157. අසදිය දාන වස්තුව

star_outline

තව ද සත්‍වයන් දන් දීමෙහි යොදනු නිසා අසදිස දාන වස්තුව දක්වමු.

කෙසේද යත් -

එක් සමයෙක බුදුහු දඹදිව සැරිසරා වැඩ පියා නිත්‍ය පරිවාර පන්සියක් දෙනා වහන්සේ හැර ගෙන දෙව්රම් වෙහෙරට වැඩි සේක. රජ්ජුරුවෝ විහාරයට අවුත් බුදුන්ට ආරාධනා කොට ලා දෙ වන දවසට අමුතු දනක් සරහා ලා අපගේ දන් බලන්ට අව මැනවැ’යි නුවර වැස්සන් කැඳවා යවූ ය. නුවර වැස්සෝ ද අවුත් රජ්ජුරුවන්ගේ දන් දැක දෙ වන දවස් රජ්ජුරුවන් දුන් දනට වඩා දනක් දෙන්ට සිතා බුදුන්ට ආරාධනා කොට දනක් සරහා ලා ‘රජ්ජුරුවන් වහන්සේ අපගේ ත් දන් බලන්ට වැඩිය මැනවැ’යි කැඳවා යවූ ය. රජ්ජුරුවෝ උන්ගේ දන් දැක ‘මූ නො රජ ව සිට ත් මාගේ දනට වඩා පූ ය. රජ ව සිටි මා ත් වඩා පුවමනා වේ දැ යි තුන් වන දවසටත් දන් සරහා ගත්හ. නුවර ඇත්තෝ ඒ දන දැක ‘තනි රජ්ජුරුවන් වහන්සේ මේ තරමෙක දන් දුන් කල අපි මෙ තෙක් දෙනමෝ වඩාපියම්හ’යි සතර වැනි දවසට දනක් සරහා දුන්හ.

මෙ සේ දන් දෙන ගමනේ රජ්ජුරුවෝ නුවර ඇත්තවුනු ත් පරදවා ලිය නොහෙති. නුවර ඇත්තෝ රජ්ජුරුවන් පරදවා ලිය ත් නොහෙති. පස්වැනි මුරයේ රජ්ජුරුවන් දන් දුන් කලට ස වන වාරයේ නුවර ඇත්තෝ සීයක් ලෙසින් දාසක් ලෙසින් වඩා යම් ලෙසකින් මේ දනට මේ මේ දෙය නැතැ’යි කියාලන්ට බැරි වී නම් එ ලෙසට දන් සැරහූය. රජ්ජුරුවෝ නුවර වැස්සන් තමන්ට වඩා සරහා ලූ දන දැක ‘ඉදින් මම මුන්ගේ දනට වඩා දිය නුහුණිම් නම් ජීවත් වීමෙන් ප්‍රයෝජන නැතැ යි සිතා ගෙන සැතපුණාහ. මල්ලිකා බිසවු රජ්ජුරුවන් කරා එළඹ ‘මහරජ, මුසුප්පුව ගෙන වැද හොත්තේ හැයි ද, මූණ පෑයත් නැතැ’යි විචාළහ.

