13. නන්ද මහතෙරුන් වහන්සේගේ වස්තුව

star_outline

තව ද අනුශාසනා නැති වීමෙන් ශාසනාභි රති නැති ව පිළිවෙත පමා වීමෙන් නිවන් සාධා ගත නො හෙන්නවුන්ට ශාසනාභිරතියට උපදෙස් නිසා නන්ද මහ තෙරුන් වහන්සේගේ වස්තුව කියමු.

හේ කෙසේ ද? යත්:-

බුදුහු බුදු ව ලා බිම්සර මහ රජුගේ අයදමෙන් රජගහා නුවර වැඩ වෙළුවන වෙහෙර වසන සේක් පිය රජ්ජුරුවන්ගේ ආරාධනාවෙන් කිඹුල්වත් නුවරට වැඩ නිග්‍රොධ නම් අරම සැතපී ලා දෙ වන දවස් සිඟා ඇතුළු කිඹුල්වත් නුවරට වැඩි සේක් නැතක් දවසින් දුටු පිය රජ්ජුරුවන්ට උපන්නක් දෙන්නාක් මෙන් ගාථා පමණෙකින් සෝවන් කරවා මිනිස් ලොව උපදිතොත් සත් වරෙකින් වඩා ත් නො හොත් දෙ තුන් වරෙකින් වඩා ත් නැත. එක වරෙකින් වඩා ත් නූපදනා ලෙස කොට ලා අනිත් ගාථාවෙකින් මහා ප්‍රජාපතී ගෝතමී නම් කුඩා මෑණියන්දෑගෙන් පූ තන කිරෙහි කිරි මිල ගෙවා ලන්නාක් මෙන් උන්දෑ සෝවාන් කරවා, පිය රජ්ජුරුවන් තනතුරෙන් වඩා ලන්නා සේ සෙදගැමි කරවා, එ ම දවස් වළඳා අන්තයෙහි බිම්බා බිසොවුන්ගේ ගුණයෙහි තරම මහෞෂධ පණ්ඩිත අවස්ථාවෙහි ත් විමසා තුබූ හෙයින් වදාරන නිසා චන්දකිණ්ණර ජාතකය වදාරා, ඊට දෙ වන දවස් නන්ද කුමරුන්ට වොටුනු මඟුල ත් ගෙවදනා මඟුල ත් විවාහ මඟුල ත් තුනම එක අවධියට පැමිණි කල්හි, මේ මඟුල් තුනට වඩා නිවන් මඟුල උතුම් බැවින් ඒ උන්ට පමුණුවා ල මී නුවරට සිඟා වැඩ සිඟා අන්තයෙහි නිවන් අත් පත් වන ලෙසින් පාත්‍ර ධාතූන් වහන්සේ අතට දීලා ආදියෙන් යන ගමනට ඉෂ්ට සූචක කොට දුන් පාත්‍ර ය හෙයින් පාත්‍ර ය අතට හැර නො ගත් සේක

නන්ද කුමරු ද බුදුන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ‘පාත්‍ර ය හැර ගත මැනැව’යි නො කියා රජ ගෙන් වඩනා ගමන හෙයින් හිණි හිස කෙරෙහි දී හැරගන්නා සේකැයි සිතූහ. ‘බුදුහු එ තන දී ත් පාත්‍ර ය හැර නො ගත් සේක. ‘හිණි පා මුල දී හැර ගන්නා සේක් වනැ’යි සිතා යන කලට එ තන දී ත් හැර නො ගන්නා රඳනු කැමැති වත් අභිප්‍රායෙන් ම නොව බුදුන් කෙරෙහි ගෞරවයෙන් ‘පාත්‍ර ය හැර ගත මැනව’යි කියා ගත නොහී මෙ තන දී හැර ගන්නා සේක. මෙ තන දී හැර ගන්නා සේක් වනැ’යි සිතා ම නො සිතින් ගිය ත් සිතින් ම සසර ගමනින් නවත්නා හෙයින් යෙත් ම ය.

