තව ද මරණ සී භාවනාවෙහි අනුසස් දක්වන්නමෝ පෙහෙර දුවණියන් ගේ වත දක්වමු.
කෙ සේ ද යත් -
එක් දවසක් අළවු නුවර ඇත්තෝ බුදුන් අළවු නුවරට වැඩි කල්හි ආරාධනා කොට දන් දුන්හ. බුදුහු වළඳා අන්තයෙහි අනු මෙවෙනි බණ වදාරණ සේක් ‘ජීවිතය අස්ථිරය ය. මරණ ය නියතය ය. ජීවිතය නම් මරණ කෙළවර කොට ඇත්තේය එහෙයින් මරණ සී භාවනා කරව. යම් කෙනකුන් මරණ සී භාවනා නැත්නම් ඌ කෙළවර අවස්ථාවේ දී සර්පයන් දැක බන්නවුන් මෙන් මරණට බා මුරගා හඬමින් මියති. යම් කෙනකුන් මරණසී භාවනා හැවු නම් ඌ සර්පයන් දුර දී ම දැක දන්ඩෙන් ඔබා ගෙන, බදා ගෙන, දුරට දමා පියා සිටියවුන් මෙන් මියන වේලේත් මරණ භය නමැති සර්පයන් දුර තබා ම මරණ සී නමැති දණ්ඩෙන් ඔබා ගෙන දමා පී හෙයින් නො බති. එ හෙයින් මරණ සී භාවනාව හැවිය යුතු ය’යි වදාළ සේක. සෙස්සෝ බණ අසා ලා මරණ සී භාවනාව කුම් වුව ත් තමන් තමන් කළ මනා දෙය කරන්ට එළී ගත්හ. එක් සොළොස් හැවිරිදි පෙහෙර දුවක් බුදුවරුන් වහන්සේ නම් අවැඩට නිස්සක් නො වදාරණ සේක. මරණ සී භාවනා මම ත් කෙළෙම් නම් යහපතැ’යි රෑ ත් දවාලත් මරණ සී භාවනා ම කෙරෙති. බුදුන් එයින් නික්ම දෙවුරමට වැඩි සේක. ඒ කුමාරිකාවෝ ද තුන් අවුරුද්දක් මරණ සී භාවනා ම කළහ.
එක් දවසක් බුදුහු අලුයම් වේලේ ලොව බලන සේක් ඒ පෙහෙර දුව තමන් වහන්සේගේ නුවණ දැළට හසු වූ නියාව දැන ඒ කුමාරිකාවට වන ප්‍රයෝජන කවරේ දෝ හෝ යි සලකන සේක් ‘මේ කුමාරිකාවෝ මාගේ බණ ඇසූ තැන් පටන් තුන් හවුරුද්දක් මරණ සී භාවනා භැවුව. දැන් මම ඔබ ගොසින් ප්‍රශ්න සතරක් විචාරා උන් විසඳූ කලට සතර තැනක දී සාධුකාර දී ගාථාවක් කියමි. ගාථා කෙළවර දී ඕ තොමෝ සෝවාන් වෙයි. ඒ කුල දුව නිසා බොහෝ දෙනාට ප්‍රයෝජන වෙයි’ දැක පන්සියක් දෙනා වහන්සේ පිරිවරා දෙව්රමින් නික්ම පිළිවෙළින් අග්ගාලව නම් වෙහෙරට වැඩි සේක. අළවු නුවර ඇත්තෝ බුදුහු වැඩි සේකැ’යි අසා වෙහෙරට ගොසින් ආරාධනා කළහ. සොළොස් හැවිරිදි පෙහෙර දුව බුදුන් වැඩි නියාව අසා ‘මාගේ පියාණන් වහන්සේ, මාගේ ස්වාමි දරුවන් වහන්සේ, පුන් සඳක් වැනි මුහුණක් හැර ගෙන වැඩි සේක් ල’යි සතුටු ව ‘මෙ තැනට තුන් අවුරුද්දකින් යට රන් වන් බුදුන් දුටු පමණෙක. දැන් වූ කලී බුදුන්ගේ රන්වන් වූ සුගන්ධ ශරීරය දක්නට ත් ලැබෙමි. මියුරු වූ බණ ත් අසමි’ සිතූහ.
