තව ද තෙල ගලා තුබූ පාන් උදවුව ඇවිළෙන්නා සේ විවසුන් නමැති තෙල ගලා තුබූ සිත් නමැති පහන් කඩ මාර්‍ග ඥාන නමැති පහන් ඇවිළ ගැන්ම උදවු නියාව කියන්ට තිසක් පමණ භික්ෂූන් වහන්සේ ගේ වස්තුව කියමු.
කෙ සේ ද යත් -
එක් සමයෙක ඒ ඒ දිග වසන තිස් දෙනකුන් වහන්සේ බුදුන් කරා වැඩි සේක. අනඳ මහ තෙරුන් වහන්සේත් බුදුන්ට වත් පිළිවෙත් කරන වෙලාට අවුත් ඒ වහන්දෑ ‘දැක බුදුන් මේ වහන්දෑලා හා කථාකොට වදාළ කල්හි වත් පිළිවෙත් කරමි’ සිතා ලා දොරටුවේ ම වැඩ සිටි සේක. බුදුහු ත් ඒ වහන්දෑ ලාට සාධු සාමීචි කථා කොට බණ වදාළ සේක. ඒ බණ අසා ලා ඒ වහන්දෑ ද කෙලෙස් කසළ හැර දමා රහත්ව අහසින් ගිය සේක. අනඳ මහ තෙරුන් වහන්සේ ඒ වහන්දෑ කල් යවන හෙයින් බුදුන් කරා එළඹ ‘ස්වාමීනි, වහන්දෑ තිස්නමෙක් මුඹ ආ සේක් වේද? එන නියාව දුටු බව මුත් යන නියාවක් දුටුවේ නැත. කොයි දැ’යි විචාළ සේක. ‘ගියෝ ය. ආනන්‍දයෙනි, වදාළ සේක. ‘කවර මඟකින් ගිය සේක් දැ’යි විචාළ කල්හි ‘ආසිනැ’යි වදාළ සේක. ‘කුමක් ද, ස්වාමීනි, ඒ වහන්දෑ රහත් වූ නියා දැ’යි විචාළ සේක. ‘එ සේ ය, ආනන්දයෙනි, දැන් මුඹ ආ ගමනේ මාගේ බණ අසා රහත් වූ හ’යි වදාළ සේක.
එ වේලාට ම ආසින් හංසයෝත් ගියහ. බුදුහු එයිත් මුල්කොට ගෙන බණ වදාරන සේක් ‘යම් සේ මේ හංසයෝ තමන්ට ජාති සිද්ධ හෙයින් ආසින් යෙත් ද? මෙන් නුවණැත්තෝ ත් මරුන් පරදවා මෙ ලොවින් නික්මෙතී’ වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එහෙයින් නුවණැත්තවුන් විසින් සිත් නමැති කුඹුරුවල කුසල් නමැති බිජුවට වපුරන්ට සැදෑ නමැති පැන් මේයා ගන්නා නියායෙන් නුවණ නමැති ඇල ඇති ව, තව ද යම් සේ කුඹුරෙක් පැන් නො හැසිර රඳා තිබෙනු නිසා මීයර ඇති ව තිබේ ද? එමෙන් සැදෑ නමැති පැන් රඳා තිබෙන්ට සිල් නමැති මියර ඇති ව කුශල් නමැති ගොයම් කොට ගෙන සග මොක් සැප ත් නමැති ශස්‍ය ඵල සෑදිය යුතු.
_________