ඒ වේලෙහි නන්‍ද කුමරුන්ගේ දනවු කලණ නම් වූ කුමාර යන්ට සරණ නිල වූ මුල් නෑ කම කවරේ වූව ත් රජ කම් හෙයින් බැදෑණියන් ළඟට මිනිස්සු ගොසින් ‘බුදුහු පිය රජ්ජුරුවන්ගේ මාළිගාවට වැඩි ගමනේ මුඹදෑගෙන් වෙන් කොට නන්‍දකුමරුන් වහන්සේ කැඳවා ගෙන වඩනා සේකැ’යි කිවු ය. එ බස් අසමින් ඕ ද හිස සෝධමින් සිටි තැනැත්තියෝ සෝධා නිමි හිස කේ නො බැඳ, වහා අවුත් ‘ගිය ත් සුළු ගෙයි, වහා එව’ යි කිවු ය. උන් කියා ලු බස නන්‍ද කුමරුන් සිත දිවුල් ලාටු මුසු වයිති තර ව වැද ගන්නා සේ තරයේ ම වැද ගත. බුදුනු ත් පාත්‍ර ය අතින් නො ගෙන වෙහෙරට ගෙන ගොසින් ‘නන්ද කුමරුනි, මහණ වවු දැ’යි වදාළ සේක.

බුදුන් වදාළ බස මඟුලෙන් හෙළා ලූ කප උගුලවන්ට බැරියා සේ උගුළුවා ලන්ට බැරි හෙයින් ‘මහණ නො වෙමි’ නො කියා ‘යහපත, මහණ වෙමි’ කියා ගිවිස්සාහ. එබැවින් තුලුන් මහණ කරව’යි වහන්දෑට භාර කොට කිඹුල් වත් නුවරට වැඩි තුන් වැනි දවස් නන්‍ද කුමරුන් මහණ කොට සත් වන දවස් බිම්බා බිසොවුන් විසි දහසක් රහතුන් පිරිවරා නුවරට සිඟා වැඩි තමන් වහන්සේ පෑ ලා ‘හෙම්බා පුත, තුලුන් දුටු ද? තුලුන්-සිඟා ඇවිදිනා පමණක් මුත් ගවු දෙ ගවු තුන් ගවු සතර ගවු පමණ මුව විට පුළුල ඇති පොළොව බොළ විතර උස ඇති නිධාන සැළ සතරෙක් ඇත. මුන් මහණ වන්ට ගිය තැන් පටන් නො දකුම්හ. තොප සක්විති වන නියාව දෙ තිස් මහ පිරිමිනි ලකුණු නැමැති නිමිත්ත දන්නා දෙ තිස් දෙනකු කියා සිටුත් වස්තුව ත් වුවමනා වේ ද? තෙපි තුලුන් කරා ගොසින් නිධාන පාවා ගනුව’යි රහල් කුමරුන් සරහා යවූ කල්හි කුමාරයෝ ත් දායාද ඉල්වමින් පසු පස්සෙහි ගමන් ගත්හ. බුදුහු ත් නො නැවතූ සේක. කැටි ව යන්නෝ ත් බුදුන් හා කැටි ව යන ගමන හෙයින් නවතන්ට යුක්ති නැති වන්නා නො නැවතූහ. රහල් කුමරුහු ද සඳ හා කැටි ව නික්මුණු නකත් තරුවක් මෙන් නික්ම වෙහෙරට ගියහ.

බුදුහු ‘මේ තෙමේ මා සන්තක වස්තුවට තමා ආවෙණික ව හිමි හෙයින් ඉල්වයි. ඒ සම්පත් තරමට ත් ඒ මුල් වන ආදීනව මහත. මා සර්‍වඥතා ඥාන නමැති එක ධනය දී ලා ලත් ධන සතෙක් ඇත. මූට ත් ඒ ධන සත ම දෙමි’ යි සිතා වදාරා සැරියුත් මහ තෙරුන් වහන්සේ කැඳවා ලා ‘හෙම්බා ශාරිපුත්‍රයෙනි, තෙල රහල් කුමරු අප අතින් වස්තු ඉල්වති. මහණ වන්ට එන ගමනේ අප ලා ලා ආ රකවල් නැති හෙයින් මුන් ඉල්වන සම්පත් තුබූවා නැත. හැම ත් ධනයෙක් ම වේ ද? අපට ඒ ඇති ව තුබූ ධන සත ම දෙන නියායෙන් තුලුන් මහණ කරව’යි විධානකොට මහණ කැරවූ සේක. මහණ වීමෙන් සිවුරෙනුත් එක් වැනි වූ සේක.