‘බිසවුනි, මුසුප්පු වන්ට කාරණ නො දනු දැ’යි විචාරා නො දනිමී’ කී කල්හි නුවර වැස්සන් දනින් වඩන හෙයින් මුසුප්පු නියා ය’යි කිවු ය. ඒ අසා මල්ලිකා බිසවු ‘රජ්ජුරුවන් වහන්ස, ඒ නිසා වූවොත් මුසුප්පු නුවුව මැනව. නුවර වැස්සන් කෙතෙක් දෙනා එක්වත් රජ්ජුරු කෙනකුන් පරදවා පූ නියාවක් කවර කලෙක දුටු විරූ ඇත්ද? දක්නා තබා ඇසූ විරූ ත් ඇත්ද? මුඹ වහන්සේ විධාන කොට දන් වඩාගත නො හෙන සේක් නම් මම විධාන කෙරෙමී’ අසදෘශ මහ දන් තුමූ විධාන කරණු කැමති ව, ‘මහරජ, බුදුන්ගේ නිත්‍ය පරිවාර පන්සියක් දෙනා වහන්සේ දන් වළඳන්ට වැඩ හිඳිනට අනික් දණ්ඩක් පතක් නැතිව මඬුවෙහි මධ්‍ය මණ්ඩපයේ සල් කලණ පෝරුව අතුරුවා ලුව මැනව. බුදුන් හා ඒ පන්සියයක් දෙනා වහන්සේ හා සල් කලණ පෝරු පිට වැඩ හිඳිනා සේක. සෙසු වහන්දෑ ඒ පෝරුවෙන් පිටත හිඳිනා සේක. හෙළ කුඩ පන් සියයක් කරවා ලුව මැනව. ඇත්තු පන්සියයෙක් කුඩ පන් සියය, පන්සියක් දෙනා වහන්සේ හිසට කෙරෙති. රන් හොරු අටක් හෝ දසයක් කරවා ලා මණ්ඩපය මැද තබ්බවා ලුව මැනව.

‛දෙ නමකට දෙ නමකට අතුරෙහි එකි එකී බිසෝ කෙනකුන් හිඳ සුවඳ අඹරන්ට වුව මැනව. එකි එකී බිසෝ කෙනකුන් තල් වැට චාමර හැර ගෙන දෙ නම දෙනමට පත් සැලුව මැනව. සෙසු බිසෝවරුන් අඹරා නිමි සුවඳ ගෙනවුත් රන් හොරු වල ලුව මැනව. ඉන් ම සමහර බිසෝ කෙනකුන් මහනෙල් මල් කලප් හැර ගෙන රන් හොරුවල ලා ලූ සුවඳෙහි ගල ගලා සුවඳ ගැල්වුව මැනව. නුවර ඇත්තවුන්ට එතෙක් බිසෝවරුන් තබා එක බිසෝ කෙනකු ත් නැත. සෙනෙවිරත් ආදීන්ට කුඩ තුන සතර ඇති වත ත් හෙළ කුඩ පන්සියයකු ත් නැත. ඇතුනු ත් ඇති වතො ත් එකකු දෙන්නකු මුත් පන් සියයක් ඇත්තු ත් නැත. එසේ කලට ඒ හැම මුඹ ඇති වන්නා නුවර ඇත්තෝ පරදිති. එ ලෙස කරවුව මැනැවැ’යි කිවු ය.

රජ්ජුරුවෝ ත් සතුටු ව යහපතැ’යි උන් කියාලූ ලෙස ම සියල්ලම රජව සිටින්නවුන්ට බැරි නොවන හෙයින් කරවා ලූහ. වහන්දෑගේ ගණනට ඇතෙක් මඳ ව රජ්ජුරුවෝ එ පවත කීහ මල්ලිකා බිසවු ‘කුමක් කියන සේක් ද? ඇතුන් පන් සියයකට ත් නැති නියාදැ’යි කිවු ය. ‘පන් සියයකට වඩාත් ඇත. සෙසු ඇත්තු මොළ නුවු ය. එක් ඇත් පොව්වකු මොළ වු ය. වහන්දෑ දැක ලා ඉගිල දිවෙති’යි කිවු ය. ‘එ සේ වී නම් දුෂ්ට වූ ඇත් පොව්වකු හෙළ කුඩයක් හැර ගෙන සිටිනා තැනක් දනිමි’යි කිවු ය. ‘කො තැනක සිටුවමෝ දැ’යි විචාළ කල්හි ‘අඟුල් මල් මහතෙරුන් වහන්සේ ළඟ සිටුවා ලුව මැනවැ’යි කිවූය. රජ්ජුරුවෝ ත් එ ලෙස ම කැරැවූහ. ඇත් පොවුවා ද වාලධිය කළවා හස්සෙහි ගන්වා ගෙන කන්පත් දෙකත් හෙළා ලා ඇස් දෙකත් පියා ගෙන මහ තෙරුන් වහන්සේගේ තේජස් නමැති ඇත්කෝලින් ඇන රඳවන ලදු ව නොසැලී සිට පී ය. බොහෝ දෙන ත් මෙ සේ වූ මොළ ඇත් පොවා අඞ්ගුලිමාල ස්ථවිර නමැති සිංහයාණන් කරා පැමිණ එඩි දර්ප නැති ව ගොසින් මේ තරමක් ව ගතැ’යි ඇතු ම බලන්නාහ.

