147. අත්තදත්‍ථ තෙරුන් වහන්සේගේ වස්තුව

star_outline

තව ද අත් වැඩ පර වැඩ හැසිරෙත් මුත් අත්වැඩ හැර පියා පර වැඩෙහි ම හැසිරීම යුක්ත නොවන නියාව හඟවනු නිසා අත්තදත්‍ථ තෙරුන් වහන්සේ ගේ වස්තුව දක්වමු.

කෙ සේ ද යත් -

බුදුන් පිරිනිවන් පානා සමයෙහි වහන්දෑ බණවා ලා ‘මහණෙනි. මම මෙ තැනට සාරමසක් ගිය කල පිරිනිවන් පාමී’යි වදාළ කල්හි සත් සියයක් පමණ පෘථග්ජන වහන්දෑ සසර භය ඇති ව බුදුන් අත් නොහැර ම බුදුහු ත් පිරිනිවන සේක. අපිත් අපට තව දක්වා පිහිටක් කට නුහුණුවම්හ. කුමක් කරමෝ දැ’ යි කුශල සන්නිශ්‍රිත කථා කරන සේක. ඉන් අත්තදත්‍ථ නම් තෙරුන් වහන්සේ ‘බුදුහුවැළිත් සාර මසක් විතරින් පිරිනිවන් පානා සේක්ල. මම ද වැළිත් පෘථග්ජනයෙමි. බුදුන් පිරිනිවන් නො පානා තෙක් රහත් වන්ට උත්සාහ කෙරෙමි. වහන්දෑ ළඟට ගොසින් කථා කිරීමෙන් භස්සාරාමත්‍ව ය සිද්ධ වත් මුත් භාවනාරාමත්‍වයකට නො හැක්කැ’යි වහන්දෑ ළඟට නො යන සේක. වහන්දෑත් තමන් අප ළඟට නො යන්නේ ත් හැයි ද? කථා නො කරන්නේ ත් හැයි දැ’යි කියාලා බුදුන් කරා ගෙන ගොසින් එ පවත් කී සේක.

බුදුහු ත් ඔබගේ ම අදහස හඟවනු නිසා ‘කුමක් නිසා එලෙස කරවු දැ’යි විචාළ කල්හි “ස්වාමීනි, නුඹ වහන්සේ නැඟි හිර තිස් පැයකින් ගල හෙන්නා සේ සාර මසක් විතරින් පිරිනිවන් පානා සේක. දවාල වත් වත් බකමුහුණන්ට අඳුරු වන්නා සේ සර්‍වඥ සූර්යයා පහළ ව පන්සාලිස් හවුරුද්දෙන් සාර මසක් විතර තුබූ හෙයින් අනුපධිශෙෂ නිර්‍වාණ ධාතු නමැති හස්ත ගිරියට පැමිණෙන්ට ත් ආසන්න වී ය. තව දක්වා ත් මාගේ මොහඳුර දුරු වන්ට නො ව අඳුරුවම තිබෙයි. එ හෙයින් මුඹ වහන්සේ පිරිනිවන් නොපානා තෙක් රහත් වන්ට උත්සාහ කෙරෙමි’යි කී සේක. බුදුහු ත් සාධුකාර දෙවා වදාරා ‘මහණෙනි, යම් කෙනෙක් මට ලෙන්ගතු වූවාහු නම් උන් අත්තදත්‍ථයන් මෙන් වුව මැනව. සුවඳ මල් ආදියෙන් මට පූජා කරන කෙනෙක් ඇත්නම් ඌ මට පූජා කළා නම් නො වෙති. මට පූජා කළා නම් ප්‍රතිපත්ති පූජා ම ය.

එ සේ හෙයින් කවුරුන් වුවත් අත්තදත්‍වයන් මෙන් විය යුතු ය’යි බණ වදාරණ සේක් ‘අනුන්ට දහසක් වටනා තරම් ප්‍රයෝජන නිසා ත් තමහට වන්නා වූ දෙවියට සමාරක් විතර වුවත් ප්‍රයෝජන ගිහීන් විසින් නො පිරිහෙළිය යුතු. ස්වල්ප මාත්‍රයක් වුවත් තමහට වත් මුත් අනුන්ට වන්නාවූ ප්‍රයෝජනයෙන් තමහට ප්‍රයෝජන නැත. මෙ තැන වැළි ත් කමටහන් මුඛයෙන් කියන ලද. එහෙයින් අත්වැඩ නොපිරිහෙළමි’ කියා සඞ්ඝයා වහන්සේ පිළිබඳ කට යුතු වේව යි උපාද්ධ්‍යාය වත් ආදි ය වේව යි නොපිරිහෙළිය යුතු ය. ආභිසමාචාරික වත්හි හැසිරෙන්නාහු ම මාර්‍ග‍ ප්‍රතිවෙධ ය ඵල ප්‍රතිවෙධ ය කට හෙති. එහෙයින් එ හැම ත් අත් වැඩ ම ය. යම් කෙනෙක් වඩනා ලද වීර්‍ය්‍ය ඇත්තෝ වූ නම් ‘අදින් සෙටින් අධිගමය කෙරෙති’යි සිතන තරමට තිබේ නම් උන් ඇදුරුවත් ආදිය හැර ත් උදවුව සිද්ධ වන අධිගමය ම සිද්ධ කට යුතු ය. අභිසමාචාරිකවතුත් අධිගම සිද්ධි ය නිසා ම කරන හෙයින් අධිගම ය උදවුව සිද්ධවේ නම් ආභිසමාචාරික ය හළ ත් වරද නැතැ’යි වදාළ සේක. දේශනා කෙළවර අත්තදත්‍ථ තෙරුන් වහන්සේ රහත් වූ සේක. සෙසු ත් බොහෝ දෙනා නිවන් දුටහ.

එ හෙයින් නුවණැත්තවුන් විසින් පර වැඩ කරම්හ යි අත් වැඩ නො හැර අත් වැඩ කරම්හ යි පර වැඩ ත් නො හැර පර වැඩ හැසිරෙන්ට බැරි වී නම් අවැඩෙහි නො හැසිර පිළිවන් වී නම් අත් වැඩ පර වැඩ දෙකෙහි ම හැසිර නිවන් වැඩ සාදා ගත යුතු.