158. අනේපිඬු මහ සිටුහුගේ පුත් කාළ නම් සිටුපුත්‍රයාගේ වස්තුව

star_outline

තව ද තමාගේ එ බඳු අදහසක් මඳවුව ත් අනුන්ගේ වසයෙන් කළා වූ කුසලය ත් සප්‍රයෝජන වූ නියාව හඟවන්ට අනේපිඬු මහ සිටුහුගේ පුත් කාළ නම් සිටු පුත්‍රයාණන් ගේ වස්තුව දක්වමු.

කෙසේ ද යත් -

ඒ කාළ නම් සිටු පුත්‍ර තෙමේ එ සේ වූ සැදෑ ඇති සිටාණන්ට පුත්ව ඉපදත් නෙළුම් මල මොළකැටි වුවත් නෙළුම් දණ්ඩ රළුවා සේ බුදුන් කරා විහාරයට යන්ට වේව යි තමන්ගේ ගෙට වැඩි කල දක්නට වේව යි. බණ අසා ගන්ට වේව යි, සඞ්ඝයා වහන්සේට වෙය්‍යාවතක් කරන්ට වේවයි, නො කැමැත්තෝය. පියාණන් තෙල ලෙස නො කරව’යි කීවත් උන්ගේ බසුත් නොගිවිසති.

ඉක්බිත්තෙන් අනාථපිණ්ඩික සිටාණෝත් තමන් බාල කලත් තෙල ලෙස නො කළ විරූ හෙයින් තමන්ට ඒ අප්‍රිය හෙයින් ‘මූ මෙ ලෙස ම කෙරෙත් නම් නරකොත්පත්තියක් විනා ස්වර්ගොත්පත්තියක් මුන්ට වන්ට කාරණ නැත. අප වැන්නවුන්ට පුත් ව ත් නරකයෙහි උපන්නු නම් උන්ටම ඒ තරම් වත් මුත් අපට තරම් නො වෙයි. මෙලොව ධන ධාන්‍ය සම්පතට නො නැමෙන කෙනෙක් නැත.

එ හෙයින් සම්පත් පෑ ලා වුවත් මට නම්වා ගනිමි’යි සිතා එක් දවසක් ‘පුත, පෙහෙ ව ගෙන වෙහෙරට ගොසින් බණ අසා එව. තොපට මසු සියයක් දෙමි’යි කිවු ය. ‘දෙන සේක් ද, දෙන සේක් දැ’යි තුන් විටක් ම විචාරා තුන් විටක් ම දෙමි’ කියවා තර ය කරවා ගෙන පෙහෙ ව ගෙන විහාරයට ගියහ. විහාරයට ගිය පමණක් මුත් බණ ඇසීමෙන් තමනට ප්‍රයෝජනයක් නැති හෙයින් සැප තැනක වැද හෙව නිඳා පුරා පියා උදාසන ම ගෙට ගියහ. අනාථපිණ්ඩික සිටාණෝ ද ‘ම පුත්තු ඊයේ පෙහෙ වූ ය. එ හෙයින් රෑ සයින. වහා උළු කැන් හා කැවුම් ගෙනෙව”යි ගෙන්වා දුන්හ. ඌ ‘රන් නො ලද්දොත් නො කමි’ කියා ලා උළු කැන් හා කැවුමුත්, සෙසු ත් ගෙනා දෙය ත් නොකති. සිටාණෝ ද උන්ට වන පීඩා ව ඉවසා ගත නො හී රන් පියල්ලක් දෙවාලූ ය. ඒ රන් පියල්ල අතින් අල්වා ගෙන පිනට ලෝභ නැත ත් වස්තු ලෝභ ය බලවත් හෙයින් ආදි නොකෑව ත් රන් ලැබ අතට හැර ගෙන බත් පැන් අනුභව කළහ.

දෙවන දවස් සිටාණෝ ‘පුත, තොපට මසු දහසක් දෙවා ලමි, බුදුන් ඉදිරියේ සිට එක බණ පදයක් ඉගෙන එව’යි කිය ලා යවුය. උයිත් වෙහෙරට ගොසින් බුදුන් ඉදිරියෙහි සිට එක බණපදයක් ඉගෙනගෙන ලා කල් යවා රඳන්ට මැළි ව නික්මෙනු කැමැති වූ ය. උන්ගේ සිතිවිල්ලට බුදුන්ගේ සිතිවිලි පෙරාතු ව ලා තමන් වහන්සේ ළඟට ගිය කලට ඒ වදාළ පදය නො සැලකෙන ලෙසට කළ සේක. පද ය සලකා ගත නො හී ‘අනික් පදයක් උගනිමි’යි සිට ඇසූමය. උගනිම්හ’යි අසන්නෝ සකස් කොට අසති. මෙ සේ අසන්නවුන් අසන දෙය සිත හෙළා අසන හෙයින් දැන විදලූ හී දණ්ඩ ඉලක්ක ය. වැද ගන්නා සේ භාවනා සිතත්ති ලකුණෙහි වැද ගෙන නිවන් සාදා දී ලයි. උයි ත් ‛උගනිමි’ සිතා ම අසති. බුදුහු ත් වදාළ පද ය නො සැලකෙන ලෙසට කරන සේක. උයි ත් අනික් පදයක් උගනිමී සිට අසන්නෝ ම ආදි ආදි ඇසු පදත් පසු ව නො සැලකෙන බව මුත් පරතොඝොෂ ප්‍රත්‍ය ය ලෙසට ආදි ඇසූ හෙයිනුත් කෙළවර පදය අසා නිමවා ම කෑ කෑ දෙයින් බඩ පිරුණා සේ ඇසු ඇසූ දෙයින් අර්ථ ප්‍රතිවෙධ ය වූ හෙයින් පිනට මැළි කම් පලවා සෝවාන් වූහ.