රජ්ජුරුවෝ ද බුදු පාමොක් සඞ්ඝයා වහන්සේ වළඳවා ලා බුදුන් වැඳ ‘ස්වාමීනි, මේ මාගේ දන් දෙන තැන තුබූ කැප බඩුවකුත් අකැප බඩුවකුත් ඇත් නම් ඒ සියල්ලම මුඹ වහන්සේට දෙමී කිවුය. ඒ දන ද වැලිත් එක දවසට ම තුදුස් කෙළක් වස්තු වියදම් විය. බුදුන් හිසට කළ හෙළ කුඩ ය ද, වැඩ හිඳිනා පළඟ ද, පාත්‍ර ධාතූන් වහන්සේ තුබූ පාත්‍ර වළල්ල ද, නො දෙවි පා තබන පාද පීඨ ය දැ’යි මේ සතර අග ය නැත්තේ ය. නැවත මේ තරම් දනක් දී ලිය හෙන කෙනෙක් නැත. එහෙයින් මේ දනට අසදෘශ දාන යි කියති. එක් බුදු කෙනකුන් වහන්සේට මෙ බඳු දනක් එකක් ම වත් මුත් දෙකෙක් නැත. කවර ත් බුදු කෙනකුන් වහන්සේට මේ දන ඇත් ම ය. ඒ දන විධාන කොළෝත් ගෑනු කෙනෙක් ම ය.

රජ්ජුරුවන්ගේ කාල නම් වූ ත්, ජුණ්හ නම් වූ ත් ප්‍රධාන ඇමැත්තෝ දෙන්නෙක් වූහ. ඒ දෙන්නාගෙන් කාල නම් ඇමැති තමාගේ නම තරමට ම ‘අනේ රජ්ජුරු කෙනකුන් වහන්සේගේ සම්පතකට වූ හානියක් ය. කෙළවර එක දවසින් ම තුදුස් කෙළක් වස්තු වියදම් විය. මේ වහන්දෑ ද මේ දන් වළඳා ගොසින් නිඳන සේක. රජ සම්පත ඉතා ම නට බඳ’ යි සිතීය. ජුණ්හ නම් ඇමැති රුවන ‘අනේ රජ්ජුරු කෙනකුන් වහන්සේගේ දන බලවත, නො රජ ව සිට මේ ලෙස දී ලන්ට බැරි ය. පින් කෙරෙත් නමුත් කළ පින් දී ලන කෙනෙක් නැත. මා මේ පින් අනුමෝ වුවමනා වේ දැ’යි සිතී ය.

රජ්ජුරුවෝ වළඳා අන්තයෙහි අනුමෙවෙනි බණට ආරාධනා කළහ. බුදුහු ත් කළ ආරාධනාවට බණ නොවදාරා තමන් වහන්සේ සම්පජානකාරී හෙයින් ‘මේ රජ්ජුරුවන් මහ වතුරක් මෙන් මහ දන් දුන් නියාව බලවත. තමන් මෙලෙස දී ගත නො හෙතත් දෙන දන් බලා බොහෝ දෙන සිත් පහදවා ගත නුහුණු වූ දෝ කිම් දෝ හෝ’යි බලන සේක් ඇමැත්තන් දෙන්නා සිතූ ලෙස දැන වදාරා ‘ඉදින් රජ්ජුරුවන්ගේ දන ලෙසට අනුමෙවෙනි කීම් නම් කාල නම් ඇමැත්තහුගේ හිස සත් කඩක් ව පැළෙයි. ජුණ්හ නම් ඇමැති සෝවාන් වෙයි’ දැන වදාරා කාල නම් ඇමැත්තහු කෙරෙහි කරුණාවෙන් ඒ සා මහත් දනක් දුන් රජ්ජුරුවන්ට එක ගාථාවක් පමණ වදාරා ලා හුනස්නෙන් නැඟී විහාරයට වැඩි සේක.

