156. චිඤ්චමානවිකාවන්ගේ වස්තුව

star_outline

තව ද නිරුපද්දව තැන් කෙරෙහි කළ උපද්දවයෙහි ආදීනව දක්වන්නමෝ චිඤ්චමානවිකාවන් ගේ වස්තුව කියමු.

කෙ සේ ද යත්: -

බුදුන් බුදු වූ කලට සවුවන් වහන්සේ ත් බොහෝ ව බොහෝ දෙනාගේ නිවන් දැකීමු ත් ඇති ව නව අරහාදී බුදු ගුණ ත් ලොව පහළ කල්හි මුහුද මුව දොරවල් හැම එක් තැනට වූවා සේ ලාභ සත්කාර බොහෝ කොට උපදින්ට වන. තීර්‍ථකයෝ හිර නැගෙත් නැගෙත් කදෝපැණියන් වැනි වූ ය. හිර නැඟී කලට යම් සේ කණමැදිරියෝ නිෂ්ප්‍රභා වූ ද, එ සේම තීර්‍ථක ජන නමැති කණමැදිරියෝ ත් සර්‍වඥ නමැති සූර්‍ය්‍යයා පහළ ව ශරීරාලෝක -දේශනාලෝක පහළ කරත් කරත් ප්‍රසිද්ධ ශෝභා නැති වූ හ. ලාභ සත්කාර නැති ව පියා බත් නොලබන බලු මුළු උඩු බිරුම් බුරන්නා සේ වීථි ඇතුළ ඒ ඒ තැන සිට ගෙන ‘කුමක් ද? තොප හැමට බුදුහු නම් මහණ ගොයුම්හු ද? අපි බුදු නො වමෝ ද? උන්ට දුන් දෙයෙහි ම විපාක බොහෝ ද? ගෑනි ව ත් දරුවන් නැත්තා සේ අපට දුන් දෙයෙහි විපාක නැද්ද? මහණ ගොයුම් හට දුන් දෙයෙහි විපාක ඇත් නම් අපට දුන් දෙයෙහි ත් විපාක ඇත. අපටත් දෙව. සත්කාර කරව’යි හඬ ගා මොර ගා ඇවිද ත් ලාභ සත්කාර නො ලදින් තනි ව හිඳ ‘කවර ලෙසකින් මහණ ගොයුම්හුගේ නුගුණයක් උපදවා ලාභ සත්කාර නැති කරමෝ දෝ හෝ’යි සිතූහ.

එ කල සැවත් නුවර චිඤ්චමානවිකා නම් වූ පරිබ්‍රාජිකා කෙනෙක් උතුම් රූ ධරති. දෙවඟනක් මෙන් ශරීරයෙන් රස් විහිද්දී එක් මන්ත්‍රී වූ තීර්‍ථකයෙක් ‘චිඤ්චමානවිකාවන් මුල් ව මහණ ගොයුම් හට අයසක් උපදවම්හ’යි කීය ඌ හැම දෙන ත් ‘එ ලෙස කරම්හ’යි ගිවිස්සෝ ය. ඉක්බිත්තෙන් චිඤ්චමානවිකාද තීර්ථකාරාමයට ගොසින් වැඳ ලා සිටියා ය. තීර්‍ථකයෝ ඈ හා කථා නො කළහ. උයි ත් තමාගේ වැරැද්දක් ඇතැ’යි චකිත ව තුන් විටක් දක්වා ත් ‘වඳිමි, ස්වාමීනි’ කියා ත් උන්ගෙන් බසක් නො ලදින් තොමෝ ම කථා උපදවන්නී ‘හැයි’ ස්වාමීනි කථා නො කරන්ට මාගේ වරද කවරේ දැ’යි කිව. එ විට හැයි, පිරිවැජිය, මහණ ගොයුම්හු ලොව නළවා ගෙන අපට උපදනා ලාභ සත්කාරත් තමන්ට ම නිල කරවා ගෙන අප නිෂ්ප්‍රභා කෙරෙමින් ඇවිදිනා නියාව නො දනු දැ’යි කිවු ය. ‘ස්වාමීනි, මම මෙතෙක් දවස් නො දනිමි. අද දත්තෙමි වේ ද? මා ඊට කළ මනා කිම් දැ’යි කිවුය.