සිටු පුත්‍රයාණෝ නිවන් රස අනුභව කොට ලා දෙ වන දවස් බුදු පාමොක් සඞ්ඝයා වහන්සේ ලා කැටි ව අනාථ පිණ්ඩික සිටාණන්ට වූ පුත් කමින් හැරී බුදුන්ට පුත් වූ නියා ව හඟවන්නාක් මෙන් සැවැත් නුවරට වන්හ. සිටාණෝ ද පුතණුවන් දැක ‘අද ම පුතුන්ගේ සැටි ය යහපතැ’යි සිතූ ය. සිටු පුත්‍රයාණෝ ද ‘අද අපගේ පියාණන් වහන්සේ බුදුන් ළඟ දී පදයක් ඉගෙන ආවො ත් දෙමී කී මසු දහස නුදුන් සේක් නම් යහපත. ඊයේ රන් නිසා පෙහෙ වූ නියාවක් නො කී සේක් නම් යහපතැ’යි සිතූහ. බුදුහු වැළිත් මුන් ඊයේ රන් නිසා පෙහෙ වූ නියාව දත් සේක.

මහ සිටාණෝ බුදු පාමොක් මහ සඟනට කැඳ අවුළු පත් පිළිගන්වා ලා පුතණුවන්ටත් කැඳ අවුළු පත් දෙවූහ. ඌ වැද හිඳ රන් නො ඉල්වා ම හුළු කැනුත් පූය. කැවුමුත් කෑවුය. පසුව බතුත් කෑවු ය. රනින් විඳිනා ප්‍රයෝජන විතරට ත් නිවනින් විඳගන්නා ප්‍රයෝජන බලවත් ව ගොසින් රනෙක නමක් ම නොකීවෝය. මහ සිටාණෝ ද බුදුන් වළඳා අන්තයෙහි පුතණුවන් ළඟ මසු දාහසින් බඳ පියල්ල තබ්බවාලා ‘පුත, තොපට මසු දහසක් දෙමී කියා ලා විහාරයට යැවීමි. සෙල ඒ දහස හැර ගනු ව’යි කිවු ය. උයි ත් බුදුන් ළඟ දී රන් හැර ගන්ට කී හෙයින් ලජ්ජාව ගොසින් ‘අපට රන් නො කැමැත්තේ ය’යි කියා නැවත කීවත් හැර නො ගත්හ. මහසිටාණෝ ද බුදුන් වැඳ ලා ‘ස්වාමීනි අද ම පුතුන්ගේ සැටි ය යහපතැ’යි කියා කුමක්ද, මහ සිටාණෙනි, වදාළ කල්හි ‘ස්වාමීනි, පෙරාතු දවසෙක ‘මසු සියයක් දෙමී විහාරයට ගොසින් ‘එව’යි කියා යවා ලූ ගමනේ අවුත් රන් අතුට ඇරගෙන සිට ය. බතක්-පැනක් අනුභව කෙළේ. අද අතින් රන් ඇරගන්ට කීව ත් ආදි සිය ය පමණක් ඇරගත් තැනැත්තෝ දැන් දාසක් ඇරගන්ට මැළියෝ ය’යි කිවු ය. බුදුහු ත් ‘එ සේය, මහ සිටාණෙනි, එ ලෙස වන්ට කාරණ ඇතැ’යි වදාරා බණවදාරන සේක් – සක් රුවනෙහි ආනුභාවයෙන් මුළු සක්වල සාධා ගෙන සත් රුවනින් සමන්විත ව සක්විති රාජ්‍ය ය කිරීමෙනුත් කිසි කලෙක නරකාදි වූ සතර අපායට පැමිණ දුක් විඳිනා හෙයින් ප්‍රයෝජන නැත. දිව්‍ය සම්පත්තියෙනු ත් ශුද්ධාවාස බ්‍රහ්ම සම්පත් හැර සෙසු බ්‍රහ්ම සම්පතිනු ත් කලෙක උන් හැම කදෝ පැණිව ත් උපදනා හෙයින් ප්‍රයෝජන නැත. හැම තන්හි සියල්ලවුන්ට ඉසුරු පවත්වා නායක වීමෙනු ත් කිසි කලෙක අනුන්ට අයිති වන හෙයින් ප්‍රයෝජන නැත. ප්‍රයෝජන කවරේ ද යත්-අපාය දුකින් මිඳෙන හෙයින් හා කලෙක දී සසර දුකින් මිඳෙන හෙයිනු ත් සෝවාන් පමණක් වුව ත් එ ම යහපතැ’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන සෝවාන් ඵලාදියට පැමිණියහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් ශක්‍ර සම්පත් බ්‍රහ්ම සම්පත් මාර සම්පත් චක්‍රවර්ති රාජ්‍ය රාජ්‍ය සම්පත් ප්‍රදේශ රාජ්‍ය සම්පත් ආදියෙහි ඇලුම් හැර නිවන් සම්පත් ම සාදා ගත යුතු-

_________