රහල් කුමරුන් මහණ වන්නා ම සුදොවුන් මහ රජ්ජුරුවන්ට ශෝක බලවත් විය. රජ්ජුරුවෝ ශෝක ඉවසා ගත නො හී බුදුන්ට දන්වන්නෝ ‘මුඹ වහන්සේ මහණ වන්ට නික්මුණු දවස් ඇති ශෝක ය නන්‍ද කුමර–රහල් කුමර දෙන්නා ගේ මුහුණ දක්නා හෙයින් නිවිණ. නන්‍ද කුමරුන් මහණ වූ ශෝක ය තනි රහල් කුමරුන් මුහුණ දක්නා හෙයින් සන්හුණ. උන් මහණ වූ ශෝකය අනික් සන්හිඳුවන්නෝ කවුරුද? දරුපෙම් මුණුබුරු පෙම් ඇත්තේ මට මතු නො වන්නේ වේ ද? කාටත් සරි ය. මේ කට යුත්ත මා පිළිබඳ හෙයින් කෙළේ ම ය. ඊට කිම්ද? මෙ වක් පටන් මහණ වන්ට දෙමවු පියන් අනු නොදත් දරුවන් මහණ නො කරන්ට විධානයක් ඇත මැනැවැ’ යි දැන්වූ ය. බුදුහු ත් යහපතැ යි ගිවිසි සේක.

එක් දවසක් ති ලෝ ගුරු බුදුන් සුදොවුන් රජ්ජුරුවන්ගේ රජ ගෙට වැඩ වළඳන්ට වැඩ හුන් වේලාවට සුදොවුන් රජ්ජුරුවෝ “ස්වාමීනි, මුඹ වහන්සේ බුදු බව සාධා ගන්ට දුක් ගන්නා සමයේ ගන්නා දුක් බලවත් හෙයින් එක් දේවතාවෙක් මා ළඟට අවුත් මුඹ වහන්සේ මළැ යි යන්නක් කී ය. මම් ඒ අසා ‘ම පුතණුවෝ කලට පිපෙන මල් පිපී මුත් නොනවත්නා සේ බුදු වුවො ත් මුත් නො මියෙති’යි කියා දේවතාවාගේ බස් මා හදහා ගත්තේ නැතැ”යි කිවු ය.

මහ රජ දැන් තෙපි බුදුවන කෙනෙකුන්ට මුත් පහළ නොවන දෙ තිස් මහ පිරිම්නී ලකුණු දැක සිටි තැනැත්තෝ, නැවත උපන් දවස් පහළ වූ දෙතිසක් විතර පෙළහර ත් දැක කෙ සේ හද හවුද? යට ගිය දවස මහ දම්පල් කුමරු ව උපන් කල්හි මළ නියාව සාධන ට එළුවන්ගේ ඇට ගෙනවුත් පෑ ලා කීව ත් ‘අපගේ කුලයෙහි උපන්නවුන් ගෙන් පරමායු ගෙවා මියන්නවුන් මුත් අතුරෙක මියන කෙනෙක් නැතැ’යි නොගිවිස්සාමය’යි එතැන්හි මහ දම්පල් දා වදාරා රජ්ජුරුවන් අනැගැමි කරවා, රහත් වීම අතු රෙක නො ව මියන දවස් ශ්‍රී යහනෙහි සැතපී හෙව රහත් වන ලෙස වූ කල්හි බුදුහු මහණ ගණා පිරිවරා නැවත කළ මනා බුද්ධ කෘත්‍ය ය නොනිමි හෙයින් අඩුව සපයනු නිසා, රජගහ නුවර වැඩ අනේපිඬු මහ සිටුහු විසින් දෙව්රම් වෙහෙර කරවා නිමවා වඩනට ආරාධනා කොට යැවූ කල්හි සහපිරිවරින් සැවැත් නුවරට වැඩ දෙව්රම වසන සේක.

