149. සුදොවුන් මහ රජ්ජුරුවන්ගේ වස්තුව

star_outline

තව ද කත් පුඩුවලින්[1] විහාරවල ගෙන්නවා වළඳන්නාට ත් වඩා එක් විසි අන්වෙෂණයන් හැර භික්‍ෂාටන වශයෙන් පාත්‍ර පර්‍ය්‍යාපන්නය ම උතුම් නියාව හඟවන්ට සුදොවුන් මහ රජ්ජුරුවන් ගේ වස්තුව දක්වමු.

‍කෙ සේ ද යත්-

බුදුහු බුදු ව ලා පළමු ගමනින් කිඹුල් වත් නුවරට ගොසින් නිග්‍රොධාරාමයට වැඩ නෑ කමින් හා වයසින් මූකුරා සිටි නියාවට නො වඳුම්හ’යි සිතා හුන් නෑයන්ගේ මන් බිඳිනා නිසා ගුණෙන් උසස් ලෙසට අහස්හි රුවන් සක්මන් මවා එහි සක්මන් කොට බණ වදාළ සේක. නෑයෝත් පැහැද සුද්ධෝදන රජ්ජුරුවන් පටන් හැම දෙනම වැන්දාහ. එක් ලක්‍ෂ සැට දහසක් නෑයන් රැස් වූ තන්හි පොකුරු වැස්සෙක් වට. පොකුරු වැසි නම් තෙමෙනු කැමැත්තවුන් තෙමෙන හෙයින් හා තෙමෙනු නො කැමැත්තවුන් ඇඟ පොද නො වැකී නෙළුම් පත්වල වට වැසි සේ නො තෙමෙන හෙයින් හෝ ය, නොහොත් නෙළුම් පතක් සා වැසි වලාවක් ඇති ව ලා ක්‍රම ක්‍රමයෙන් මහත් ව වස්නා වැසි ය. ඒ අරභයා කථා උපන් කල්හි ‘මහණෙනි, මේ පොකුරු වැස්ස මෙ තෙක් නෑයන් රැස් වූ තැන වටුයේ දැන් මතු නො වෙයි.

යට ගිය දවස සඳ මහ රජ්ජුරුවන් හා ඵුසති බිසොවුන් හා වෙස්සන්තර රජ්ජුරුවන් හා මද්‍රි බිසොවුන් හා ජාලිය කුමාරයන් හා කෘෂ්ණජිනාවන් හා හිමවත වක් ගල් කුසට එක් තැන් වූ කල්හි දු පොකුරුවැසි වට’යි වදාරා වෙස්සන්තර ජාතක ය වදාළ සේක. බණ අසා යන එක් ලක්‍ෂ සැට දහසක් විතර නෑයන් අතුරෙන් එක ද කෙනකු ත් ඔවුනොවුන් අත් බලා දෝ නො හොත් ආදි දවස් සුදොවුන් මහ රජාණන්ට නිල වුව මනා හෙයින් දෝ ආරාධනා නො කළහ. රජ්ජුරුවෝ ද ‘ම පුතණුවන් වහන්සේ මාගේ ගෙට නො වැඩ අනික් කොයි වඩනා සේක් දැ’යි ආරාධනා නො කොට ම ගියහ. ගොසින් විසි දහසක් රහතන්ට ත් බුදුන් ට ත් කැඳ අවුළු පත් ආදි ය සපයා ලා හසුන් පනවා ලූය.

දෙවන දවස් බුදුහු සිඟා වඩනා සේක් ‘කුමක් දෝ ? පූර්‍ව බුද්ධවරයෝ පිය රජුන්ගේ නුවරට ගොසින් ඉඳුරා ම පිය රජ්ජුරුවන්ගේ ගෙට ම සිඟා යෙත් දෝ නොහොත් ගෙ පිළිවෙළින් සිඟු දෝ හෝ’යි බලන සේක්- ගෙ පිළිවෙළින් සිඟු නියාව දැක නුවර පළමු ගෙයි පටන් සිඟ සිඟා නික්මුණු සේක. එ පවත රජ්ජුරුවන්ට කිවු ය. රජ්ජුරුවෝ සළු ව එකතින් ගෙන වහ වහා අවුදින් බුදුන් වැඳ ලා ‘හැයි පුතණුවන් වහන්ස. මා කුමක් නිසා නසන සේක් ද ? මට මුඹ වහන්සේ සිඟීම නිසා ලජ්ජා බලවත. විසි දහසක් රහතන්ට තබා විසි ලක්‍ෂයක් රහතන්ට ත් මා දන් දී ලිය නොහෙතොත් මුත් මාගේ ප්‍රභු ශක්ති ය ඇති කල මෙ ලෙස කෙළේ හැයි ද? මෙ ම නුවර රන් සිවි ගෙවල් ආදීන් ඇවිද බුදු ව පින් ගෙවුනා සේ දැන් සිඟා ඇවිදීම යුක්ත ද ? මට මෙ සේ ම ලජ්ජාව උපදවා පූයේ හැයි දැ’යි කිවු ය. ‘මහ රජ, තොපට ලජ්ජාව උපදවන්ට නොවෙයි. මාගේ කුල පරම්පරාව පවත්වමී’ වදාළ සේක. ‘කුමක් ද, පුතණුවන් වහන්ස, අපගේ කුල පරම්පරාවෙහි සිඟා කන්නවුන් ඇති නියා දැ’යි විචාළෝ ය.

‘මහ රජ, මේ කුල පරම්පරාව තොපගේ නො වෙයි. මාගේ කුල පරම්පරාව ය. නො එක් දහස් ගණන් බුදුවරහු සිඟා ම ජීවත් වූ හ’යි වදාරා බණ වදාරන සේක් සිඟා නො ගොසින් දන් ගෙනෙන තෙක් විහාරයේ ම රැක හිඳීම යුක්ත නො වන හෙයින් ගෙ පිළිවෙළින් සිඟා ලබන ආහාරයෙහි නො පමා වන්නේ ය. කුහන-ලපනාදී වූ මිථ්‍යාජීවය හැර සුචරිත ධර්මයෙහි දෝ හෝ නොහොත් දවස දවස සිඟීමෙහි හැසිරෙන්නේ ය. මෙ ලෙස පවත්නෝ මෙලොව ත් පර ලොව සුව සේ දවස් යවද්ද, හැසිල්ලෙක වුවත් භික්‍ෂාචාර සඞ්ඛ්‍යාත කුශල ධර්‍මයෙහි හැසිරෙන්නාහ. වෙසියාදී අගොචරයෙහි නො හැසිරෙති. මෙ ලෙස කළ කෙනෙක් ඇත් නම් ඌ මෙ ලොව ත් සුව සේ දවස් යවති උන්ට මෙ ලොව ත් ධර්‍ම ජීවිකාව හෙයින් හානි නැත. පිළිවෙත් නිසා සිඟන සිඟමන් හෙයින් පරලොව ත් හානි නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර රජ්ජුරුවෝ ලබන්නා වූ ධර්‍ම සංග්‍රහ ය ක්‍රම ක්‍රමයෙන් ලබන්නා සේ සෝවාන් වූහ. එ තැනට තව ත් පැමිණියෝ ලොවී ලොවුතුරා සැපතින් නො සිස් වූ හ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පිණ්ඩචාරික භික්ෂූන් භික්‍ෂාටනයෙහි නොපමා වන සේ කුසලයෙහි නො පමා ව ලොවී ලොවුතුරා සැප ත් සිද්ධ කටයුතු.

  1. කත්පිඬුවලින් - ඇතැම්