‘ඉදින්, පිරිවැජිය, තෙපි අපට වැඩක් කැමැත්තාහු වූ නම් තොපගේ උපදෙසකින් මහණ ගොයුම්හට නුගුණයක් උපදවා ලා ලාභ සත්කාර ය වඩදිය වේලාට ගඟදිය උඩු ගං බලා නැමුණා සේ ම අප කරා නම්වා ලව’යි කිවු ය. පුරීසයෙක් මූත්‍ර ජලයෙන් ගැනුණා සේ කුණු අදහසින් එක් ව යහපතැ’යි ගිවිස ‘මුසුප්පු නූව මැනැවැ’යි කියා ලා පලා ගොසින් නුවණ විෂයෙහි දැන්ම නැතත් ස්ත්‍රී මායමෙහි තමා දක්‍ෂ බැවින් එ තැන් පටන් සැවැත් නුවර ඇත්තවුන් රෑ බණ අසා පියා විහාරයෙන් නික්මෙන වේලාට රතීදු ගොවුවකු සේ රත් වූ පිළී හන් පෙරව ගෙන සුවඳ මල් ආදි ය හැර ගෙන දෙව්රම් වෙහෙර බලා යෙ යි.

‘මේ වේලේ කොයි යවුදැ’යි විචාළ වුන්ට ‘මා යන තැන් තෙපි විචාරා සිටියා ද? තොපට ඒ හැයි දැ’යි තමා සේ ම පවිටු අදහස් ඇත්තවුන්ට සැක උපදනා ලෙසට ගර්භ ගන්වා බස කියා ලා දෙව්රම් වෙහෙර ළඟ තීර්‍ථකයන්ගේ විහාරවල ලැග ලා උදාසන ම සැදෑ ඇති උපාසකවරුන් ‘හැම දෙනාට පෙරාතු බුදුන් වඳුම්හ’යි විහාරයට නික්මුණු කලට දෙව්රම ලැග ලා යන එකක මෙන් නුවරට යන්නී ‘ලැග්ගේ කොයි දැ’යි විචාළ වුන්ට ‘තොපට මා කොයි ලැග්ග යි කිම? තෙපි ඒ විචාරා සිටියා දැ’යි කියා ලා ‘බැණ පලා ගොසින් දෙ පෝයක් මසක් ගිය කල විචාළවුන්ට ‘අනික් කොයි ලගිම් ද? රූ ඇති ව වූ මුළා ය. දෙව්රම් වෙහෙරට ගොසින් මහණ ගොයුම් හා සමඟ එක ගඳකිළියේ සැතපීලා ආමී’ කියා පෘථග්ජනයන්ට සැක උපදවමින් තුන් සාර මසක් විතර ගිය කල කඩ රෙදි බහා ලා මහත් ව තිබෙන ලෙසට බඩ වෙළා ගෙන දැරි ඇති සැටියක් හඟවමින් බඩ වසා රත් පිළි හන් පෙර ව ගෙන ‘මහණ ගොයුම්හට දාව දරු කෙනෙක් බඩ පිළිසිඳ ගත්හ’යි නුවණ නැත්තවුන් ගිවිස්වමින් බොහෝ අකුසලු ත් ගප් ගන්නා අට නව මසක් ගිය කලට බඩ දරදඬු මැඩිල්ලක් බැඳගෙන දෙවුරය ත් බඩ ත් වසා පිළියක් පෙරව ගෙන අතුල් පතුල් ගෙරි ඇට බා ලා තළා උදුම්මා ගෙන වදන පොදන අවස්ථා තරමක් සේ ව එක් දවසක් සවස බුදුන් බණ වදාරණ කල්හි ධම් සබයට ගොසින් බුදුන් ඉදිරියේ සිට ගෙන -

“මහණ, තෝ බොහෝ දෙනාට බණ කිය යි. අසන්නවුන් අසා රිසි නො යන තරමට කඩ හඬ ත් බලවත. ඊට ත් වඩා රූප ශෝභා බලවත. මා බඩ ත් මුඹට දා ව දරු කෙනෙක් ඇති වූහ. වදන පොදන අවස්ථායෙමි. වදන ගෙවලකත් නියම නැත. තව දක්වා ම තෙලකට වේව යි, මිරිසකට වේව යි, ප්‍රයෝගත් නැත. තමා නො කරත ත් උපාසක ව සිටිනා කොසොල් රජ්ජුරුවන්ට වේව යි, අනාථ පිණ්ඩික සිටාණන්ට වේව යි, විශාඛාවන්ට වේව යි, ‘තෙල චිඤ්චමානවිකාවෝ දැරි ඇත්තෝ ය. අපට ද දරුවන් හෙයින් අපට කළ මනා දෙය තිබැ දී තුලුන්ට කළ මනා දෙය නො පමා ව කරව’යි විධාන නො කරන්නේ ත් හැයි ද?