මෙ සේ බුදුන් දෙව්රම්හි වසන කලට ආයුස්මත් වූ නන්‍ද තෙරුන් වහන්සේ බැදෑවන් බිසොවුන් කියා ලූ බස් නැමති වයිති පෙම් නමැති දිවුළු ලාටු මුසු කොට, සිත් නමැති බිතත ඇඳ ලූ හෙයින්, ඒ බලා ශාසනයෙහි උකටලීව, “මා ශාසනයෙහි ඇලුම් නැත. සිවුරු හරිමි’යි හිත මිත්‍ර වහන්දෑට කී සේක. බුදුහු එ පවත් අසා නන්‍ද මහ තෙරුන් වහන්සේ කැඳවා ලා ‘සැබෑ ද නන්‍දයෙනි, භික්ෂූන්ට මෙබන්දක් කිවුදැ’යි විචාරා වදාරා’ සැබව ස්වාමීනි’යි උන් වහන්සේ කී කල්හි ‘නන්‍දයෙනි, සිවුරු හරණේ කුමක් නිසා දැ’ යි විචාරා වදාළ සේක. එ සේ විචාරා වදාළ බුදුන්ට ‘ස්වාමීනි, මා මහණ වන්ට සිතින් නො සිතින් එන ගමනේ දනවු කලණ බිසවු සෝධාපූ හිසකේ හිණි නො ගන්නා තෙක් අවුත් ‘වහා අව මැනැවැ’යි යන බසක් කිවුය. මම එ බස එක් වන සඳහන් කරන්නේ මෙ බන්දක් සිතමි’යි කී සේක.

එ කල බුදුහු තිබී බලවත් වන ලෙඩක් බෙහෙදක් දී සන් හිඳුවන කලක් මෙන් ඔබගේ එ බඳු අනුභාවයක් නැත ත් තමන් වහන්සේගේ අනුභාවයෙන් අත අල්වා ගෙන තව්තිසා දෙව් ලොවට වඩනා සේක් අතුරු මඟ නව දැළි සේනක් මවා ලා ඒ සේනේ දා ගිය කණුවෙක දා වක ගැසී ගිය වැඳිරි මෑල්ලක මවාලා තවුතිසා දෙව් ලොවට වැඩ සක් දෙවිඳුහුගේ පන් සියයක් පමණ දෙවඟනන් පෑ ලා “කුමක් ද නන්‍දයෙනි, රුවින් වූ කලී මේ දෙවඟනෝ යහපත්තු ද නොහොත් දනවු කලණ බිසවු යහපත්තු දෑ ‘යි විචාළ සේක.

‘ස්වාමීනි, කුමක් වදාරන සේක් ද? මේ දෙවඟනන් දුටු කලට ඒ දනවු කලණ බිසවු නම් අතුරු මඟ නවදැළි සේනේ අප දුටු දා වක ගැසී ගිය වැඳිරි මෑල්ල ත් වටිත් දැ’යි කී සේක. ඒ අසා බුදුහු ‘එ සේ වී නම් නන්‍දයෙනි, ශාසනාභිරති ය ඇති ව සිල් රක්‍ෂා කෙළේ නම් කෙළෙසුන් ගෙවා ගන්ට නුවුවොත් දෙව් ලොව ඉපද දෙවඟනන් ලබන නියාවට මම ඇපයෙමි’යි වදාළ සේක. ඒ අසා නන්‍ද තෙරුන් වහන්සේ ‘එ සේ වී නම් දෙවඟනන් ලබන නියාවට මෙ තරම් ඇපත් ඇති බැවින් බඹසර හැසිරෙමි’යි කී සේක. මෙ ලෙසින් සස්නෙහි ඇලුම් ඇති කරවා හැදහිලි නැති කෙනෙකුන් ප්‍රසිද්ධ ස්ථානයට ගෙන ගොස් තර ය කරවා රුචී දෙය කරවා ගන්නා සේ සිල් රක්ෂා කිරීමට දෙව් ලොවට ගෙන ගොසින් තරය කරවා ගෙන නන්‍ද තෙරුන් වහන්සේ හැර ගෙන දෙව් ලොව වැඩ උන් වහන්සේට ඇප වූ නියාව නොහඟවන්ට කරන්නාක් මෙන් දෙව් ලොව දී අතුරුධන් ව-

“බොධනෙය්‍යං ජනං දිස්වා – සතසහස්සෙපි යොජනෙ,

ඛණෙන උපගන්ත්‍වාන - බොධෙති තං මහාමුනි.”

යනු හෙයින් ඇසිල්ලකින් දෙව්රම පහළවූ සේක. වහන්දෑ මෙ පවත් අසා ‘නන්‍ද තෙරුන් වහන්සේ නම් බුදුන්ගේ කුඩා මෑණියන්දෑ ගේ පුත් සේක. මහණව කරණ සංකමුත් ගෙය කඹුරන්නා සේ දෙවඟනන් නිසා ල. එයිත් ඇපයකට නොනිසි බුදුන්ගෙන් ඇප ඇතිව ලැ’යි නන්‍ද තෙරුන් වහන්සේ ළඟට ගොසින් මෙ හැම කියා වෙහෙසන සේක.

