14. චුන්ද නම් හූරු වැද්දාගේ වස්තුව

star_outline

තව ද කුසලින් දුරුවන්න වුන්ට අකුසල්හි ආදීනව දක්වනු සඳහා චුන්‍ද නම් හූරු වැද්දාගේ වස්තුව දක්වමු.

හේ කෙ සේ ද? යත්:-

වැදිතෙමේ පස් පනස් හවුරුද්දක් මුළුල්ලෙහි දැල් පන් ආදිය කොට ගෙන හූරන් මරා කා විකොට ජීවත් වෙයි. සාය අවධි යෙහි හූරු වෙළඳාම් හැඟෙන නියාව දැන වී සාල් හැර ගෙන පිටිසරට ගොසින් නැළි ය දෙනැළි ය දී ලා ගම් හූරු පැටවුන් හැර ගෙන වීගෙන ගිය ගැල් පුරා ගෙනවුත් ගේ පිටි පස්සෙහි හූරුගාලක් ගසා ලා ගාල ඇතුළතම උන්ගේ අනුභවයට නිස්ස ත් ඇති කොට ඒ හැම කා වැඩුණු අවස්ථාවෙහි තෙමේ ත් පව් කොට වැඩුණේ, යම් යම් හූරකු මරා කනු කැමැත්තේ වී නම් ඒ හූරා තර කණුවෙක නො සැලෙනා ලෙස බැඳ සිටුවා ලා මස් බොල් වනු නිසා ත් පව් බොල්වනු නිසා ත් සිව් රැස් මුගුරකින් තළා, මස් බොල් වූ නියාව මුත් පව් බොල් වූ නියාව නො දැන තමාගේ චිත්ත ශුද්ධියක් නැත ත් උගේ ශරීර ශුද්ධි ය නිසා ත්, උගේ පුරා කෘත අකුශල කර්‍මයෙන් භාගයක් වුව ත් සෝධන්ට අවීවියෙහි දී තමාගේ කට ත් දල්වන ලෙසට උගේ කට ත් දල්වා, කට නො පියන ලෙසට දඬු කඩක් ගෙන්වා ලා ලෝ සාළුවෙන් තමා කට ලෝ දිය වත් කරණ ලෙසට ඌගේ කට ත් ය සෑන්දකින් තර ව කකියා ගිය හුණු පැන් වත් කෙරෙ යි. ඒ වත් කළ හුණු පැන් කුස ඇතුළට වැද කකියමින් කසළ ත් හැර ගෙන අධෝමාර්‍ගයෙන් නික්මෙ යි. එ සේ නික්මෙන පැන් යම් තාක් මඳකු ත් කසළෙක් බඩ ඇතුළේ ඇත් නම් කැළඹී එයි. එහි කසල නැත් නම් ප්‍රසන්න ව බාහ්‍ය වෙයි. එ ලෙසින් ම බඩ ශුද්ධ වූ නියාව දැන සෙසු හුණු පැන් හූරාගේ පිට වත් කෙරෙ යි. එ කල කළු සම දවා ගෙන වැගිර යෙ යි. ඉක්බිත්තෙන් තණ සුළකින් ලොම් දවා පියා කැපෙන යකඩෙකින් ඉස ගසා පිය යි. බොටුවෙන් වැගිරෙන ලේ වළඳක වත් කොට තබා ලා මස් කැටි ලෙහෙයේ ගල ගලා ගෙන අඹු දරුවන් පිරිවරා හිඳ කාලා ඉතිරි දෙය විකුණ යි.

මෙ ලෙසින් ජීවත් වන්නා වූ ඕ හට හවුරුදු පස් පනසෙක් පලා ගියේ ය. දෙව්රම් වෙහෙර පිටි පස්සෙහි හිඳ ගෙන මෙ තෙක් පව් කරණ මේ තෙමේ හැම දෙනා සිත් ගන්නා නිසා වුවත් එ වැනි පින් කෙතක් බල බලා මල් පිදීම් පාන් පිදීම් දන් දීම් ආදී වූ කිසි ත් පින් කමක් නො කෙළේ ය. පස් පනස් හවුරුද්දක් ගිය කලට මූට බලවත් රෝගයෙක් ඇති වි ය. නො මියෙන තෙක් ම ගති නිමිත්ත ව අවීචි නරකයෙහි ගිනි දැල් පෙනෙ යි. අවිචියෙහි ගිනිදැල් සාරසියයක් ගවු පමණ සිට බලන්නවුන්ගේ ත් ඇස් පිපිරෙන තරම. කුළු ගෙයක් සා වූ ත් ගලක් ඒ ගින්නෙහි හෙළා ලූ ‘වොත් හුණු ඇසිල්ලෙහිම නැති වෙයි. ගල් විරෙන කල ඊ උපන් සතුන් නො විරෙන්නේ හැයි ද? යත් –මවු කුස උපන් සතුන් මවු කුස ගින්නෙන් නො විරෙන්නා සේ කර්‍ම බලයෙන් නො විරෙති. ඒ ගිනි දැල් පෙනෙන්ට වන් දවස් පටන් හූරන්ට කළ සැටියට ම,

“යෙන යෙන පකාරෙන යං යං පාපං කතං පුරා.