‘අප හා වාසයට පැරැත්ත නැත්තා සේ ම තෙලේ වත් අප ගෙන් පැරැත්ත නැති ව විධාන කළ මනා වේ දැ’යි පවිත්‍රශීලී කෙනකුන් ඇඟට අමෙධ්‍යයක් දමන්නා සේ කිව. එසේ කියා ලා ‘අප හා බැඳී බඩ දරුවනු ත් ඇති කළ කල වදන්නවුනට කළ මනා දෙය ත් කරවා ලුව මනා වේ ද’යි සඳ මඬලේ ගොසින් වැද නො ගනිත ත් ගොම පිඬක් අල්වා ගෙන දමන එකක මෙන් සිවු වනක් පිරිස් මැද සිට ගෙන බුදුන්ට බිණුව. ඕ තොමෝ බිණිය හෙද පුරාකෘත අකුශලය තෙමේ නස්නෙන් බණන ලෙසට ඈට සම්මත කොට ලා නට. එ හෙයින් ඌගේ විධාන ය උගුළුවා ගත නො හී බිණු ව.

බුදුහු ත් වදාරන බණ සන්ධි කොට ලා සිංහ නාද පවත්වන සිංහයක්හු මෙන් ‘පිරිබ්‍රාජිකාවෙනි, තීගේ බස සැබෑ වී නමුත් බොරු වී නමුත් තී හා අපි ය වේ ද දන්නමෝ ය’යි වදාළ සේක. ඒ අසා චිඤ්චමානවිකාව ‘මහණ ඒ එ සේ ය. තොප හා මා දත් බැවින් ම වේද, එ බන්දක් වූයේ ය’යි කිව. එ වේලෙහි සක් දෙවිඳුන්ගේ හස්න හුණු වි ය. උයි ත් බලනුවෝ සැති මනෙවි දූ දිඹුලේ මල් නැත්තා සේ නැත්තෙන් ම බුදුන්ට බණන්නී ය’යි දැන ‘මේ බොරු නියාව සාධා ලමි’ දෙවියන් සතර දෙනකු කැඳවා ගෙන අවු ය. දෙවියෝ සතර දෙන ද මී පැටි වෙස් මවා ගෙන දර මඬුලු බැඳ ලූ ලණු එක විට ම කපා පූ ය. වසා පෙරවා ගත් කඩත් සුළඟෙක් අවුත් ලා ඔසවා පීය දර මඬුල්ලත් හෙන්නේ ඇඟේ පිටි පත්ලේ ම හිණ. හී ලා ඇගේ අක් පතුල් දෙක ම කඩා පළවා පී ය.

මිනිස්සුත් ඒ හැම දැක ‘කාලකණ්ණි කෙල්ල, නිෂ්කලඞ්ක වූ බුදුන්ට මෙ ලෙස කරන්ට කියන්ට කාරණ කිම් දැ’යි හිස කෙළ ඕමින්[1] අතින් පයින් ඇන තළා මරා විහාරයෙන් පිටත් කළහ. ඉක්බිත්තෙන් ඈ තමා බුදුන්ට පෙනෙන තැන් ගෙවා ගිය කලට මහ පොළෝ අට නව මස හිරි ලා ලා තිබී ලා පැළී ගියාක් මෙන් පැළී විවර වි ය. ඒ හස්නෙන් අවීචියෙන් ගිනි දැල් නැඟී ලා පිළී පෙරෙවියා සේම සැති මනෙවිය වසා ගත. වසා ගෙන ලා අවීචියේ හෙළී ය. තීර්‍ථකයන්ට ත් යන්තම් ව උපදනා ලාභ සත්කාර ඇත් නම් එයි ත් පිරිහිණ. පාන් තුඩ තෙල් ගෑ කල වඩ වඩා ම පාන බබළන්නා සේ බුදුන්ට ලාභ සත්කාර බලවත් වි ය.