නන්‍ද තෙරුන් වහන්සේ ද වහන්දෑගේ කථාවෙන් තරයේ ම ලජ්ජා ඇති ව දෙවඟනන් කෙරෙහි කළ ආලය හැරී පෙරළි හේකට[1] තුබූ දෙයක් නො හෙන ලෙස තනා තබා ගන්නා සේ පෙරළා මහණ දමට ම සිත් සතන් යොමු කොට ලා රජ සිරි හැර අවුත් නිවන් සිරි නො හරණ නිසා නො පමා ව වසන සේක. යම් සේ ලේනෙක් තමා තරම් කෙනෙකුන් තමාට සතුරුව ආකල තමාගේ නඟුට කුප්පවා ලා එයින් ගසාලා පහ කෙරේ ද, එ මෙන් ළං වූ කෙලෙස් සතුරු කෙනෙක් ඇත් නම් සතර සීවටන් නමැති මුගුරෙන් මරා පලවමින් යම් සේ දිවි දෙනෙක් කෙතෙක් වුව ත් එක වරෙක වදන පැටවුන් මුත් දෙවන මුරයේ නො වදා ද, එක මුරයෙන් ම වඳ වේ ද, එ පරිද්දෙන් උපන් ජාති විනා භවොත්පත්ති නැති වීමට අදහස් ඇතිව යම්සේ දිවියෙක් තණ කැළෑ ආදිය යට වැදලා හිඳ ගොදුරු අල්වා ගනී ද, එ සේ ම අර්හත් ඵල නමැති ගොදුරු නිසා ගම්භීරාරණ්‍ය රුක් මුල් ගල්පාවුළු[2] කඳුරැළි ගල්ගුහා සොහොන අබවස යනාදියට එළඹ, යම් සේ දිවියා ගොදුරු අල්වා ගත් කලට වමළැයෙන් හුණු ගොදුරු නො කා ද එ පරිද්දෙන් එක් විසි අන්වෙෂණ වශයෙන් වේව යි, වාග් විඥප්ති වශයෙන් වේව යි, උපන් දෙයක් ඇත් නම් විෂ මිශ්‍රයක් පරිද්දෙන් හැර විවසුන් වඩා රහත් ඵල නමැති වොටුනු පැළඳීමෙන් හැර ආ රාජාභිෂේකයට රාජ්‍යාභිෂේකයක් ලදින් හැර පියා ආ මඟුලට නිවන් ගෙ මඟුල් කොට හැර ආ විවා මඟුලට පල සමවත් විවා මඟුල් කොට බුදුන් සන්තක නිවන් රට තමන් වහන්සේට ත් හිමි කළ සේක.

එක් දෙවතාවෙක් රාත්‍රි වේලෙහි දෙව්රම වසන බුදුන් කරා ගොසින් වැඳ ලා ‘ස්වාමීනි, මුඹ වහන්සේගේ මල් වූ නන්‍ද මහ තෙරුන් වහන්සේ රහත් වූ සේකැ’යි කිවු ය. ඔහු නො කියන තෙක්ම බුදුහු ත් දෙව් ලොව ගිය ගමනින් ම සසර ගමන් නිමවා රහත් වූ නියාව විමස විමසා හිඳිනා සේක් එසේම දත් සේක. නන්‍ද මහ තෙරුන් වහන්සේද රාත්‍රිය පාන්වූ කල්හි බුදුන් කරා ගොසින් වැඳලා ‘ස්වාමීනි, මුඹ වහන්සේ දෙව් ලොව වැඩි ගමනේ දෙවඟනන් පන් සියයක් මා ලබන නියාවට වූ ඇපයෙක් ඇත්තේ වේ ද, මෙ වක් පටන් දෙවඟනන් තබා කිසිවක ත් මා ගේ ඇල්මක් නැති හෙයින් ඒ ඇප නැතැ’යි කී සේක. බුදුහු ඒ අසා වදාරා ‘නන්දයෙනි, තොප රහත් වූ නියාව අපි ත් දතුම්හ. දේවතාවකුත් අවුත් අපට කිව. එ සේ හෙයින් තොප කීව ත් නො කීව ත් අපි ඒ ඇපයෙන් මිදුණුම්හ’ යි වදාරා රහත් ව ශෝභාවත් වූ මුහුණ ඊ ම තබා ශෝභාමත් කරවූ සේක. වහන්දෑ ද ගොසින් රහත් නියාව නො දැන ‘කුමක් ද? පෙර සිතන්නේ සිවුරු හරණට වේ ද? දැන් කුමක් දැ’යි විචාරා ‘මා ගිහි වීමෙහි ආලයෙක් නැතැ’යි කී කල්හි මූ ගිහි වීමෙහි ආලයක් නැති නියාව කියති මුන් බොරු කියන නියා වේ දැයි බුදුන්ට එ පවත් දැන්වූ සේක.