වහන්දෑද අඟුල් මල් තෙරුන් වහන්සේ අතින් කුමක් ද, ඇවැත්නි, දුෂ්ට ඇතු කුඩය අල්වා ගෙන සිටි ගමනේ ඌ බල බලා බා නො ගිය දැ’යි විචාළ සේක. තමන් වහන්සේට ඇත් භය තබා හැම භයම නැති හෙයින් ‘මට භයෙක් නැත’යි වදාළ සේක. වහන්දෑ ද බුදුන්ට ‘ස්වාමීනි, අඟුල්මල් තෙරහු භය නැතැ යි කීමෙන් තමන් රහත් නියාවක් හඟවතී’ කී සේක. බුදුහු ‘මහණෙනි, රහතන්ට භය නැති බැවින් මුන් තමනු ත් රහත් හෙයින් උන්ට භය නැතැ’යි වදාළ සේක.

කොසොල් රජ්ජුරුවෝ ද එක දවසින් තුදුස් කෙළක් වියදම් ව ත් මුසුප්පු නැති ව අනුමෙවෙනි බණ සුඟ මඳ ව ගන්නා ම මුසුප්පු ව ගොසින් ‘තුදුස් කෙළක් වස්තු ගෙවා මේ සා මහත් දනක් දී ලූ කල සුවාසූ දහසක් යොදුන් ගැඹුර ඇති මහ මුහුදින් හබළුවකින් උකා ගත් පැණින් මිනිසුන්ට ප්‍රයෝජන මඳ සේ සුවාසූ දහසක් ධර්‍මස්කන්ධ තුබූ තැනින් එක ගාථා පමණක් වදා රා ලා වැඩි සේක. මගධ නැළියෙන් සොළොස් නැළියෙක බත් කන මට සාල් පතක බත් මඳවා සේ ගාථා පමණකින් කුමක් දනිම් ද? මේ සා මහත් වියදමක් කොට දෙන දන ත් බුදුන්ට නිසි ලෙසක නුදුන් නියා ය. කැප බඩු නො දී අකැප බඩු ම දුන් නියා ය. ඒ නිසා බුදුන් නො සතුටු නියාය. විකිණි ඇර ගන්නා බඩුවක් පවා වටනා දෙයක් නොවටනා ලෙස හැයි ද? මා දී ලූ දන් තරමට බණ වදාළ මනා වේ දැ’යි සිතා වෙහෙරට ගොසින් බුදුන් වැඳ ලා ‘ස්වාමීනි, කුමක්ද? මා දන් දෙන ගමනේ දිය යුක්තකින් නුදුන් දෑත් ඇත් ද? දෙතත් අකැප දෙයක් ම දුන් නියා දැ”යි කිවු ය. ‘මහ රජ, ඒ කිම් දැ’යි වදාළ සේක.