උන්ගේ පියාණෝ ද හලට යන්නෝ ‘පුත, අනුන් සන්තක කඩක් වියන්ට අල්වා ලීමි. විය ගෙන ගොසින් වියතක් විතර තුබූයේ ය, අද ඒ වියත නිමවන්ට ය. වහා දඬු අඹරා ගෙන ව’යි කිවුය. කුමාරිකාවෝද ‘මම බුදුන්ගෙන් බණ අසනු කැමැත්තෙමි. පියාණන්දෑත් මෙලෙස කියන දෑය. කුමක් දෝ ? ගොසින් බණ අසම් දෝ දඬු අඹරා ගෙන යෙම් දෝ හෝ’යි සිතන්නවුන්ට මෙ සේ වූ අදහසෙක් වි ය. ‘දඬු අඹරා නො ගෙන ගියො ත් පියාණන් වහන්සේ මා මරණ සේක. එහෙයින් දඬු අඹරා ගෙන ගොස් දීලා පසු ගොස් බණ අසමී’ සිතා පුටුවේ හිඳ දඬු ඇඹරූ ය. අළවු නුවර ඇත්තෝ ද බුදුන් වළඳවා ලා අනුමෙවෙනි බණට ආරාධනා කළහ. බුදුහු ‘මම යම් කුමාරිකා කෙනකුන් තකා දොළොස් ගවුවක් ගෙවා ආම් නම් අද ත් තව උන්ට අවසරයක් නොපෙනෙයි. උන් අවසරයක් ලත් විට අනුමෙවෙනි බණ කියමී’ සිතා බැණ නො නැඟී හුන් සේක. බුදුන් බැණ නො නැඟී වැඩහුන් කලට දිව්‍ය-බ්‍රහ්මාදීන් අතුරෙන් කිසි කෙනෙකුත් කිසිවක් කියා ලන්ට බල නැත්තෝ ය.
ඒ කුමාරිකාවෝ ද දඬු අඹරා පැස ලා ගෙන පියාණන් ළඟට යන්නාහු බුදු පිරිස් කෙළවරින් බුදුන් බල බලා ම යෙති. බුදුහු ත් කර ඔසවා ගෙන කුමාරිකාවන් මුහුණ බැලූ සේක. කුමාරිකාවෝ ද බලා වදාළ ලෙසින්ම ‘මේ සා මහත් බුදු පිරිසක් බල බලා සිටිය දි තෝරා ලා මා මුහුණ බලා වදාරණ සේක් තමන් වහන්සේ ළඟට මා යනු කැමැතිව බැලූ සේකැ’යි දැන ලා දඬු අඹරාලා ගත් පැස තබා ලා බුදුන් ළඟට ගියහ. බුදුහු කුමක් නිසා උන් මුහුණ බලා වදාළ සේක් ද යත්- මෝ මුඹ නො අවුත් ගියා නම් තුන් අවුරුද්දක් මුළුල්ලෙහි කළ මරණසී භාවනාවෙහි බලයෙන් මරණ භය නැතත් පුහුදුන් ව මිය ගති නියම නැති වෙයි. මා ළඟට අවුත් ගියේ නම් මාගේ බණ අසා සෝවාන් ව නියත ගතික ව අද දවස් මරණ නියත ම බැවින් තුසී පුරයෙහි උපද්දී’ දැන වදාළ සේක. කුමාරිකාවෝ ද බලා වදාරන්නාම බණවා ලූවා මෙන් බුදුන් ළඟට ගොසින් නිවන් ලබන්ට ආභරණ ලා සැරහෙන කෙනකුන් මෙන් සවනක් රස් අතුරට වැද බුදු රසින් සැරහී ලා වැඳ එකත් පස් ව සිටියාහ.
