159. මාරදුන් තුන්දෙනා ගේ වස්තුව

star_outline

තව ද සර්‍වඥයන් වහන්සේ තමන් වහන්සේ කවර නම් පරිභවයක් ලබත ත් ඒ නො සලකා අනුන්ට වන ප්‍රයෝජන ම සලකන පරිදි හඟවන්ට මාර දූන් තුන්දෙනා ගේ වස්තුව දක්වමු.

කෙසේද යත්-

කුරු රට මාගන්‍දිය[1] නම් බමුණානන්ගේ මාගන්‍දියා[2] නම් දුවණි කෙනෙක් ඇත. ඌ තුමූ උතුම් වූ රූ ධරති උන් පතා බොහෝ බ්‍රාහ්මණවරුත් රජ දරුවෝ ත් තමන්ගේ දුවණියන් අපට සරණ එවුව මැනවැ’යි මාගන්‍දිය නම් බමුණන්ට කියා යවති. ඌ තුමූ මුඹ හැම සම්පතින් වඩිත ත් රුවින් අපගේ දරුවන් හා සරි නො වන දෑය යි බාධා කොට කියා යවති.

ඉක් බිත්තෙන් එක් දවසක් බුදුහු අළුයම් වේලෙහි ලොව බලන සේක් තමන්වහන්සේගේ නුවණ දැල බැඳුණු මාගන්‍දිය බමුණානන් දැක උන්ට වන ප්‍රයෝජන කවරේ දෝ හෝ යි බුදු නුවණින් බලන සේක්-ඒ බමුණානනුත් උන්ගේ බැමිණිනියනු ත් අනාගාමි වන නියා ව දුටු සේක. ඒ බමුණානෝ ද නිරන්තර ව ගමින් පිටතට අවුත් ගිනි දෙවියා පුදති. බුදුහු උදෑසනම සඟල කර ලා ගෙන පාත්‍ර ය හැර ගෙන බමුණානන් ගිනි දෙවියා පුදන තැනට වැඩි සේක. බමුණානෝ ද බුදුන්ගේ අනන්‍යසාධාරණ වූ රූප ශෝභාව දැක මේ ලොව රුවින් මුන් තරම් කෙනෙක් නැත. මූ අපගේ දුවණියන්ට තරම්හ. අපගේ දුවණියෝ ත් මුන්ට තරම්හ. මුන්ට උන් පාවා දෙම්හ’යි සිතාගෙන බුදුන්ට මහණ, මාගේ ඉතා රූපත් වූ දුවක් ඇත. මම උන්ට තරම් කෙනෙක් නො ලත් හෙයින් කිසි කෙනකුන්ට ත් පාවා නුදුන්නෙමි. තෙපි තවත් නිස්සව, මම්ම දූන් තොපට සරණ පාවා දෙමි. මා උන් කැඳවා ගෙන එන තෙක් ඔබ්බකට නොගොස් මෙ තැන ම රඳව’යි කිවු ය.

බුදුහු උන්ගේ කථාව අසා ‘යහපතැ’යි කියා ත් නො කැමැත් තේ ය’ යි කියා ත් නො වදාළ සේක. බමුණානෝ ද ගෙට ගොසින් තමන්ගේ බැමිණියන්ට ‘පින්වත, අද ගිනි දෙවියා පුදන්ට ගිය ගමනේ ම දූන්ට තරම් කෙනකුන් දිටිමි. උන්ට මුන් පාවා දෙම් හ’යි දුවණියන් සරහා ලා කැඳවා ගෙන බැමිණිනියන් හා සමඟ එ තැනට ගියහ. බොහෝ දෙන ත් තමන් හැම ත් නුදුටු විරූ දෙයක් වන්නා විස්මපත් ව කැටි ව ම නික්මුණාහුය.

