තව ද සත්‍වයන්ගේ අදහස් දැන්ම බුදුන්ට මුත් සෙස්සන්ට අවිෂය නියාව හඟවන්ට දහර භික්ෂු කෙනකුන් වහන්සේ ගේ වස්තුව කියමු.
කෙසේද යත් -
එක් තරා කෙනකුන් වහන්සේ බාල නමක් කැඳවා ගෙන උදාසන ම විශාඛාවන්ගේ ගෙට වැඩි සේක. විශාඛාවන්ගේ ගෙයි ත් නිරන්තර ව පන්සියක් දෙනා වහන්සේට කැඳෙක් නිලව තිබෙයි. තෙරුන් වහන්සේ එ තැන දී කැඳ වළඳා පියා බාල නම එ තැන රඳවාලා තමන් වහන්සේ බත් වළඳන්ට අනික් ගෙයට වැඩි සේක.
එ සමයෙහි විශාඛාවන්ගේ මිනිබිරි කෙනෙක් මුත්තණියන් සේ ම වහන්දෑට මෙහෙ කෙරෙති. උයිත් බාල නමට පැන් පරහා දෙන්නෝ සැළ පැන ඡායාවෙන් තමන්ගේ මූණ බලා සිපූය. බාල නම ත් කුමාරිකාවන්ගේ මූණ බලා සි පූ සේක. කුමාරිකාවෝ උන් වහන්සේ සිපූ නියාව දැක ‘මේ හිස කැපුයේ මා දැක සිනා සෙයි’ කිව්. ඒ අසා බාල නමත් ‘තෝ හිස කැපූ වි ය. තිගේ මවත් හිස කැපූ වි ය. තිගේ පියෝ ත් හිස කැපුවෝ ය’ යි ඝටා බිණු දෑ ය. ඈ හඬා ගෙන මුත්තණියන් විශාඛාවන් දන් පිසන තැනට ගොසින් හැඬී ය. ‘කුමක් ද පුතණ්ඩැ’ යි කී කල්හිළු පවත් කිවු ය. විශාඛාවෝ බාල නම් ළඟට අවුත් ස්වාමීනි, බාල දරුවන් කියාපු දෙයට මුසුප්පු නුවුව මැනව. හිස කේ කපා පියා කපා කළ සිවුරු පෙරව ගෙන මැටි කබලක් හැරගෙන සිඟා කන කල තෙල විතරයක් නො ඉවසත් දැ’ යි කිවු ය.
ඒ අසා බාල නම ‘එසේය, උපාසිකාවෙනි, අප හිස මුඩු නියාව ත් පවුල් සිවුරු පොරෝනා නියාව ත් තුමූ ම දනිති. හිස කැපුයේ ය’ යි කියාලා බණන්ට ත් තමන්ගේ ම මිනිබිරියන්ට තර මැ’යි කී සේක. විශාඛාවෝ දෙපක්‍ෂය ම බාල හෙයින් බාලනමත් ගිවිස්වා ලිය නොහෙති. මිනිපිරියනු ත් ගිවිස්සා ලිය නොහෙති. එවේලාට තෙරුන් වහන්සේ අවුත් මේ කිම් දැ’ යි විචාරා එ පවත අසා දැන බාල නමට අවවාද කරන සේක් ‘ඇවැත්නි, නො දොඩව. හිස කේ කපා පියා පවුල් පෙරව ගෙන මැටි කබලක් හැර ගෙන දොර දොර සිඟා කා ඇවිදිනා කල තෙල තරම් බිණීමුත් බිණීම් ද? ඉවසව’ යි වදාළ සේක. ‘එසේය, ස්වාමීනි, තෙල තරමෙක මට බැණ ලූ තැනැත්තවුන්ට කුමකු ත් නොකියා මුඹ වහන්සේත් මට ම දොඩන සේක් ද? උන් බිණුයේ බිණුයේ ම දැ’ යි කී සේක. තෙරුන් වහන්සේත් විශාඛාවනුත් බාල නමගේ අදහස් දන්ට නුවූයේ ය.
එ වේලාවට බුදුහු ත් එ තැනට වැඩ මේ කිම් දැ යි විශාඛාවන් විචාළ සේක් ‘විශාඛාවෝ එ පවත් දැන්වූ’ය. බුදුහු ත් ඒ බාල නම සෝවන් වන්ට කළ පින් ඇති නියාව දැන යහපත් දෙයක් ලබන්ට නිසි දරු කෙනකුන් නපුරු දෙයක ඇවිටි කරන කල ඒ ඇවිටි හරවන්නා සේ ම ‘මූ මට නැමී ලුව මනා වෙයි’ සිතා විශාඛාවන්ට කුමක්ද, විශාඛාවෙනි, තොපගේ මිනිබිරිය හිසකේ කපා පී පමණකට, පවුල් පෙරවි පමණකට, පාත්‍රයෙන් සිඟා කන පමණකට, තෙල ලෙස බිණිය හැකි ද? මහණ සරුප් නො වන හෙයින් හිස කෙහෙ නො කපන්නේ ත් කෙසේ ද? නො කපාකළ සිවුරට චෞරොපද්‍රව ඇති හෙයින් කපා කළ සිවුරු නොවළඳින්නේත් කෙසේ ද? පාත්‍රවලින් සිඟා කෑමත් කුල නියා ද? තොපගේ මිනිබිරියන් එ ලෙස කියන්ට වී කාරණ කවරේ දැ’ යි වදාළ සේක. බාල නම ද දෝ ත් මුදුනේ තබා ගෙන ‘ස්වාමීනි මිනිසුන්ගේ තරම් පදම් අපගේ උපාධ්‍යායයන් වහන්සේ හා විශාඛාවන් ම දනු ත් මුත් මුඹ වහන්සේට හැඟේ දැ’ යි කී සේක.
බුදුහු ත් බාල නම තමන් වහන්සේට නැමුණු නියා ව දැන බණ වදාරන සේක් ‘යම් අකුසලයක් නරකාදියෙහි උපදවා දුක් විඳීමෙන් හා නො එක් ලෙසින් හීන ලෙසට පමුණුවා නම් එසේ වූ හීන තරමේ නො පවත්නේ ය. පමා වීම නම් සසරින් නො මිඳී මට ම කාරණ හෙයින් ප්‍රමාද වත් නො විසි ය යුතු ය. සම්‍යක් දෘෂ්ටියට විරුද්ධ මිථ්‍යා දෘෂ්ටිය ත් දිශවියත්හුගේ බෑයා මිථ්‍යා දෘෂ්ටි බලයෙන් බුද්ධාන්තර සූ සැටක් නරක දුක් ගත් හෙයින් නො ගන්නේ ය. යමෙක් මිසදිටු ගෙන වෙසෙත් නම් සසර දික් වන හෙයින් ලොව වඩන්නා නම් වෙති. එ ලෙස නො වඩා ශීල සමෘද්ධ්‍යාදි ගුණ වඩන්නේය’යි වදාළ සේක. දේශනා කෙළවර කුඩා සිඟිත්ති ය කියා ලූ බසට මුසුප්පු වූ වහන්දෑ නම බුදුන්ගේ බසට සතුටු ව එකඟ සිතින් බණ අසා සෝවාන් වූ සේක. සෙසු ත් බොහෝ දෙන නිවන් දුටහ.
එහෙයින් සත්පුරුෂයන් විසින් හීන වූ අකුශලයෙහි නො හැසිර උතුම් වූ කුසලයෙහි හැසිර සගමොක් සිද්ධ කටයුතු.
________