දෙ වන දවස් ධර්‍ම සෙබෙහි රැස් ව හුන් වහන්දෑ ‘ඇවැත්නි, සැති මණෙවි දූ තිලෝගුරු බුදුන්ට නැත්ත කියා බැණ මේ සා මහත් විනාශයකට පැමිණියහ’යි කථාව ඉපැද වූ සේක. බුදුහු ත් ඒ අසා “මහණෙනි, නැත්ත කියා බැණ මහා විනාශයට පැමිණියේ දැන් මතු නො වන්නේ වේද? යට ගිය දවස ත් මහා පදුම කුමාර නම් වූ මා හා මෝ තොමෝ බැඳී වසනු කැමැති ව සාරා සඞ්ඛ්‍ය කප් ලක්‍ෂයේ ම ජාතිවල වෙනසක් ඇත ත් ගුණෙහි වෙනසක් නැති බැවින් අපගේ මවු බිසොවුන් මළ පසු මුන් තමන් අපගේ පියරජ්ජුරුවන් කෙරෙහි රැකුණු හෙයින් මා මරණු නිසා නො එක් විකාර ත් කොට නො එක් දෑ ත් කියා මට වූ අනර්ථ නැත. එවක ත් මෝ තොමෝ ම විනාශයට පැමිණියා ය. එවකත් මෑ කළ දෙයෙන් වෙනස නම් මෙවක කියා කට හුණු දෙයෙක් නැත. එවක මෑගේ බසින් අපගේ පිය රජ්ජුරුවෝ සොරුන් හෙළන ගලෙකින් මා එළවා පූය. ඒ ගල වසන දේවතාවා ගල ගැසී යා නොදී මා පිළිගෙන නා රජ්ජුරු කෙනකුන්ගේ පණ ගබ හිඳුවා ලූය. නා රජ්ජුරුවෝ ද මා තමන්ගේ නාග භවනයට ගෙන ගොසින් තමන්ගේ නාග භවනයෙන් භාගයක් දුන්හ.

මම ඊ අවුරුද්දක් රඳා හිඳ ලා මහණ වනු කැමති ව හිම පියසට අවුත් මහණ ව අභිඥාලාභී වීමි. එක් වැද්දෙක් මා දැක අපගේ පිය රජ්ජුරුවන්ට කී ය. රජ්ජුරුවෝ මා ළඟට අවුත් මා මරණ දුකින් මිදුණු ලෙස් අසා ගොසින් රාජ්‍ය ය කරන්ට මට ආරාධනා කොට මට රාජ්‍යය නො කැමැත්තේ දශරාජ ධර්‍ම ය අකොප්‍ය කොට මුඹ ම රාජ්‍ය ය කරන්නැ’යි කී හෙයින් හඬමින් වලපමින් සියරට පෙරළා යන්නාහු අතුරු මඟ දී මෙ තරම් පුතණු කෙනකුන්ගෙන් මා නුවූයේ කවුරු නිසා දැ’යි ඇමැත්තන් අතින් විචාරා අග මෙහෙසුන් බිසොවුන් නිසා ය යි කී කල්හි ඒ බිසොවුන් ගලින් එළවා පියා දැහැමින් රජ කළහ. එවක මරණට ප්‍රයෝග කොට තොමෝ ම නට’යි යනාදීන් මහා පදුම ජාතක ය වදාරා ‘දැන් ගුණ මාරණයට ප්‍රයෝග කොට නටැ’යි වදාරා සම්ප්‍රාප්ත පර්ෂදට බණ වදාරන සේක් ‘දවසක් මුළුල්ලෙහි කියතත් සැබෑවක් නැති ව බොරු ම කියන්නා වූ දිව සැප ත් වේව යි, මිනිස් සැප ත් වේව යි, නිවන් සැප ත් වේව යි, ලබන්නට නැති හෙයින් පරලොව අත්හළ අසත්පුරුෂයන් විසින් නො කළා වූ පවු නැත. කවර ත් පාප ය බොරු කීවන්ට සිද්ධ වේ ය’යි වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.

එ හෙයින් සත්පුරුෂයන් විසින් බොරු නම් විෂ පරිද්දෙන් සලකා හැර සැබෑ බස නම් ඉෂ්ට මිත්‍ර කෙනකුන් මෙන් සිතා ගෙන කුසලයෙහි හැසිර නිවන් සාධා ගත යුතු.

________

  1. හිස කෙළෙසමින්-හිසකේ ඔසවමින්