එ තෙක් වේලා උපාසකවරුන් කුමක් කීව ත් බැණ නො නැඟි වැඩ හුන් බුදුහු කුමාරිකාවන් වැඳලා සිටිනාම ‘කුමාරිකාවෙනි, කොයි සිට අවු දැ’යි විචාළ සේක. ‘නො දනිමි ස්වාමීනි’යි කිවුය. ‘කොයි යවුද’යි විචාරා වදාළ සේක. ‘ස්වාමීනි, කොයි යන බව ත් නොදනිමි’යි කිවු ය. ‘නො දනුදැ’යි විචාළ සේක් ‘දනිමි, ස්වාමීනි’යි කිවු ය. දනු දැ’යි විචාළ සේක්, ‘නො දනිමි ‘කිවු ය. මෙසේ බුදුහු ‘කොයි සිට අවුද? කොයි යවුද? නොදනුද? දනුද? යන ප්‍රශ්න සතර විචාළ සේක. බොහෝ දෙන ඒ අසා “තෙල පෙහෙර දුවගේ තරමක් බලව. බුදුන් ළඟ දී කටට ආ දෙයක් ම කියයි. හැයි, මෑ ‘කොයි සිට අයි දැ’යි විචාළ කල ‘සාලි ගෙයි සිට ය’යි කිය යුතු වේ ද? කොයි යවු දැ’යි විචාළ කල ‘පිළී වියන හලට යෙමි’ යි කිය යුතු වේ දැ”යි කිවු ය. බුදුහු ඒ අසා බොහෝ දෙන කරන අරගල සන් හිඳුවා ‘හැයි, කුමාරිකාව, කොයි සිට අවුදැ’යි විචාළ ගමනේ ‘නො දනිමි’ යි කීයේ කුමක් නිසා ද”යි විචාළ සේක.
“ස්වාමීනි, මුඹ වහන්සේ කාලත්‍රයවර්ති වූ සියලු ධර්‍මයන් පරෝපදෙශ රහිත ව ස්වයම්භුඥානයෙන් කර තල කලිත කොල ඵල න්‍යායයෙන් දත් හෙයින් මා සාලි ගෙයි සිට ආ නියාව දන්නා සේක. කොයි සිට අවු දැ’යි විචාළේ නම් ‘කොයින් චුත ව අවුත් මුඹ උපනුදැ’යි විචාරා වදාළ නියා ය. මා කොයින් අවුත් උපන් බවත් නො දන්නා හෙයින් නොදනිමි’යි කීමි” කිවු ය. බුදුහු ඒ අසා තමන් වහන්සේ විචාළේ ත් ඵ සේ ම සිතා හෙයින් විසඳා ලූ නියාව යහපත් හෙයින් සාධුකාර දෙවා වදාරා ‘වන්නාට එසේ මය. ‘කොයි යවු දැ’යි විචාළ ගමනේ ‘කොයි යන බව ත් නො දනිමි’ කියා කුමක් පිණිස කිවුදැ’යි විචාළ සේක. ස්වාමීනි, මුඹ වහන්සේ මා පැස හැර ගෙන හලට පිළී වියන තැනට යන නියාව දන්නා සේක. දැන දැනත් ‘කොයි යවු දැ’යි විචාළේ නම් ‘මෙයින් සැව කොයි උපනුදැ’යි විචාළ නියා ය. මම ත් මිය ගොසින් උපදනා තැන් නො දන්නා බැවින් හලට යන නියාව දැනෙතත් ‘නොදනිමි කීමී’ කිවුය. යහපත, කුමාරිකාවෙනි, මා විචාළ ලෙසට ම ය විසඳා ලූ යේ’යි දෙවෙනි ව ත් සාධු කාර දෙවා වදාරා “වන්නාට ය, එ යිත් යහපත. ‘නො දනු දැ’ යි සාමාන්‍ය කොට විචාළ ගමනේ ‘දනිමී’ කියා කුමක් නිසා කිවු දැ’ යි විචාළ සේක. ස්වාමීනි, මා උපන් නියාවත් මියන නියා වත් දනිමි. ඒ හෙයින් ‘දනිමි කීමී’ කිවු ය. බුදුහු ඊට ත් ‘විචාළ ලෙසට ම විසඳා ලූ නියාව යහපතැ” යි සාධු කාර තුන් වැනි ව ත් දෙවා වදාරා ‘එයි ත් යහපත ‘දනු දැ’යි මා විචාළ ගමනේ නො දනිමී කීයේ කුමක් නිසාදැ’යි විචාළ සේක.