බුදුහු ඵ් අසා ‘මහණෙනි, යම් සේ සෙවිලි නො දැන්මෙන් නපුරු කොට සොයා ලූ ගෙය වැසි නැති විටෙක මුත් වැස්ස වට විට ම තෙමේ ද, එ පරිද්දෙන් ශමථ භාවනා-විදර්ශනා භාවනා නමැති සෙවිල්ල නො දන්නා හෙයින් තදඞ්ග විමුක්ති නමැති එක් තරම් සෙවිල්ලකින් සොයා ලූ සිත් නමැති ගෙයක් කෙලෙස් නමැති එක් තරම් වැස්සක් වට ත් තෙමි මුත් නො හරණේ ය. යම් සේ සෙවිල්ල දන්නවුන් යහපත් කොට සොයා ලූ ගෙය එක් තරා වැස්සකින් තබා මහත් වැස්සකිනුත් නො තෙමේ ද එ පරිද්දෙන් ද්වි ප්‍රකාර භාවනා නමැති තර සෙවිල්ලෙන් සොයාලූ සිත් නමැති ගෙය සසර මහ මුහුදු පුරන තරම් වූ කෙලෙස් මග වැසි වට ත් නො තෙමෙ’ යි වදාළ සේක.

ඒ අසා නන්‍ද තෙරුන් වහන්සේගේ නුගුණ කියන්ට ගිය වහන්දෑ සෝවාන් ඵලාදියට පැමිණීමෙන් ලොවුතුරා ගුණය ලත් සේක. සත්‍ය අසත්‍ය නො දත් වහන්දෑ චතුස්සත්‍ය දත් සේක. ධර්‍ම සභායෙහි ද කථාවෙක් උපන. බුදු වරුන් වහන්සේ නම් ඉතා ආශ්චර්‍ය්‍ය සේක. ජනපද කල්‍යාණීන් නිසා නිවන් සම්පතින් පිරිහෙන්ට සිටි මලණුවන් වහන්සේට එක් තරම් දෙයක ඇවිටි ඇත්තවුන්ට වැඩි යුරු දෙයක් පෑ ලා ඇවිටි කළ ඵක් තරම් දෙයෙහි ඇවිටි හරවන්නා සේ දනවු කළණ බිසොවුන් කෙරෙහි කළ ඇවිටිය දෙව් ලොවට ගෙන ගොසින් දෙවඟනන් පෑ ලා අරවා ලූ සේක. මේ අනික් කාට පිළිවන් දැ’යි යන කථාව ය.

බුදුහු ත් වහන්දෑ කරන කරන කථාව දිවකනින් අසා වදාරා, ‘භික්ෂූහු නන්‍දයන් ශාසනයෙහි ඇලුම් කරවා ගත් නියාව අරභයා කථාව කෙරෙති. මම එ තෙනට ගියෙම් නම් ‘හෙම්බා මහණෙනි, ඒ දැන් මතු නො වන්නේ වේ ද? යට ගිය දවසත් තෙල ලෙස ම උන්ට ඇති වූ ඇවිටියක් හැරවීමි’ කියා ලා ඒ හඟවන්ට ජාතක කථාවක් ගෙන හැර දක්වමි. මාගේ මේ ජාතක දෙශනාව පස්වා දහස මුළුල්ලෙහි බොහෝ දෙනාට බොහෝ ප්‍රයෝජන සාධා දෙන්නේ ය’යි සිතා වදාරා ධර්‍මසභාවට වැඩ සුවිනීත ව සුශික්ෂිත ව වැඩහුන් පර්‍ෂද බලා පියා ‘රන් නැවක් මධ්‍ය කොට පිපී වැනී ගිය රත් නෙළුම් වනයක් සේ මේ භික්ෂු පර්‍ෂද ඉතා හොබිති. මම පළමු කොට කථාවට ආරම්භයක් කෙළෙම් නම් මින් පෙරාතු කොට බසක් බැණ නැගෙන කෙනෙක් නැත. මම් ම පළමු කොට කථාව උපදවමි’යි සිතා ‘මහණෙනි, මා එන්නාට පෙරාතු කොට කෙසේ වූ කථාවක් කොට කොට හුණු දැ’යි විචාරා වදාරා මේ කථාව නියාව දැන් වූ කල්හි ‘මහණෙනි, ඒ දැන් මතු නො වෙ’යි වදාරා භික්ෂූන් වහන්සේ විසින් ආරාධිත වූ තිලෝ ගුරු බුදු රජාණන් වහන්සේ භෂ්ම ප්‍රච්ඡන්න ජාත වේදයක් සේ භවයෙන් සැඟවී තුබූ ඉකුත් වත් කථාව දක්වන සේක්:-

