තව ද භාවනාභියෝග ය යහපත් නියාව දක්වන්ට වඩනා ලද විර්‍ය්‍ය ඇති පන්සියක් දෙනා වහන්සේ ගේ වස්තුව කියමු.
කෙසේද යත් -
ඒ වහන්දෑ ද බුදුන් ගෙන් කමටහන් ඉගෙන වලට පලා ගොසින් වීර්‍ය්‍ය කොට ත් ගුණ විශේෂයක් ලද මනා අවධිය තව නො ආ හෙයින් ලද නො හී කමටහන ඉඳුරා විචාරා ගනුම්හ’යි බුදුන් ළඟට වඩනා සේක් අතුරු මඟ දී මහ අවුවෙහි පෙනෙන මිරිඟු බලා ‘මෙ තෙමේ මෙ සේ පෙනෙන පමණක් මුත් ගිය ගිය සේ ඇති දෙයෙක් නො වෙයි. එ හෙයින් පෙනෙන බව මුත් නැති හෙයින් අනිත්‍ය ය යනාදීන් භාවනා කෙරෙමින් එන සේක. ඒ වහන්දෑ විහාරයට ආ කලට වැස්සෙක් වට. ඒ වහන්දෑ ත් ඒ ඒ පෙර මාල්වල සිට ධාරා වේගයෙන් නැඟී ලා බිඳෙන දිය බුබුළුත් දැක ‘මේ අත් බැවත් උපදවා ලා බිඳීමෙන් මේ දිය බුබුළු හා ම සරී ය’යි ආදි සුඟ කොට කෑවවුන් පසු ව එවා ලා මදක් කා සාය යපෙන්නා සේ එයි ත් භාවනාවට අරමුණු කළ සේක.
බුදුහු ගඳ කිළියේ වැඩ හිද ම ඒ වහන්දෑ දැක රස් විහිදුවා ලා ළඟා වැඩ උන්නා සේ ව ලා බණ වදාරන සේක් ‘මහණෙනි, දිය බුබුළු දැක යම් ආකාරයකින් අනිත්‍යතා වටහා ගත් ද, නැවත මිරිඟු දෝ නොහොත් ගෙවල් ආදි ලෙසින් සිටියා වූ ඉන්ද්‍රජාල ළඟට ගිය ගිය පමණින් ඇති දෙයක් නොවන හෙයින් නැති නියාව දනිත් ද, එ මෙන් සත්‍ව සන්තාන ත් අනිත්‍යාදි වශයෙන් දක්නවුන් මරණ තෙමේ දැක ගත නො හෙයි. උන්ට මරණ නැති හෙයිනැ’යි වදාළ සේක. දේශනා කෙළවර ඒ පන්සියයක් දෙනා වහන්සේ පාරණයක්[1] ම ලදින් කා බඩ පුරන්නා සේ නිවන් රසින් සිත් පුරා සිටි තැන ම සිට රහත් ව සසර ගමනින් රඳා ගිය සේක.
එ හෙයින් සත් පුරුෂයන් විසින් දිය බුබුළු නො තර ලෙසින් හා මිරිඟු නැති ලෙසින් සිතට වටහා පිහිට කොට ගත් පන්සියක් දෙනා වහන්සේ මෙන් සම්පත් අස්ථීර නියාව ත් ඊට වඩා ජීවිත ය අස්ථිර නියාව ත් දැන නො තර දෙයක් දී පියා තර දෙයක් හැර ගන්නා සේ අස්ථිර වූ සම්පත් දන් දී තර වූ නිවන් සාදා ගත යුතු.
-
පුරාණක්-ඇතැම්. ↑