තව ද පරීක්‍ෂාකාරීව සලකා කරන දෙයක් මුත් නො සලකා කිරීමෙහි නපුර හඟවන්ට සම්මුඤ්ජනී තෙරුන් වහන්සේගේ වස්තුව දක්වමු.
කෙසේද යත් -
ඒ තෙරුන් වහන්සේ උදාසන වුව ත් සවස වුවත් මේ හමදනා වේලා ය යි නියමයක් නැති ව සිඟා වඩනා ගමනෙක් නැත් නම් උදාසන පටන් වළඳනා තුරු ත් වළඳා අන්තයෙහි පටන් සවස් වේලා වන තුරු ත් ඒ ඒ තැන් හැමඳ ඇවිදිනා සේක. උන් වහන්සේ එක් දවසක් හමඳනා මුස්න හැර ගෙන රෙවත තෙරුන් වහන්සේ කරා ගොසින් ‘මූ මහා කුසී කෙණෙක, සැදෑ ඇත්තවුන් දී ලූ දෙය වළඳා ලා දාවල් දවස් වැද හිඳිති. රෑ දවස් නිඳති. මෙලෙස කරන්නවුන් එක් වේලක වුවත් මුස්න හැර ගෙන මළු කඩක් පමණ හැමඳි කල නපුරු දැ’යි කීසේක. උන්වහන්සේ තමන් වහන්සේ කමසේ නැති ව භාවනා නමැති මුස්නෙන් හැමඳ හළ මනා කෙලෙස් කසළ හැමඳ නිමි හෙයිනුත් මළු හමඳනා වේලෙක මුත් සෙසු වේලේ හැමඳීම් යුක්ත නො වන හෙයිනු ත් මළු හැමඳීමෙහිම නියුක්ත ව කෙලෙස් කසළ හැමඳීමට උත්සාහයක් මඳ තෙරුන් වහන්සේට අවවාද කරනු නිසා ‘මෙ සේ අව මැනව’යි කැඳවා ලා ළඟට ගිය කලට නා පියා එන්ට වදාළ සේක.
උන් වහන්සේ ත් නා පියා වැඩි සේක. ඉක්බිත්තෙන් රේවත තෙරුන් වහන්සේ හමඳනා තෙරුන් වහන්සේ එකත් පසෙක හිඳුවා ලා ‘හෙම්බා ඇවැත්නි, වත් පිළිවෙත් කරම්හ’යි කියා ලා හැම වේලේ ම මළු හැමඳ ඇවිදිනා කලට කෙලෙස් කසළ හමඳින්ට වේලා කවරේ ද? උදාසන ම හමදනා තැනක් හැමද පියා සිඟා වළඳා අවුත් රෑ වසන තැන හෝ දාවල් වසන තැන හෝ හිඳ තිස් කුණු කොටස් පිළිකුල් විසින් සලකා සවස් වේලේ නැඟී සිට හැමඳ මැනව. හැමඳුම්හ යි කියා ලා තම හට පිහිටක් නො කළ මනා දැ’ යි කී සේක.
උන් වහන්සේද රේවත තෙරුන් වහන්සේගේ අවවාදයෙහි පිහිටා මළු හැමඳීම විතරක් මුත් බොහෝ නොකොට විෂ්කම්භන වශයෙන් හළ මනා කෙලෙස් කසළ සමථ භාවනා නැමැති හිරට මුස්නෙන් හැමඳ හැර සමුච්ඡේද වශයෙන් හළ මනා කසල විවසුන් නමැති කොළ මුස්නෙන් හැමඳ මාර්‍ගඥාන නමැති අතින් හැර ගෙන දමා ඵල ඥාන නැමැති පැනින් අත සෝධා, නොබෝ කලකින් රහත් වූ සේක. මෙ තෙක් දවස් නො කමසේ ව හමඳනා තැන් හැමඳීම් නැති ව කසළ විය. කෙලෙස් කසළ නැති වීමෙන් සිත් සතන් පිරිසුදු වි ය. වහන්දෑ ද, ‘ඇවැත්නි, හැමන්ද මනා මළු මං පෙත් ඉතා ම කසළ ව තිබෙයි. නො හමදන්නේ කුමක් නිසා දැ’ යි කී සේක. ඔබ ඒ අසා ‘ආදි පමා හෙයින් හැමඳ ඇවිද්දම්හ. දැන් නො පමා හෙයින් නො හමඳුම්හ’ යි කී සේක. වහන්දෑ ද මූ තුමූ තමන් රහත් නියාවක් හඟවතී’ බුදුන්ට දැන් වූ සේක.
බුදුහුත් එම සාධන සේක් ‘මහණෙනි, ම පුත් පෙර තමා පමා සමයෙහි හැමඳ ඇවිද්දේය. දැන් තමා නො පමා හෙයින් ඵල සමවත් සුවයෙන් දවස් යවන හෙයින් හමඳනා අවසර නැති හෙයින් නො හමඳි’යි වදාරා බණ වදාරන සේක් ‘යම් කෙනෙක් පෙර වත් පිළිවෙත් කිරීමෙන් හෝ හැදෑරීමෙන් හෝ පිරිවීමෙන් හෝ පමා ව පසු ව ඵල සමවත් සුවයෙන් දවස් යැවීමෙන් නො පමාවෝ ද ඌ තුමූ පඤ්චොපක්ලෙශයෙන් විනිර්මුක්ත වූ සඳ එක විට දිවයින් තුනක් බබුළුවන්නාක් මෙන් ස්කන්ධාදි වූ ලොව බබුළුවතී ‘වදාළ සේක. දේශනා කෙළවර බොහෝ දෙන නිවන් දුටහ.
එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ කුඩ ය කවුරුන්ට වුව ත් මුඳුන් ව හැසිරේ ද, එ මෙන් ගුණෙන් උස් ව, තව ද යම් සේ කුඩ ය වැස්සෙන් හා අවුවෙන් වන පීඩාව දුරු කෙරේ ද එමෙන් කෙලෙස් පීඩා තදඞ්ගාදී විමුක්ති නමැති සේසතින් වළහා නිවන් පුර වුන යහපති.