බුදුහු ද බමුණානන් කී තැන ම වැඩ නො සිට එ තැන්හි දෙව් දුවගේ නළල තිලක දෙන කලක් මෙන් පදලස දක්වා ලා ගොසින් අනික් තැනක වැඩි සිටි සේක. බුදුන්ගේ පියවර නම මේ පියවර අසවල්හු දකිත්ව’යි සිතා ලා ඔබා ලූ තැන ම පෙනෙයි. සෙසු තැන දක්නේ නැත. බමුණානෝද තමන් හා කැටිව යන බැමිණිනිය. උන් දැන් කොයි දැ යි විචාළ කල්හි ‘මෙ තැන සිටින්ට ඕ හට කීමි’ කියාලා බලන්නෝ පදලස දැක ‘තෙලෙ උන්ගේ පියවර ය’යි කිවු ය. බැමිණිනියෝ ත් ලක්‍ෂණ මන්ත්‍ර යහපත් ව දන්නා හෙයින් බමුණ, මේ පත්ල ගිහිව සිටි කෙනකුන්ගේ පත්ලෙක් නොවෙයි කියා ලා බමුණා ‘පින්වත, තී පැන් සැළියේ කිඹුලුන් දක්නා එකෙක් වැන්නී ය. මම ද ඕ හට ම දුව දෙමි යි කීමි. උයි ත් ගිවිස්සෝ ය. අනභිප්‍රාය වුවොත් නො කැමති නියාව කියන්නෝ වේදැ’යි කී කල්හි ‘බමුණානෙනි, තොපි දන්නා නම් ගිනි මොළවන්නා සේම හෙයින් සෙස්සක් දන්ට නැති වන්නා කියව. වේ පත්ල වූ කලී බඹ ලොම ගෑනු නැත්තා සේ සන්තානයේ කෙලෙස් ලව නැති කෙනකුන්ගේ පත්ලෙකැ’යි කිවු ය.

බමුණානෝ ‘පින්වත, තෝ නො දොඩා බැණ නො නැඟී මා හා කැටි ව එව’යි කියා ලා යන්නාහු බුදුන් දැක ‘මා කී තැනැත්තෝ නම් තුලූ ය’යි පෑ ලා බුදුන් කරා ගොසින් ‘ම දුව තොපට සරණ පාවා දෙන්ට ගෙනාමි. උන් පාවා ගනුව’යි කිවුය. ‘තොපගේ දුවණියන් අපට නොකැමැත්තේ ය’යි නො වදාරා ‘එක් කාරණයක් තොපට කියා ලමි. ඒ අසවු දැ’යි විචාරා ‘අසමි’ කී කල්හි මහබිනික්මන පටන් සඞ්ක්ෂෙප කථාවක් දක්වන සේක් ‘හෙම්බා, මම විසි නව හවුරුදු රජ සැප ත් හැර කන්ථක නම් අස් රජහු නැඟී ඡන්න නම් ඇමැත්තහු හා සමඟ මහණ වන්ට නික්මුණු ගමනේ නුවර වාසලින් පිටත සිටි වසවත් මරහු ‘සිද්ධාර්ථ කුමාරයෙනි, රඳව, සත් වන දවස්සක් රුවන පහළ වෙයි’ කී කල්හි ‘මාර ය, මම දනිමි. නො නවතිමි’යි කී හෙයින් ‘නො නවත්නේ කුමක් නිසා දැ’යි කී ය. බුදු වන නියා ය’යි කී කල්හි ‘එ සේ වී නම් අද පටන් නපුරු සිතක් නො සිත ව. නපුරු සිතක් සිතූ නම් ඊට නිහඬ දනිමි’ කියා ලා එ තැන් පටන් අවසරයක් දක්නට සත් අවුරුද්දක් උත්සාහ කෙළේ ය.

