තව ද ජීවිතයෙහි නො තර බව හඟවනු නිසා අභයරාජ කුමාරයන් ගේ වස්තුව දක්වමු.
කෙ සේ ද යත්-
අභය රාජ කුමාරයන් පසල් දනවුව සන්හිඳුවා ලා ආ දවසෙක පියාණෝ බිම්සර මහරජහු සමාධි ව නැටීමෙහි-ගී කීමෙහි දක්‍ෂ වූ ස්ත්‍රියක ත් පාවා දී ලා සත් දවසකට රාජ්‍යය ත් දුන්හ. අභයරාජ කුමාරයෝ ද ගෙන් පිටත් නො ව සති ය මුළුල්ලේ රජ සිරි විඳ ලා අට වැනි දවස් ගඟට ගොසින් නහා පියා උයනට වැද සන්තති ඇමැත්තාණන් මෙන් රජ්ජුරුවන් ගෙන් පාවා දුන් ස්ත්‍රියගේ නැටුමු ත් බල බලා ගී ත් අස අසා උන්හ. ඒ ස්ත්‍රී ද ඒ ඇසිල්ලෙහි සන්තති ඇමැත්තාණන්ගේ ස්ත්‍රිය මෙන් රුජාවක් පැහැර ලා මළහ. අභය රාජ කුමාරයෝ ද උන් මළ හෙයින් බලවත් ශෝක ඇති ව මට මේ උපන් ශෝක ය බුදුන් විනා අනික් හරවා ලිය හෙන කෙනෙක් නැතැ’යි බුදුන් කරා එළඹ ‘ස්වාමීනි, මට බලවත් ශෝකයෙක් ඇත. මුඹ වහන්සේ නිශ්ශෝකයා සේ ම මා ත් නිශ්ශෝක කළ මැනැවැ’යි කිවු ය.
බුදුහු උන් අස්වසා ලා කුමාරයෙනි, තොප මෙ ම තැනැත්තිය මළ කල හඬා ඇසින් වගුළ කඳුළු විවට්ට සාගරයෙහි හෙවත් කල්ප විනාශ කාලයෙහි පාත අජටාකාශයෙහි පටන් උඩින් නොනට බඹ ලොව දක්වා කෙළ ලක්ෂයක් සක් වළ වල් ඇතුළත පැවති මූද පැනට ත් වඩා බොහෝ ව’යි වදාරා ශෝක ය තුනී නියාව දැන ‘කුමාරයෙනි, ශෝක නො කරව’යි කියා බණ වදාරන සේක් ‘කුමාරයෙනි, යම් අත් බැවක් නිසා නුවණ නැත්තෝ සසර ලැසි ගනිද්ද, එ ම අත් බැව නුවණැත්තවුන්ට ඇලුම් නැද්ද, රථාලඞ්කාරයෙන් විසිතුරු රථයන් මෙන් ස්කන්ධයන් පස් දෙනා ගේ හා ආයතනයන් දොළොස් දෙනාගේ හා ධාතූන් අටළොස් දෙනාගේ වශයෙන් විසිතුරු වූ මේ අත් බැව නිත්‍යාදි වශයෙන් නො සලකා අනිත්‍යාදි විසින් සලකා ශෝක තුනී කරව’යි වදාළ සේක. දේශනා කෙළවර අභය රාජ කුමාරයෝ සෝවාන් වූහ. ආදි කී බෝධිරාජ කුමාරයන් වෙන ම රාජ කුමාර කෙනකුනැයි දත යුතු. සෙසුත් බොහෝ දෙනාට මේ දේශනාව සප්‍රයෝජන විය.
එ හෙයින් නුවණැත්තවුන් විසින් යම් සේ පැන් පිරුණු සැළෙක් නො සැලේ ද, එ පරිද්දෙන් පිරුණු ගුණ ඇති බැවින් කුමකට ත් නො සැලී, තව ද යම්සේ රත්කළ යකඩෙක් තළා පැන පොවා ලූ කලට පවතී ද, එ මෙන් පින් කම හැසිරීමෙන් තමාගේ ගුණ පවත්වා තව ද යම් සේ රත් කළ යකඩ වරෙක පොවා ලූ පැන් නො වමාරා ද, එ මෙන් තුනුරුවන් විෂයෙහි එක විටෙකත් පැවති ප්‍රසාද ය නැති නො කොට චිත්තප්‍රසාද ය මුල් ව ඇති වූ ශ්‍රද්ධාවෙන් කුශල් සිත් එළවා කුසලයෙහි හැසිර.නිවන් සාදා ගත යුතු.