“මහණෙනි, යට ගිය දවස බරණැස් නුවර බඹදත් නම් රජකු රජ කරන කල්හි එම බරණැස් නුවර කප්පට නම් වෙළෙඳාණ කෙනෙක් වූහ. උන්ගේ එක් කොටළුවෙක් දසා’මුණක් විතර බර උසුල යි. දවසකට එ තෙක් බර උසුලා ගෙන අටවිසි ගවුවක් විතර යෙයි. එක් සමයෙක ඒ වෙළඳාණෝ කොටළුවන් උසුලන්නා වූ ගැල් වලින් බඩු ගෙන්වා ගෙන තක්සලා නුවර ගොසින් ගෙන ගිය බඩු විකපත් වන තෙක් කොටළුවාණන් තණ පත් කන්ට හළවු ය. ඉක් බිත්තෙන් ඒ කොටළුවාණෝ ද අගල පිට කා ඇවිදිනා තෙනැත්තෝ එක් කොටළු දෙනක දැක ඈ ළඟට ගියහ. ඔයිත් උන් හා සාද සාමීචි කථා කරන්නී ‘කොයි සිට අවුදැ’ යි විචාරා බරණැස් නුවර සිට ය යි කී කල්හි ‘කුමක් නිසා මෙ තෙක් කතර අවුදැ’යි විචාළී ය.

‘වෙළඳාම් පිට ආමි’ කී කල්හි ‘උසුලන්නේ කෙ තෙක් බර දැ’යි විචාළීය. ‘දස’මුණක් විතර බර උසුලමි’ කී කල්හි ‘මෙ තෙක් බර උසුලා ගෙන දවස කෙතෙක් තැන් යවු දැ’යි විචාළීය. ‘අටවිසි ගවුවක් විතර යෙමි’ කී කල්හි ‘ඒ වන්නා මෙ තෙක් තැන් නිකමු ත් නොව බර උසුලා ගෙන යව. ගිය තැන ගමන් ඇවිදින පය මිරිකන කෙනෙක් ඇද්ද, නැද්දැ’යි ඊට පිට ලා අනික් විතාරන දෙයක් විචාළී ය. ‘නැත’යි කී කල්හි තිරිසන් වුවත් ස්ත්‍රී කලට ස්ත්‍රී මායමෙහි අඩුවක් නැති හෙයින් තමා කෙරෙහි ඇලුම් කරවා ගන්නා පිණිස තිරිසනුන්ට පා මැඬීම නැතැ ත් ‘ එ විතරකුත් නැත් නම් දුක් නියා වේ දැ’යි තමා උන්ට සම්භ වුවො ත් ඉන් මුට්ටුවක් නැති ලෙසට උන්ට හඟවා කී ය. සැබෑ බසකැ යි සිතා එ බසෙහි ම එලී ගත් හ.[3]

වෙළඳාණෝද ගෙනා බඩු විකපත් කොට ගෙන කොටළුවා ළඟට අවුත් ‘ගෙනා බඩු විකපත් කොට ගතුම්හ’යි කිවු ය. ‘මුඹ දැන් ගිය මැනව. මම රඳමි’යි නැවත කොටළුවාණෝ කිවු ය. නැවත නැවත පෙරැත්ත කීව ත් කොටළුවාණෝ යන්ට මැළි වූ ම ය. ඒ අනිකක් නිසා නො වෙයි, කොටළු දෙනගේ බස් නමැති මලෙහි බැඳී ය. වෙළඳාණෝ ද තොප මැළි ම බැවින්:-