‘මම ද සාවුරුද්දක් දුෂ්කර ක්‍රියා පුරා බුදු ව පස් වන සතිය අජපල් නම් නුග ගස මුල උනිමි. එ වේලාට මාරයා මම මෙතෙක් කල් මුළුල්ලෙහි ත් තොරතුරක් සොයා අත් නො හැර ඇවිද ත් තොරතුරක් දැක්ක නුහුණුයෙමි. මාගේ විෂ ය ඉක්මවා පූ ය’යි මුසුප්පු ව ගෙන මාවතක හුණ. ඉක් බිත්තෙන් ඔහුගේ තණ්හාවෝ ය, අරතී ය, රගාවෝ ය යන දූන් තුන් දෙන ‘අපගේ පියාණන් වහන්සේ නොපෙනෙන සේක. දැන් කොයිදෝ හෝ’යි බලන්නාහු උන් මාවත මුසුප්පු ව ගෙන හුන්නහුන් දැක උන් කරා ගොසින් පියාණන් වහන්ස, මුසුප්පු හැයි දැ’යි විචාළෝ ය. ඌ තමන් සිත ඇති මුසුප්පු ව දූන් තුන් දෙනාට කී කල්හි ඌ ඒ අසා ‘පියාණන් වහන්ස, මුප්පු නූ ව මැන ව. අපි උන් පොලොඹා අපට වසඟ කොට ගෙන එම්හ’යි කිවු ය. ‘කිසි කෙනකුන්ටත් ඌ වසඟ වන කෙනෙක් නො වෙති. දරුවෙනි, තොපට බැරිය’යි කිවු ය.

‘පියාණන් වහන්ස, අපි ගෑණු ජාති වේ ද, දැන් ම යෞවන පුරුෂයන් බදන්ට නිලව තිබෙන අපගේ කෙලෙස් නමැති අඟර මළින් බදාගෙන එම්හ. මුඹ වහන්සේ මුසුප්පු නූව මැනවැ’යි කියා ලා බුදුන් කරා ගොසින් ‘මහණ, තොපට අඹු වම්හ’යි කියා ලා තුන් බින්න වෙන වෙන ම ස්ත්‍රී විලාස දැක්වූහ. බුදුහු උන් කියන බස් දත් වගුළ කැණහිල් දෙනුන්ගේ හඬ කොට ත් නො සිතූ සේක. උන් තමන් දා වැකිටි ගැසී ගිය වැඳිරි මෑල්ලන් තරමට ත් නො තැකූ සේක. ඇස දල්වා උන් දසාව ත් බලා වදාළේත් නැත. ගල් පිළිමයක් මෙන් නිශ්චල ව වැඩ හුන් සේක. නැවතත් මාරයාගේ දූන් තුන් දෙන පිරිමින්ගේ අදහස් නම් නො එක් සිතිවිලි වෙයි. සමහර කෙණෙක් දස දොළොස් ඇවිරිදි විවරයන් කෙරෙහි ඇලුම් කෙරෙති. සමහර කෙනෙක් සග බාල ස්ත්‍රීන් කෙරෙහි ඇලුම් කෙරෙති. සමහර කෙනෙක් මධ්‍යම තරමුන් කෙරෙහි ඇලුම් කෙරෙති. සමහර කෙනෙක් මැළි ගෑණුන් කෙරෙහි ඇලුම් කෙරෙති. නො එක් ලෙසින් වුව ත් පොලොඹා ගනුම්හ’යි එ කී එ කී තැනැත්තෝ ම සරණ යන අවස්ථාව ය, දරුවන් ලබන අවස්ථා ව එක් දරු මා අවස්ථාව ය, දෙ දරු මා අවස්ථාව ය; මධ්‍යම තරම් අවස්ථාව ය, මෑලි අවස්ථාව ය’යි මුල් අවස්ථා සයක් ඇති ව අත්බැව් සියක් සියක් මවා බුදුන් ළඟට ගොසින් ‘මහණ තොපට අපි තුන් බින්න ම අඹු වම්හ’යි කිවු ය. එයිත් බුදුහු සිත්හි නො ලා කෙ තෙක් වේලා ත් බැණ නො නැඟෙත් උන් එතැනින් නොයන හෙයින් ‘පාපී කෙල්ලෙනි, පලා යව. තෙල ලෙසම තොප ආයාස ගන්නේ හැයි ද? තෙල ලෙස කළ මනා කෙලෙස් ඇතිකෙනකුන් ට ය. සර්‍වඥවරයන්ට රාගාදි වූ කෙලෙස්හු තොපට ගුණයක් දහමක් නැත්තා සේ නැති වූහ’යි වදාරා බණ වදාරන සේක් -