‘මේ සා මහත් පරිත්‍යාගයක් කළ මට අනුමෙවෙනි බණ මඳ කොට වදාළ හෙයිනැ’යි කිවු ය. ‘මහරජ, තොප දන් දුන් නියා ව ත් බලවත. මට ම තරම් කොට දුනුව. මේ අසදෘශ දාන ය නම් එක් බුදු කෙනකුන්ට එක් වරෙක මුත් දෙ වරෙක සම්බ වන්ට නැත. තෙපි පෙරළා කැර වූ නමුත් මෙයට වඩා කට නො හැක්කැ’යි වදාළ සේක. ‘එසේ කල අනුමෙවෙනි බණ මඳ කෙළේ හැයි දැ’යි විචාළේ ය. ‘මහරජ’ තොපගේ පර්‍ෂත් අශුද්ධ හැයි දැ’යි වදාළ සේක. රජ්ජුරුවෝ ‘පර්‍ෂද නපුර කවරේ ද, ස්වාමීනි කිවු ය. ඉක්බිත්තෙන් බුදුහු කාල- ජුණ්හ දෙ දෙන ම සිතූ සිතිවිලි වදාරා ලා කළු ඇමැත්තා කෙරෙහි කරුණාවෙන් රජ්ජුරුවන් සිත් පුරන්ට බණ කියා කළු ඇමැත්තහු හිස පැළුණ නපුරැයි බණ නො වදාළ නියාව වදාළ සේක. රජ්ජුරුවෝ ද ‘සැබෑ ද? කාලයෙනි, තෙපි එ සේ සිතූයෙහි දැ’යි විචාළහ. ‘සෑබෑ ය’යි කී කල්හි ‘තොප සන්තක දෙයක් නො ගෙන මා සන්තක දෙය ම මාගේ අඹු දරුවන් හා සමග දන් දුන්න යි තොපට හානි කවරේ ද? තොපට දී ලූ සම්පත් දුන්නේ ම ය. ඒ නො ගනිමි. මාගේ රට තොප හිඳිනට බැරි ය. තොප කැමැති තැනකට යව’යි සිතා පූ නපුරු සිතිවිල්ල නිසා රටින් නෙර පියා ජුණ්හයන් කැඳවා ලා ‘තොප තෙල ලෙස පින් අනුමෝදන් වන්ට සිතූයේ ඇද්දැ’යි විචාරා සැබෑ ය’යි කී කල්හි ‘මා තොප කෙරෙහි ඉතා පහනිමි. තෙපි මාගේ පරිවාර ත් හැර ගෙන මා දුන් ලෙස ම සත් දවසක් දන් දෙව’ යි රාජ්‍ය ය සතියකට දී ලා බුදුන්ට දන්වන්නෝ ‘ස්වාමීනි, නුවණ නැත්තවුන්ගේ කටයුතු බලා වදාරන බව ය. මෙ සා මහත් වියදමක් කොට දන් දුන්නෙම් මම ය. වියදම් වූයේ ත් මා ගෙන. කළු ඇමැත්තවුන්ගේ අදහස් නපුරු නියා ය’යි කිවු ය.

බුදුහු ත් ‘එ සේ ය. මහ රජ’යි වදාරාලා එ දවස් වදාරන බණින් දුස් සිත් වන කෙනකුන් මුත් සත් කඩක් ව හිස පැළෙන්නවුත් නැති හෙයින් බණ වදාරණ සේක් ‘රජ්ජුරුවෙනි, දන් දීමෙහි අදහස් නැති තද මසුරු සත්තු කොට ගත හෙන පින් කමක් නැති හෙයින් ධ්‍යාන බලයෙන් උපදනා බඹ ලෝ තබා දිව්‍යලෝකවලට ක් පැමිණි ගත නොහෙති. නුවණ නැති සත්තු තමන් ගෙන් දෙන දන් තබා අනුන් දෙන දනත් සිත් පහදවා ගත නොහෙති. යම් කෙනෙක් තුමූ දන් දී ගත නො හෙත් නමුත් අනුන් කරන පින් කම සිත පහදවා සමාදන් වූ නම් එ පමණ කිනුත් දිව්‍යලෝක සම්ප ත් සාධා ගෙන සුව විඳිතී’ වදාළ සේක. දේශනා කෙළවර පවිත්‍ර සිතිවිලි සිතූ ජුණ්හ නම් ඇමැත්තාණෝ අති පවිත්‍ර වූ ලොවුතුරා සැපතට පැමිණෙන්නෝ සෝවාන් වූහ. එ තැනට පැමිණි කෙනකුන්ට ත් රජ්ජුරුවන්ගේ දන සප්‍රයෝජන වූවා සේ ම දේශනාව ත් සප්‍රයෝජන වි ය. ජුණ්හයෝ ද සෝවාන් ව ලා සතියක් මුළුල්ලෙහි රජ්ජුරුවන් දුන් ලෙසින් ම දන් දුන්හ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් තමා සන්තක දෙය දන් දෙන්ට සිතන ගමනෙක් මුත් අනුන් දෙන දන කාල නම් ඇමැත්තා මෙන් සිත දූෂ්‍ය නො කොට සෙසු ත් අකුසලින් දුරු ව කුසල්හි ම පිහිටා නිවන් දහම් පසක් කටයුතු.