“ස්වාමීනි, මා මියන පමණක් දන්නා බව මුත් රැයෙක වේවයි, දාවලෙක වේව යි’ පෙර වරුවෙක වේවයි’ පස් වරුවෙක වේව යි’ මියෙමි යි වේලා නියම ය නො දන්නා හෙයින් ‘නො ද නිමි’යි කීමී”කිවු ය. බුදුහු ‘මා විචාළ ලෙසට ම විසඳා ලූ නියාව යහපතැ’යි සතර වැනි ව ත් සාධු කාර දෙවා වදාරා බුදු පිරිස් බණ වා ලා ‘තෙපි මෙ තෙක් දෙන අනුන්ට දොඩන සේ උගත් බව මුත් මා කියාලූ දෙය සොළොස් හැවිරිදි කුමාරිකාව දත් ලෙස තෙපි හැම දෙන දත නුහුණුවාද, දැන කියා ලූ කුමාරිකාවට නොදැන් මේ වැටී දෙඩූ බව වේ ද? යම් කෙනකුන්ට නුවණැස නැත් නම් ප්‍රසාද චක්ෂුසින් කම් නැත. ඌ අන්‍ධයෝමය යම් කෙනකුන්ට නුවණැස ඇත් නම් ඇස් ඇත්තෝ නම් ඌ මය’ යි වදාරා බණ වදාරන සේක් ‘මේ ලෞකික ජනයෝ නුවණැස නැති හෙයින් දත යුතු වූ සියල්ලක් දක්නට නැති හෙයින් අන්ධයහ. යම් කෙනෙක් අනිත්‍යාදි වශයෙන් තිලකුණු මෙනෙහි කෙරෙත් නම් ඌ මඳ වු ය.
යම් සේ වටු දැල් දැමීමෙහි දක්‍ෂ වූ වටු වැද්දහු නො වරදනා ලෙස දැල් දමා ලූ කල කිසි කෙනෙක් දැලට හසු නොව සෙස්සෝ දැල ඇතුළට හසුවෙත් ද එ මෙන් මරහු නමැති වටු වැද්දහු තෘෂ්ණා නමැති දැල දමා ලූ කලට අපාය නමැති දැල් හස්සට බොහෝ දෙන සම්භ වෙති. සගමොක් දෙකට සම්භව වන්නෝ මඳෙකැ’යි වදාළ සේක. දේශනා කෙළවර පෙහෙර කුමාරිකාවෝ ‘මෙ විට කොයි යවු දැ’යි විචාළොත් ‘ස්වර්‍ගයට යෙමී කියන්ට ශක්ති ඇති ව සෝවාන් වූහ. බොහෝ දෙන හටත් මේ දේශනාව සාර්ථක විය.
උයි ත් දඬු පැස හැර ගෙන පියාණන් පිළී වියන තැනට ගියහ. උයිත් හිඳ ම නිඳාපූ ය. කුමාරිකාවනුත් නොසලකා පැස තබන ගමනේ පැස වෙම් කෙළවර වැද ගෙන ලා ශබ්ද පැවැත් වි ය. පේරාණෝ ද පිබිද ගොසින් ආදි තබා ලූ ලෙසින් ම වෙම ඇදලූ ය. වෙම් කෙළවර ගොසින් එල්ල ව සිටි කුමාරිකාවන්ගේ ඇඟ තර ව ඇනිණ. උයිත් එතැන ම මිය හුණ වූ ය. පියාණෝත් නැඟී බැලූ තැනැත්තෝ ඇඟ මුළුල්ල ලෙයෙන් තැවරී හොත්තවුන් දැක බලවත් වූ ශෝක ඇති වූ ය. උයි ත් බුදුන් ළඟට ගොසින් දුවණියන් මළ නියාව ත් ඒ නිසා ශෝක බලවත් වූ නියාව ත් කිවු ය. කියා ලා ‘නිශ්ශෝකී වූ ස්වාමි දරුවාණන් වහන්ස, මා ත් නිශ්ශෝක කළ මැනැවැ’යි කිවු ය. බුදුහු ත් උන් අස්වසන සේක් ‘තෙපි ශෝක නොකරව. අක් මුල් නැති සසර සෙසු දරු කෙනකුන්ට නොව මෙම දූම මළ කල යතාප ඇසින් වගුළ කඳුළු සතර මහ මුහුද පැනට ත් බොහෝ වෙ’යි වදාරා අනමතග්ග සූත්‍ර ය වදාළ සේක. උයි ත් ශෝක තුනී ව ගොසින් බුදු සස්නෙහි මහණව මාලු පැවිද්ද ත් ලදින් නො බෝ කලකින් රහත් ව නිශ්ශෝක වූහ.
එ හෙයින් සත් පුරුෂයන් විසින් පෙහෙර දුව මෙන් නුවණැසින් පර ලොව භය දැක ඉන් මිදෙනු නිසා කුසලයෙහි හැසිර සග මොක් සැපත් සිද්ධ කරණු මැනවි.
__________