‘පතොදන්තෙ කරිස්සාමි - සොළසඞ්ගුලකණ්ටකං,

සඤ්ඡින්‍දිස්සාමි තෙ කායං - එවං ජානාහි ගද්‍රභ’

යනු හෙයින් ‛කැවිටි හුල ම සොළසඟුලක් පමණ වූ කැවිටක් කර වා ලා කැවුටුවම් කොට ත් ගෙන යෙමී’ කී කල්හි ‘එ සේ කළො ත් පෙර පා දෙක තරයේ බිම ඔබා ගෙන, පස්සා පයින් ඇණ්ඩෙන් ගසා දත් වගුරුවා පියමී’ කීහ. වෙළඳාණෝ ඒ අසා ‘මුන් මෙ තෙක් කලෙක මෙ සේ වූ බසක් කී විරූ නැත. කාරණ කිම් දෝ හෝ’ යි ඈත මෑත බලා කොටළු දෙන දැක ‘මෑ නිසා ය මෙ ලෙසට කරවා ගත්තේ ය’යි සිතා අට තැනකින් වක්ව තුබූ මැණිකෙහි ලණුව අවුණා ලන්ට නිසි නුවණ ඇති වන මහා පුරුෂයාණ කෙනකුන් හෙයින් ‘තෙපි රඳන්ට නො සිතව. ඔබ ගිය කල,

‘චතුප්පදිං සඞ්ඛමුඛිං - නාරිං සබ්බඞ්ගසොභිනිං,

හරියං තෙ ආනයිස්සාමි - එවං ජානාභි ගද්‍රභ.’

යනු හෙයින් ‘සකක් හා සමාන සොඳ මුහුණක් ඇති තමාගේ ජාතියට ඉතා රූපත් වූ කොටළු දෙනක ගෙනවුත් පාවා දෙමි’යි කීහ. එ බස් අසා බලවත් සේ සතුටු ව ගොසින් බල බලා සිටි කොටළු දෙන කෙරෙහි ආලය නැති ව, බසින් ඇසූ කොටළු දෙන කෙරෙහි ආලය බලවත් ව ‘එ සේ වී නම් පටවා ලූ බර ත් හැර ගෙන මෙ තෙක් කල් යන අට විසි ගවුවට අනෙක් අට විසි ගවුව කුත් පිටලා ලා ස පණස් ගවුවක් යෙමී’ කිවු ය.

වෙළඳාණෝ ද යහපතැ’යි ගිවිස කැඳවා ගෙන සිය තැනට ගොසින් කීප දවසකින් කොටළුවාණන් කොටළු දෙනගේ ස්වරූප සඳහන් කරවූ කල්හි ‘ආදි එ සේ කියා ලා නො ගෙනෙන්නේ නැත. ගෙනවුත් පාවා දෙමි. බල එකෙක් ඇත. උන් ඇත ත් වැටුප් වියදම් තොප පමණකට දෙමි. උන් මට කරණ මෙහෙයක් නැති හෙයින. එ සේ දුන් දෙය තොප දෙන්නාට ඇති වෙයි, මඳ වෙයි. මම ඒ නො දනිමි. ඌ පසු ව තොපට බොහෝ දරුවනු ත් වදති. දරුවන් වුව ත් අඹුවන් වුව ත් උන් බොහෝ වුව යි අපගෙන් රැකෙන්නන් බොහෝ හෙයින් වැටුප් බොහෝ නො කෙරෙමි. සෑහේ නමුත් මඳ වේ නමුත් සුප්පාරක ජාතකයෙහි කරනවෑමියාට දා රජ්ජුරුවන් කවර තරම් දස් කමක් දැක ත් අටමස්සක්ම දෙන්නා සේ තොප කෙ තෙක් දෙනා වුව ත් තොප පමණකට දෙමි’යි කිවු ය. ඒ අසා කොටළුවාණෝ කොටළු දෙනුන්ට කළ ආලය වැටුපට කොළෝ ය. බුදුහු මේ ජාතක දේශනාව නිම වූ සේක.

එ හෙයින් නුවණැත්තවුන් විසින් කෙලෙස් විසින් පවත්නා අකුසලින් දුරු ව භාවනා කුසල් පිහිටා තදඞ්ගාදී වශයෙන් සිත් සතන් පිරිසිදු කට යුතු.

  1. හෙයකට, කරුවකට, හෙන්ට

  2. ගල් පාමුලු

  3. විරදම්,