රශ්න සිය ගණනින් හෝ දහස් ගණනින් හෝ ලක්‍ෂ ගණනින් හෝ විසඳූ කල්හි ඒ සමූහ ව තුබූ ප්‍රශ්නවලට වැලි ඇට හෝ දිය බිඳු හෝ පොළොවින් වැලිඇට විතර පස් හෝ ගණන්ට තබ ත් නම් වහා ම ගං පත්ලේ වැලි වුවත් නිමයි. මුහුද පැන් වුව ත් බිඳු හෙයින් ගෙන ත් නිම යි. පොළොව පස් වුව ත් වැළි ඇට තරම් හැර ගෙන ත් නිම යි. මාගේ ප්‍රශ්න විසඳීම නො නිම යි යන තරමේ බුද්ධි සම්පන්න මහ තෙරුන් වහන්සේ බුද්ධ විෂයෙහි ප්‍රශ්නය අසා අගක් මුලක් නො දැක බුදුන් දුන් නයයෙහි සිට ම විසඳූ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් අනන්‍යසාධාරණ වූ අනොපමවූ ගුණ ඇති බුදු රජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා එයින් ජනිත කුශලානුභාවයෙන් භව සැපත් වළඳා කෙළවර නිවන් අත්පත් කටයුතු.

  1. එක් මිනිස් කමෙකැ’යි - එක් මිනිස් වැනි කමෙකැ’යි

    එක් මිනිස් වත් කමෙකැ’යි - එක් මිනිස් වන් කමෙකැ’යි

  2. කටසාරකං විය - ධම්මපදට්ඨ කථා

  3. විජම්-බිදම්

  4. නහමුද්ධති-ඇතැම්,

  5. මවු දෙව් පුත් ද