‘යම් සර්‍වඥ කෙනකුන්ට ශ්‍රෝත ආපත්‍යාදි ඒ ඒ මාර්‍ගයෙන් නටුවා වූ කෙලෙස්හු පෙරළා පැවැත්මක් නැති හෙයින් නපුරු කොට නසන ලද්දෝ නොවෙත් ද, නටුවා වූ කෙලෙසුන් ගෙන් කිසි කෙනකු ත් උන් අනු ව නො පවත්තී ද, අනන්ත වූ විෂ ය ඇති සර්වඥතා ඥානය ලැබ සිටියා වූ රාගා දී කෙලෙසුන් නසා ඒ සර්වඥයන් කවර ලෙසකින් තොපට නම්වා ගනු ද? තව ද යම් සර්‍වඥ කෙනකුන්ට කවර ත් තැනකට පමුණුවා ලන්ට නිසි වූ අෂ්ටොත්තරශතප්‍රභෙද වූ තෘෂ්ණා වූ නැද්ද, තෘෂ්ණා ව සියලු ලෙසින් ම නසා සිටි සර්‍වඥවරයන් කවර ලෙසකින් තොප කරා නම්වා ගනු දැ’යි වදාළ සේක. මේ දේශනාවගේ කෙළවර බොහෝ දෙවියෝ නිවන් දුටහ.

මාරයාගේ දූන් තුන් දෙනත් එ තැනින් ම සැඟවී පලා ගියහ. බුදුහු ඒ දේශනා ව ගෙන හැර වදාරා ‘මාගන්‍දියෙනි. මම පෙර තච පඤ්චක පමණක් විනා අනික් කුණු කොටස් සත් විස්ස ම දේවතා දූන්ට නැති විසින් රන් කඳ වැනි අත් බැවු ඇති දෙව් දූන් තුන් දෙනා දැක ත් මා උන් කෙරෙහි ඇල්මෙක් ගින්නෙහි පැළ නො නැගෙන්නා සේ හට නො ගත. තොපගේ දුවණියන්ගේ ශරීර ය නම් උන්ට ලා තොපට ම යහපත් සේ වැටහෙන බව මුත් දෙතිස් කුණු කොටසින් ගැවසී ගෙන තිබෙයි. පිරිමැස්ම නම් අසුවි පුරා ලූ කළයක් පිටත සිත්තම්

කරන්නාක් වැන්න. ඉදින් මාගේ පය අපවිත්‍රයෙහි ගෑවිණි නම් මෑ පය පිස්නා දඬු කඩක් ලෙස සිටියා නමුත් මෑගේ ඇඟ මාගේ අපවිත්‍ර ව ගියා වූ පය පමණකු ත් නො පිසිමි’ වදාරා ලා-

“දිස්වාන තණ්හං අරතිං රගං ච -

නාහොසි ඡන්‍දො අපි මෙථුනස්මිං,

කිමෙවිදං මුත්තකරීසපුණ්ණං-

පාදාපි නං සමඵුසිතුං න ඉච්ඡෙ”

යන ගාථාව වදාළ සේක. ගාථා කෙළවර බමුණානන් හා බැමිණියන් හා දෙන්න අනාගාමි වුව. සමහරුන්ට අමා සමහරුන්ට වස වන්නා සේ ඒ බණ මාගන්‍දියා නම් කුඩා බැමිණියට වස විය. සෙසු යම් තැනකට ම සප්‍රයෝජන වි ය.

එ හෙයින් නුවණැත්තවුන් විසින් බුදු රජුන් වහන්සේ මාගන්‍දියා නම් බැමිණිය තමන් වහන්සේ කෙරෙහි වෛර බැඳ ගෙන බණවන්නී හරසර නො සලකා අරුන් දෙ මහල්ලන්ට වන ප්‍රයෝජන පමණක් සැලකුවා සේ මෙ ලොව විඳිනා ඵාසු නො සලකා මත්තෙහි ලබන නිවන් සලකා නො පමා වසනු මැනවි.

  1. මාගන්දියා

  2. මාගන්දිය