තස්ස තස්සානුරූපං ච - ඵලං හොති අසාහියං.”

යනු හෙයින් දණ එ ව ලා හූරු හඬ හඬමින් ඉදිරියේ දොර ටත් පෑළ දොරට ත් බැරැඬු ගා ගෙන දිවෙයි. ගෙයි මිනිස්සු මූ තරයේ අල්වා ගෙන මොර ගා ලන්ට දැල්වූ කට පියති. හූරන් කට දඬු ගැන්වූ හෙයින් කට නො පිය හී හඬා ම ඇවිද්දී. මුගේ ගෙට දෙ කෙළවර ගෙවල් සතක් සතක් නියායෙන් ගෙවල් තුදුසෙක මිනිස්සු රෑ එක නින්දක් නො ලැබෙති. මූ නිසා හූරන්ට වූ ගහට සේ ම මිනිස්සුන්ට ත් බොහෝ පීඩා විය. වියරු හුණු බල්ලකු මෙන් ඈත මෑත දිවන හෙයින් ගෙයි දොරවල් හයා බැඳ ලා පිටත රැක ගෙන සිටිති. චුන්‍ද සූකරිකයා ත් ඇතුළු ගෙයි හඩා ඇවිද්දී. ඒ සත් දවස් හූරු මස් පලා කන්ට අවසරයක් නොවීය. මෙසේ සත් දවසක් මුළුල්ලෙහි හඬා මුර ගා සත් වන දවස් මිය, දිගින් – පළලින් – උසින් සාර සියයක් ගවු පමණ දිග - පළල - උස ඇති ස තිස් ගවු විතර බොල ඇති ගිනි ගෙන දිළිසෙන භිත්ති සතරක් හා ය පොළොවක් හා වසා ලූ ය කබලක් ඇති අවීචියෙහි පස් පනස් හවුරුද්දෙන් නැතක් ආයු ඇති කල හෙයින් අන්තඃ කල්පයට ආයු ඇති ව උපන.

වහන්දෑ ද ඌ බැරැඬු ලන සත් දවස් ඌගේ ගෙය කෙරෙන් සිඟා වඩනා කල ඌ හඬන හඬ අසා හූරන් මරණ කල බැරැඬු ගාවන හඬය යි සිතා වෙහෙරට ගොසින් බුදුන්ට ස්වාමීනි, චුන්‍ද සූකරිකයා දොරවල් පියා ගෙන හූරන් මුර ගාව ගාවා මරන්නේ අදට සතිය ය. උගේ මඟුලක් ඇතැ යි සිතම්හ. මෙ තෙක් හූරන් මරණ ගමනේ එක දවසක වත් මූට මෙත් සිතක් හට ගත් නියාවක් වත් මරණ හූරන් නො මරණ නියාවක් වත් පෙනෙන්ට නැති හෙයින් නො දතුම්හ. මෙ සේ වූ තද එකකු නුදුටු විරූම් හ යි කී සේක.

‘හෙම්බා මහණෙනි, මේ සත් දවසක් හූරන් මරණ නියා නොවෙයි. තමා සේ ම පව් කරන්නවුන් පව් නො කරන්ට තමාට පෙනෙන නරක ගින්න පාන්ට කරණ යත්නයක් තමා ම මරණ භයින් මොර ගානා නියා ය. අද මිය ගොසින් අවීචි නරකයෙහි උපන. එ සේ හෙයින් මහණෙනි, ගිහි වුව ත් ශාසනික වුවත් යම් කෙනෙක් මොහු පරිද්දෙන් පවට ම නියම ව පව් කෙරෙත් නම් මියන අවස්ථාවෙහි ත් පිනක් ම කට නුහුණු යෙමි යි නො කළ පින් අරභයා ශෝක කෙරෙති. පර ලොව බලවත් දුකට පැමිණ දුක් විඳිනාහු පර ලොව ත් ශෝක කෙරෙති. එ සේ හෙයින් පව් කළවුන්ට දෙ ලොව ම ශෝක ය. නො එක් ලෙසින් සලකා ත් කළ පිනක් ම නො පෙනෙන හෙයින් ශෝක කෙරෙති. කළා වූ නිකෘෂ්ට කට යුත්ත සලකා දැක පෙළෙන්නෝ’යි වදාළ සේක.

මේ දේශනාව අසා බොහෝ දෙනා පාපයෙහි භය ඇති ව ඉන් දුරු ව කුසල්හි පිහිටා සසර දුක් ගෙවා සතර මඟ සතර ඵලයට පැමිණියහ. එ සේ හෙයින් මේ දේශනාව ත් පස්වා දහස් මුළුල්ලෙහි බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වි ය. එ හෙයින් සත්පුරුෂයන් විසින් අකුශලින් දුරු ව කුසල්හි පිහිටා චිත්තශුද්ධිය කට යුතු.